ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය
ලන්ඩන් කවි 6වන වෙළුම
2022 පෙබරවාරි කලාපය
හිමය කටුක සීතල දුක් නොතකාම
ඔබ එනතුරු හිටි තැන සිටියා මේම
ලොබ දැනුනිය වැද උණුසුම් නෙත් බෝම
රන්කඳ ඇත්තටම කන්තොරුවෙද තාම
සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna
පටුන
ලන්ඩන්කවි සරණියට කවි නිර්මාණ යොමු කිරීම පිළිබඳව කීප දෙනෙකුටම අපහසු ඇතිවී තිබේ.
මෙහි නිර්මාණ යොමුවෙන් එවීමට නොහැකි නම් [email protected] ඊමේලයට එවන්න.
ඔබ කවි එවන්නේ පළමු වරටනම් ඔබගේ චායාරූපයක් අමුණා එවන්න.
තවද මෙහි පළවන ඔබගේ කවියේ මාතෘකාව ක්ලික් කිරීමෙන් ඔබගේ කවිය Facebook, Email, Whatsapp ආදී යොමු කිරීම් ගනනාවකින් යැවිය හැකි බව දැන්විය යුත්තේ සමහරුන් තවමත් එය අත්හදා බලා නොමැති හෙයින් ය.
මීට වඩා බොහෝ මල් පිපෙන්නට තිබුණා
මීට වඩා බොහෝ මල් පිපෙන්නට තිබුණා
ඒ වසන්තයේ.
මීට වඩා කුරුළු ගී ඇසෙන්න ට තිබුණා
ඒ වසන්තයේ
අප මුලින් මුණ ගැහුණු ඒ මධුර වසන්තයේ...
මීට වඩා මඳ සුළං හමන්නට තිබුණා
ඒ ගිම්හානයේ
මීට වඩා උණුහුමින් වෙලෙන්නට තිබුනා
ඒ ගිම්හාන යේ
අප හෙමින් ඇවිද ගිය ඒ සොඳුරු ගිම්හානයේ
මීට වඩා බොහෝ වැසි වහින්නට තිබුණා
ඒ වස්සානයේ
මීට වඩා ඉකි බිඳුම් ඇසෙන්නට තිබුනා
ඒ වස්සානයේ..
අප අපෙන් වෙන්කෙරුනු ඒ අඳුරු වස්සානයේ
මීට වඩා ගැඹුරු විල් මිදෙන්නට තිබුණා
ඒ ශීත සිසිරයේ
මීට වඩා බිඳුණු සිත් රිදෙන්න ට තිබුණා
ඒ ශීත සිසිරයේ
අපේ හිත් ගල් ගැහුණු ඒ අඳුරු සිසිරයේ
කවිය බලන්න
සංගායනා!
සංගායනා!
චෝදනා 1
...........................................
ඇයි උන්නාන්සෙට මඩ වතුර බොන්න දුන්නෙ?
"පිපාසයි ආනන්ද"
නිවෙන්නට කලින්
බුදු පාන
ඉරා සිවුරෙන් රෙදිකඩ
පෙරා ගත්තා ඇත්තයි
කැළඹී ඉහිරුණ
කුකුත්ථා නදියේ දියවර
ඒත් එවෙලෙත් ඒ ඇස්
නිසලව තිබුණ අන්දම
"පිපාසයි ආනන්ද"
ඒ ගිලන් වූ කටහඬ
ඇවැතක් උනා නම් අවසර!
චෝදනා 2:
...........................................
ඇයි බුදුන්නෙ දේහය පිට කාටවත් පෙන්නුවෙ?
පිරිමි අපටත් නොවුණුකොට;
..........................................
කුසිනාරා සල් ගස්
මල් එකින් එක විසිකළ
ඒ අසලමයි චිතකය
මට මතක නෑ ඔක්කොම
සඳුන් දර උඩ රන්බඳ
රාජ අනුග්‍රහයකි, මළගම
බවලතියො ඇහුවෙම
"පුරුෂ ලක්ෂණ ඇත්තද ?"
