විප්රවාසික සිතක්…
නෙළුව පැරකුම් පිළිරු අභිමන දුටුව වැව් රළපනාවේ
රළුව දැනුනිද “ලිබර්ටි” ලදගේ මුවග ඇඳි මුදු සිනාවේ
කළුව තවරා කොළඹ අහසෙන් නික්ම වට වන්දනාවේ
සිළුව හිරු පහනෙන් පෘථිවි ගෙයි බිතක්කන එළි වුනාවේ
අයා නෙත් ඇසු රොකී කඳු සොඳුරුද නමුණුකුලටත් වඩා
නොයා හුරු මං මිඳුනු ගංදිය මිසිසිපියෙ නොනිවයි විඩා
තියා එමි “මැන්හැටන් “පාලමෙ ආරුක්කු නවයම කඩා
සොයා සත් සිඳු තම්බපණ්ණියෙ වෙරළ සිඹ රළ එයි හඬා
වීදි සැනකෙළි නදුනුයන් සිරි මගැර නෙත ගම ලොබ කළා
පීදි ටියුලිප් පීරමින් පෙත් මගේ වනපස මල් නෙළා
සේදි සඳවති නයගරාවෙන් පනිනු දුටු සිතෙ කළු වළා
ඈදි ගෙන ඇති මිදුලෙ මහගෙයි ඇය රටා පැදුරක් එළා
සෑය කොත බෝ සා මඩුලු රත් ළපලු සිල් සුවඳක එතී
පෝය නොවුනත් සුමන දෙව්රද සමනොළට වඩිනව ඇතී
පාය සත් කුඹු හිම පියසි මත දිලි විදුලි මල් කැන් පෙතී
නාය ගිය දිවි හීන කඳුවල ඔප දමයි ශේෂ වු පැතී
හිරු ගෙනා ඒ වසත් සුරුසුව ගිම්හාන උණුහුමෙ ගැටී
නිරුවතේ බඳ ඉපල් අතු ඉති ශ්වේත පිළි හැඳ හිම කැටී
තුරු ලිහා දැමු “ඕක්” පත් මත ජීවිතේ ඇති මඟ වැටී
හුරු අයිස් මඟ සුදු තලෙළු කළු පා ලකුණු සම වෙන හැටී
ඉබාගාතේ යනෙන කඩිමුඩි නාඳුනන අය දෙඩු මුසා
හඹා යන මනුසත් කුලේ එක යායෙ හිනැහෙද ලොව වසා
නොබා එනු සංක්රමණ විහඟුනි නෑ සියන් සුවදුක් අසා
සොබා මව් දිවි දරා හිඳිනුයෙ ගෙවෙන සෘතු යළි එන නිසා
අසම පීඩනෙ ගල් අඟුරු මිනිරන්ව දියමන්තිය කෙරු
එකම කාබන් අංශුවම සැදු අණු තුනක් බැව් දැන හුරු
අරුම අතැඹුල විශ්ව ගම්මානයක තතු මැව් පත්තිරු
තවම සගවත් වර්ණභේදයෙ පුලිඟු ගිනිකඳු නොපිපිරු
වනන මානව විවිධත්වයේ අසිරි පෑවත් නෙක කොඩී
ගැහෙන ලයකට විප්රවාසික නොරට හුස්මත් බර වැඩී
නොයන වග හෙට පැටව් අපි ගිය බොරළු මඟ නැති මිරිවැඩී
කොතැන වුව තැන ගල් අඟුරු මිහි ගැබෙහි දියමන්තිව වඩී
Photo by Chamika Jayasri
මේරිලන්ඩ් , ඇමරිකා එක්සත් ජනපදය