ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

1815

1815

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ - කොල්චෙස්ටර් - එංගලන්තය
2022-May

සැඟවී බෝමුරේ ආරච්චිල අසල
ඉන්නා අතර අල්ලාගෙන රජ කිරුළ
පිටිතල හයා බැඳ හූ හඬ මැද සිහළ
රජු නොව රටයි පාවා දුන්නේ එකල

කළ පව සිහිව පසු කාලෙක එකමුතුව
අරගල කළත් ලක් පොළොවට හිත ඇතුව
මරණය පමණි හිමිවූයේ පස රතුව
රජු නොව රටයි සුද්දට තිබුණේ නතුව

නව පරපුරක ආවේගය ගෙන අතට
ගින්නට පිදුරු වැටෙමින් ඇවිළෙයි අවට
ඉතිහාසයම යළි යළි සිහි වෙයි අපට
රජු නොව රටයි යන්නේ අඳුරට වලට

උඩගෙඩි ලැබී රට ආධාරත් පැමිණ
පන්දම් අරන් ලංකාවම ගිනි තියන
කොල්ලනි බලව් පිටුපස කවුරුද සිටින
රජු නොව උන්ට ඕනෑ ලස්සන දෙරණ