නොදැනුණා නෙවෙයි මට
ඒ අහන්නේ තිස් දෙකෙන්
එක දෙයක් ගැන වග
සහතිකයි ..
චීවරේ ඉස්සුවෙම
රන්දෙණට හිතින් වැඳ වැඳ
දැන් ඔබට පුළුවන්
විනය පිටකේ නඩු පොත
පෙරලන්න රිසි ලෙස..
"පිපාසයි ආනන්ද"
ඇහෙන්නෙම ඒ කටහඬ !
කවිය බලන්න
හිතා ගන්නට බැරි තරම් ...
හිතා ගන්නට බැරි තරම් අද
එදා බැතියෙන් මෙහෙණි සගමිත්
වැඩම කළ මහ බෝ සමිදු අප
අදත් බුදුගුණ කිරණ සිලිලාරයි
සුදු වතින් සැරසිලා පිදු කුසුමන්
දිවි ගමන අනියතය යන අභිමන්
අරි අටග මග සුසැදි පිළිවෙත
මැදුම්
අම නිවන වෙත ගියේ දුරලා
බැදුම්
මග නොමග නො හදුනනා දනෝ
පිළිවෙත් මගින් ආමිසට ගිජු
වුණෝ
බුදු ගුණ බලෙන් මහ බෝ
සමිදාණෝ
නිසි මගට යොමු කරණු මැන
කරුණාවෙන්
එදා රජ දරුවන්පිදූ බැති පිදුමන්
අද කෙරෙන්නේ විලස අති
සොබමන්
මුදා විපතින් මෙලක පුරවැසි
දනන්
සදා රැක දෙනු මැනවි බෝ
සමිදුන්
කවිය බලන්න
සුභාෂිතයේ සිත්ගත් කවි
නැඟෙතත් අවර ගිරගින් දිනකර මඬල
සැලෙතත් සුනෙර පවනින් සෙදෙනත් අනල
පිපෙතත් ගිරි මුදුන් හෙල් මැලි පියු මුපුල
බොරුනැත් තෙමය මහතුන් පැවසූ තෙපුල
සුර්යයා බස්නාහිරින් උදාවූවත් මහාමේරු පර්වතය
සුළඟින් සෙලවෙතත් ගින්දර සිසිල් වූවත් පර්වත
මුදුන්වල කුමුදු මානෙල් නෙළුම් ආදිය පිපුනත්
මහතුන් (සත්පුරුෂයන්) කී වචනයෙහි බොරුවක් නැත.
කවිය බලන්න
වසංගත සමයක්....
බලන් සකි විගසින්
වසා නෙතු කොනකින්
සරමු හිත දසතින්
ගෙනෙන අම සැනෙකින්
ලොවම නිසසල හිතම බියකල
නිසොල්මන් සමයක් (වසංගත සමයක් )....
හිතන්නට අරුතක්
ලැබුණු දිව මතුරක්
අවදි කරවා හැගුම් පුබුදන
සුමුදු සද වතුරක්
තරුද නිසසල සිහින කැටිකල
නිසල සිත් පහසක් .........
සිහින් සරයෙන් අත්ල තවරන
සිතුම් රැලි වැස්සක්
පරිසරය මිනිසත් බවින් එක්කල
හැගුම් මෙත් වතුරක්
අපට අප ගැන හිතන්නට දුන්
දිව්‍යමය වරමක් ...........
කවිය බලන්න
බෝඩිමේ ඇන්ටි
සීරුවට අනන්තය ළඟට කර වැන්දාය
සායමට වසන්තය මුලාකර වින්දාය
මායමට හිනාවක් මුහුණටම ඇන්දාය
සෙයිලමට සින්න වුන බෝඩිමේ නැන්දාය
යායටම බොල් වෙච්චි වී අහුරු වපුරලා
පාර පෙරමග බලයි අස්වැන්න එන ගලා
රෑ හීන ලෝකයක අනේ අසරණ වෙලා
තාම ඇගෙ බෝඩිමට හඳ තරුත් පායලා
මාසෙකට එකවරක් පොඩි නිවාඩුව ලබන
බෝඩිමේ ඇන්ටි විත් එයත් සැක හැර බලන
ඈත් අහුවුන උගුලෙ අපත් නිරතුරු යවන
පෝය පන්සල වඳී යන්න අද හෙට නිවන
AnA 2022
කවිය බලන්න
බුදු සසුනට අති උතුම් පොහොයකි අද පුර නවම්........
සම්බුදු සසුනෙ අපෙ ගෞතම බුදුන්ගේ
සුරකිනු නියාවෙන් විනයද සඟුන්ගේ
පනවනු අදිටනින් ශික්ෂාවන් තෙරුන්ගේ
කැඳවනු ලැබූවෙ සමුළුව අප සඟුන්ගේ
පනවා බුදුන් ශික්ෂා සඟ පරපුරට
පෙන්වා පිරූ පෙරුමන් අගසව්වෙන්ට
කැඳවා සමිඳු සැරියුත් -මුගලන් පෙරට
පිදුවා පදවි අගසව්වන් පැතු ලෙසට
සපිරීමට පෙර අසූවිය බුදු සමිඳුන්ට
තෙමසට පෙර නවම් මහපෝයට
ආයුසංස්කාරය විය හරින්නට
බුදුහිමි වදාළා අනඳ මහ හිමියන්ට
දෙසුවේ එදා සමිඳුන් සඟුනට ඕවාද
පිදුවේ අසුවක් අගතැන් තනතුරුද
බැලුවේ විමසමින් තිබු මතබේද
බෙදුවේ ධූර නවම් පෝදා බුදු සමිද
කවිය බලන්න
සුභාෂිතයේ සිත්ගත් කවි
ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත
වෙනින් අනෙක් දෙයකට අනෙකෙක් සමත
නොමින් සුළඟ ලදුවත් තද ගිම් සැපත
ගොඩින් නැව දියෙන් රථයද නොයනු ඇත
ලොවින් එක අයෙක් එක දෙයකට සමත් වෙයි. අනෙක්
කෙනෙක් වෙනත් දෙයකට සමත් වෙයි. බොහෝ සුළඟ
හැමුවත් තද ග්‍රීෂ්මය තිබුණත් නැව ගොඩබිමිනුත්
රථය ජලයෙහිත් ගමන් නොකරයි.
කවිය බලන්න
සීතලේ උණුසුම්ම දවස
නවම් මස හිම වලින් පිරිල
යුරෝපයේ තවමත්
ලන්ඩනයට දැන් හිම
වැටෙන්නම නැහැ
ගෝලීය ප්‍රශ්නයක් ලු
ඒ දවස් වල ඔබත් එක්ක
හිම පිරුණු වීදියේ
අතිනත අල්ලා ගෙන
චෙක් කෙල්ලගේ කඩෙන්
කෝපි කෝප්පයක් බිලා
දිග ප්‍රංශ පාන් ගෙඩියක්
අරන් චීස් කෑලි මැදට
දාල කන ගමන්
රූපවාහිනියේ යන එම්ටීවී
සින්දු අහගෙන හිටිය මතකයි
ඔයා ඊට පස්සේ නාට්‍යයක්
බලනවමයි
ඊට පස්සේ හිමින්
පොතකුත් අරගෙන
සීතලත් එක්ක ගුලි ගැහෙන
විට සයනයේ
මමත් හෙමිහිට එතැනම
ඇලවෙනවා
ඔයා කියනව පොත ගැන
තවත් පෙබරවාරි දාහතරක්
ඒවගේ උණුසුම් දවසක්
ඇයි මේ සීත කාලේ
ඔයා ඇහුව මතකයි
මට තුරුළු වෙමින්
මම දැනගෙන හිටියෙ නැහැ
ඒකට උත්තරේ
අපි දෙන්නම වයසට ගියේ එකට
ඒත් ඔයාට යන්න වුනා
මට කලින්
ළමයි වට කරගෙන
මුණුපුරු මිණිපිරියෝ
වට කරගෙන
ඔයා හිටියේ සතුටින්
මම අම්මයි තාත්තයි
හමුවෙනවා
ඔයා බය වෙන්න එපා
ඔයා හිනා වේගනම
ඒ ගමන ගියා
මට දැන් උත්තරේ
තියනව
ඔයා අහපු ප්‍රශ්නෙට
සීතල දැනෙනකොට
උණුසුම්ම දවසක් වුනේ
දාහතර
කවිය බලන්න
පෙරමග බලං හිටියේ එනකං - අපි ගමට
පෙරමග බලං හිටියේ එනකං - අපි ගමට
මගේ පැළේ මං තනි වූ දාට
ඔබේ පැළේ විතරයි මං ලද සරණ
උපදින දාට අප යළි දහමේ විලස
"පීතුපාදන්" ම වේවා මතු භව සසර
කොළඹට වෙලා හෙලු දහඩිය විය කෙරුවේ
ඉණිමගෙ නගින පැත්තට මං යොමුකෙරුවේ
ගමට වෙලා සතුටින් අපෙ වගතුග දෙඩුවේ
තොරණ් බඳින්නට පෙරමග බලමින් සිටියේ
බින්න බැස්ස දා ඉඳලා මං කොළඹ
වෙනසක් නොවුණි මගෙ පියරජුගේ සිරිත
කොස් දෙල් හාල් බර දෑතට දරාගෙන
දරු මල්ලන් බලන්නට ඒමය ලද ලොකු සතුට
අහස කඩං වැටුනත් නැහැ ඔබ සැලුණේ
පොලොව ගිලා බැස්සත් නැහැ කම්පිත වූයේ
අරමුණ කරා යන්නට නිති හැම සැප දුන්නේ
මුණි සිරිපා සලකුණ ඔබ අප සිරසේ
මගේ පැළේ මං තනි වූ දාට
ඔබේ පැළේ විතරයි මං ලද සරණ
උපදින දාට අප යළි දහමේ විලස
"පීතුපාදන්" ම වේවා මතු භව සසර
කවිය බලන්න
හංස විල වියලී
රළු දූලි පිරි සුළඟෙ දැවටී
සෙවන යටදී කළු වලාවේ
සිනා නැතිවම අපව හමුවී
පිය නගන්නෙමු ගෙන දිරී
හංස යුවලක් ලෙසින් දිදුලන
අපගෙ හද ගොළුවී නැතී
දුක දරා රස විඳින පහසින්
සතුට සිසිලස වී එතී
හංස විල කලතා අවුල් මැද
සසල වෙනු කුමටද නිතී
ජයන්තය දෙස බලා පිහිනමු
කටුක දිය හිඳි විල අපී
රජුන් බිසවුන් මත්සරව නෙක
අවිචාර රංගන නටා
කළඹලා රන් හංසයින් දැන්
අනන්තයෙ නොපෙනී යතී
සැඩ සුළං මැද අව් කාෂ්ටක
අපේ දිරි නොනැසී රැඳී
ජයන්තය දෙස බලා පිහිනමු
කටුක දිය හිඳි විල අපී
රළු බොරලු මඩ පාගමින් යන දෙපා ඇවිදින් සිප ගනී
දළු නෙලන කුදු ලියන් පානා සිනා සිත් සනහා යතී
දහදියේ සුවඳත් කැටුව එන සුළං පොද සිසිලස දෙතී
මල් පිපී විල දියෙන් පිරෙනා වැහි කෝඩ දිශ්නය දෙතී
කවිය බලන්න
වැලන්ටයින් නම් නොවේ
හිම පිරි මාවත් අතරේ
හිම සඳ දිය රැස් දහරේ
සොයමි හදේ නැතිවූ රන් රුව
තේම්ස් පාලමත් කරුවලයි
සීතල ගං ඉවුරු කොනේ
ඔබේ සිනා තවමත් ඇති
පාලම් පත්තේ දැවටුන
ඔබේ සුවඳ එලෙසම ඇති
සීතල ඊතල ගත රිදුම් දෙන රැයේ
ළිහිණි කුරුළු කියනු මැනව
දුටුවෙද නිල්මිණි නෙත් යුග
ඉඟිබිඟි නැත්තේ ඇයි අද
රහසක් වෙද මට නොකියන
දොම්නස් ඊතල හද සිදුරු වන රැයේ
ගායනය: අමරසිරි පීරිස් / සංගීතය: නාලක අංජන කුමාර
(නිකුත් වීමට නියමිතයි)
කවිය බලන්න
පුතා ගෙන ආවේ මෙතැනට යි !
පුතා ගෙන ආවේ මෙතැනට යි !
බදා පොළවම තබා හිස සිඹ
සොයමි හඬ රත් පැහැති හුස්මක
අනේ කිව මැන කොහේ ගෙන ගිය
පැටව් සිහිනෙන් අදත් ඇහැරන
එදා ගෙන ආ පුතුන් මේ බිම
ගලා ගිය උන් රුහිරු පැහැ දෙන
කියන් මට උන් කොහේ සැඟවිද
හොයා ඉන්නා තැනක් දන්නෙද
පුතා ගෙන ආවේ මෙතැනට යි
මගේ අත අතහැරුනෙ මෙහෙදියි
එදා හිටි උන් කොහේ ඉන්නෙද
මෙදා ඉන්නා අය නොදන්නෙද
"අනේ අම්මා මමත් දන්නෑ
ආවේ දකුණෙන් මෙහෙට ළඟදී
යුද්දෙ අහවර වෙලා බොහො කල්
එදා උන් අය නෑනේ කිසිවෙක්"
වෙදුන් පවසන අරුම මොනවා
පුතුන් හැංඟුව තැනක් කොතැනා
එදා අත අත් හැරුණා පමණයි
මෙහෙට ගෙන ආ මතක විතරයි...
(යුද්ධය අහවර ව අවුරුදු දෙකකට පසු දිනක උදෑසන
උතුරු රෝහල් බිමේ දරුවන් සොයා
ඇවිදින් පොළොවේ පස් මිරිකමින් හඬා වැටුණු අම්මා ...)
කවිය බලන්න
ඔබ සහ මම
වෑහෙනා වාරුණී මී බදුන් පුරා
මදු විතක් මවා ගෙනේ මට ඔබේ සිනා
පීදෙනා මාලතී මල් ගොමු නවා
පිරි සහන් සුවේ ගෙනේ මට ඔබේ කථා
තාරුකා කඩා හැලේ වාලුකා පුරා
නීල පලිගු නෙත් ඔබේ රූ අඹර සරා
මාරුතේ පවා ඇදේ සුවද මල් ගෙනා
සීත සුමුදු සුව දැනේ ඔබ ලගින් හමා
පෑහෙනා හැගුම් ගෙනා වාසනා සදා
ජිවිතේ දුමාරයේ සෝ සුසම් නසා
වීදෙනා ප්‍රේමයේ සොදුරු තැන් සොයා
ගී පොතක් පිරී ගියා ඔබ නමින් ලියා
කවිය බලන්න
තියන් ගල් පොත පැත්තකින්
තියන් ගල් පොත පැත්තකින්
පැරකුම්
තියන් ඔය ගල් පොත පැත්තකින්
ගන් කඩුව සුරතට
කාලෝ අයංතේ
අන්න බිඳිනවා බැම්ම
නුඹ හැදු සමුදුර
අමන තක තිරුවන් රැළක්
හදන්නට පාරක්
ඇවිදින්න සුද්දන්ට
ඩොලර් වැහි වස්සන
උරුමය ට ගරු නැති
තෙල් මන්ද ආරපු
දේශයෙ අමනයන්ට
බත දෙනුව දරුවන්ට
පණ දුන් කෙතේ නිල් ගොයම ට
දියවරෙන් බත් කෑ
ඔබ පරපුරේ දරුවන්ගේ දරුවන් ගේ
දරු වන්
වියරු වූයේ මෙලෙස
කෙලෙස දැයි කියනවද
නිරිඳුනේ මට
වැව් බැම්ම සලපතල
රළ පනා සුන් කොට
ජෙසිබි කැටපිලර්
යකඩ අත් වලින්
හදන්නේ පාරක් ලු
බලාගන් පැරකුම්
සොයනවා වාගෙයි
එකල නුඹ නිදන් කළ
බවට උන් සැක කරන
රන් රුවන් මුතු කැට
හැංගුව ද ඇත්තටම නුඹ ඒවා
නොකරන් ඒ වගේ මෝඩකම්
ආයෙ මෙහෙ උපන්නොත්
කෑ පතේ පහරන
මුන් විජයගේ මුනුපුරන්
ඩොලර් රුපියල් කොල
දැකලා වල්ගය වනන
අඳ ව ණය ගැති බව ට
ඔබට ඔබ දුන් වැවට
මෙතෙක් නෑ හැම බත් ඇටයට
උදරය වුනත් පලාවි
උන් මෙලොව දිනු මවගේ
ළය වුනත් පලාවි
කිරි බීපු දෙතැන මැද
හිතුනොත් ඇතැයි සැඟවී
විකුණා ගත හැකි යමක්
මේත් අපි හැමදාම පාරම්බාන
දෙදහස් පන්සිය යෙ දරුවෝ ද
20-08-2021
අප ඇස් ඉදිරිපිට මේ රඟ දැක්වෙන්නේ
තෘෂ්ණාවෙන් අන්ධ වූ නරුමයන් ගේ
රංගනයක් ද
මිල කළ නොහැකි දෙයක් මෙලොව නැති ද
කවිය බලන්න
අම්මා
සසර දුක් කදු එකට උසුලා හැම දිනේ බර කර දැරූ
අදර පෙම්මා දිදී ලැමදේ පෙව්ව කිරි වල රස පිරූ
වැහිර ගිය මුත් කුසට නැති ඇය අපේ බඩ කට සරු කෙරූ
ගෙදර බුදු මගෙ නිවන අම්මා සදා මා හද රැඳි විරූ
පුරා සෙනෙහස ලබා දුන් මව දැවී ලෝකය දකිද්දී
ගරා වැටුනත් සිතේ සිතුවිලි බලා පෙරමන් පුරද්දී
දරා දරු දුක ළයේ තද කර හොවා සුසුමන් හෙලද්දී
නුරා නෙතු ලඟ සිනා කැන්දයි නුඹේ සතුටද ගෙනෙද්දී
නැගෙන පිවිතුරු උතුම් කරුණා ළයෙහි හද පිරි සිනහ රන්දා
එරෙන කිරි වල බිඳක් ගානෙම මවගේ සිත තුටු රනින් කැන්දා
ගඟන තලයේ දිලෙන තරුකැට වගේ ඇය මා නෙතින් බන්දා
සිතන කිසිවෙක් ලොවේ නැතමට නුඹයි අම්මා සෙනෙහෙ දුන්දා
කවිය බලන්න
ලපටි හදක සුසුමක්
කළු ලෑල්ලෙ සුදු පාටින් ලියවුණ
රචනා මාතෘකාව ඉඩෝරය
මා දැස් ගිලගෙනය
ටීචර්ද කළබලයෙන්ය
නොදෙවෙනිව තැපැල්කරුට
මුල් ගුරු කාමරය වෙතට
ඈ ගියේ ඉක්මනට
පන්තියේ ළමුන් සැවොම නැගිටගෙන
ඇවිස්සු මීවදයක සිරිය ගෙන
ඉඩෝරයෙන් පොතෙත් පිටුවක් පිරීගෙන
සිතන්නට දෙයක් නැත ඒ ගැන
පහේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල ඇවිල්ලා
ලොකු අක්කෙක් හඬ අවදි කලා
අපෙ දෙසවන් පිරැනා
ලමුන් තවත් කළබල වුනා
මට ගානක් නැති වුනා
අමතර පන්ති නොයවුනා
එදිනෙදා වැඩ හරියට කෙරැනා
ටීචර් පන්තියට ඇවිදින්
ලිස්ට් එකක් අරන්
මුළු පන්තියම සන්සුන්
මීයට පිම්බා ලෙසින්
හ්ම්...කවුරුත් ඇහුම්කන් දෙන්න හොඳින්
දස්කම් බලන්න පුළුවන් සතුටින්
නම් දෙක තුන කියවුනා
ඉදිරියට විත් පෙළ ගැසුනා
ටීචර්ගෙ මුහුණෙ පොපියන සිනාවයි
දක්ෂම ශිෂ්‍යාව මගේ පන්තියෙයි
දෙසීයෙන් දෙසියයක් අරගෙනයි
සිරියලතා මොහොට්ටිවත්....
මුළු පන්තියම මීයට පිම්බා වගෙයි
නැඟිටින්නෙ නැහැ කිසිවෙක්
නැතිද ඒ නමින් කිසිවෙක්
හැරි හැරී සැවොම
බලයි මා දිහෑ ම
ලියු රචනාවත් ඉඩෝරයට අහුවෙලා
පෑනෙන් ඉරි ඇඳිලා
කඳුලින් තින්ත බොඳ වීලා
ටීචර් මා ලඟ නැවතිලා
හදේ ගැස්මත් වැඩි වීලා
පෝර වතුර නිසි කළට නොලැබීලා
හේනත් කුඹුරත් පුරන් වෙලා
කෙසෙල් කොටුවත් අලි බිඳලා
පස් දරු මගෙ පියාත් ගෙළලාගෙන
ඉතින් කොහෙමද මම නැඟිටින්නේ
පවුලෙහි බරට
උර දෙන්නට
සිදුවෙලා මට
පාසැලෙන් සමුගන්නට.
15/1/2022
කවිය බලන්න
නළඟන
ඇය
අනාගත රෝස කුසුමන්
නෙලන්නිය
රැයක් එළිවන තෙක්
රඟන්නිය
නිරුවතින් සිහින දකින්නිය
ඇය දෙස බලා
මදුවිත බොන
ඇස් දහසක්
ඇයට ගිජුවී
විසික් කරයි ඈ දෙසට
ඩොලර් එකක් දෙකක්
තව දුන්නොත්
ඇය තව රඟන්නිය
ඇසෙයි වීදුරු ගැටෙන හඬ
සංගීතයත් සමඟ
අතින් නො අල්ලාගෙන
නෙතින් ළංවන
ගිජු ළිහිණි කැල
ළං වෙයි ඈ වෙතට
එළිවන ජාමයේ
පාවුනු ඩෝලර් ඇහිඳගෙන
ඇය දුවයි
මේ ඉන්න තැනින්
අනාගතයේ සිහින දකින්නට
වෙන්නට
වෛද්‍යවරියක්,
එක්කො
ඉංජිනේරු වරියක්,
නැත්නම් ලෝකයම
පිළිගත් උසස් තැනැත්තියක්
නළගන ඇයයි
ඇගේ සිරුර
රෝස මල් හා
ඩොලරය මත
ලන්සු තැබු
කවිය බලන්න
පෙම්වතුන්ගේ දිනයක් අවැසි නැත...
මල් පැලක් සේ සුවඳ විහිදන
පන්සලක් සේ නිවන සලසන
මව්ගෙ උකුළත සුවය කැඳවන
පෙම්බරිය මගෙ දිවිය බබලන
සෑම දිනයම මෙලෙස වේ නම්
ඕනෙ නෑ මට වෙනම දිනයක්
ජීවිතේ මගෙ ඇති තුරාවට
ආදරේ දින ඔබට පුද දෙමි.
කවිය බලන්න
නිදහස - 74
නිදහස - 74
ඒරොප්පෙ සැප රියෙන්
උළෙලට සැපත් මැති
ලක් පොළොව සිප ගති
පැළැඳි පාවහන් ඉතලි
වෙඩියමූර සැලියුට මැද
සමරා නිදහස එසෙව්වා
පකිස්තන් යවට රිට මුදුනත
චීන දේසේ සැකසු
සිහ ධජය
30 - 01 - 2022
කවිය බලන්න
තටු ලැබුණත්...!
නොදත් කමට පොඩි සන්දියෙ
විහඟකු වීමට...
එදත් තිබුණෙ මයෙ කැමැත්ත,
පියඹා යෑමට...
කදත් බැඳං උන්නෙ මෙමා
රචනා ලීමට...
හඳත් අල්ලමියි ලිව්වේ
දුන් තේමාවට...
නෙක නෙක පාටින් දිදුලන
තටු විදහාගෙන...
සැක නැතිවම හරිම තුටින්
කිචි බිචි ගාගන...
එක වර යාමට හැකි නෙව
කැමතිම වූතැන...
දුක හිතුනේ මා එලෙසට
නොමවුනි; ඒ ගැන...
මහ රහතුන් වැඩි මඟ ඔස්සේ
මා, දැනගති...
විහඟුන් වන්නේ පවකටමයි
ඒ කරඇති...
දහමට අනුවම නම් උන්
හැමදා පුරවති...
තහනම් පවු, නොදැනම පරපණ
නස නස යති...
ගොදුරු කරන් කුඩා සතුන්
කුස පුරවා ගෙන...
නපුරු දෙයකි , උන්හට ගැල
වීමක් නැති තැන...
සොඳුරු ලෙසින් අප දුටුවත්
පව රැස් කරමින...
අඳුරු දෙසටමයි යන්නේ සිතා
බලනු මැන...
කවිය බලන්න
විනාසය අවැසි තැන
ඈත දුෂ්කර හිමේ
නගරයේ සහ ගමේ
දස දහස් මව්වරුන්
කිරට හරවමින් ලේ
විසිවසක් රැක වඩා
ජාතියට භාරදුන්
වීර සිහ ලක්පුතුන්
එකා පිට වැටි වැටී
මුදාදුන් ලක්දෙරණ
සිතුලෙසින් නිදහස්ද?
උතුරු කොන ඉපදිලා
උතුරුකොන මිය ඇදුනු
සොහොයුරන්¡ සොයුරියන්
පැතු ඒ සිහින ලොව
ඔවුනටත් නිදහස්ද?
අවසන්ව ලේ හැලුම්
අරුණළුව නැගීලා
සිනාකැන් පිපුණු රට
ඩෑහැගත්තු චෞරයන්
සිත්තොසින් සොම්නසින්
සාරයම උරා බී
දෙතොල් අග පිසලමින්
සොයයි දඩයම් තවත්
දුපතේ වටිනාම
කොටස් කොටසින් කොටස
කොටස්කර කඩින් කඩ
නොරටුන්ට විකුණමින්
වනසාය දිවයිනම
උකටලී ජන තොමෝ
දොම්නසින් ගල් ගැසී
ත්‍රාසයෙන් මුසපත්ව
බලාසිටිනා සෙයකි.
අතට හසුවෙන යමක්
රැගෙනවිත් මහමගට
එක්ව සැම එක හඩින්
කලයුතුය විනාසය
විනාසය අවැසි තැන
කලයුතුය විනාසය
ඉනික්බිති පහවගොස්
දුක්අදුරු වලාපට
පායාවි නව ඉරක්...
කවිය බලන්න
ඔරායන් නුඹ
තරු මැද දිලෙන
තරුපති ලෙද
ගුවන මැද
ඔරායන් ද නුඹ
මන්දාකිණිය ළඟ
දුලා නෙතු පැහැර
විදිනා හැඟුම් සර
වළා අතර සැඟවෙමි
සඳ මුවාකර
ගැටෙමින් පාවෙමින්
මේ කුළු සමඟ ඇදී
මහ වලසුන් ද
හත්දින්නත් තරු ද නිදී
දකුණු කුරුසියේ
ගෑවි නොගෑවී
ඔරායන් .... නුඹට
මම
මගේ හිත දේවී !!!
18-01-2022
කවිය බලන්න
බලා සිටින්නෙමි .....
සීතල සුළං එහෙ මෙහෙ සක්මන් කරනා
ඇවිදින් ලගට සුව දුක් අදරින් බලනා
පත් නැති නමුත් මේ මද පවනට සැලෙනා
හිතවත්කමේ අඩුවක් නම් නැහැ පෙනෙනා
නෙක පැහැ මෝස්‌තර රැදිලා තිබු සිරසේ
සායම් දියවෙලා සේදී යයි රහසේ
අහිමිව ගියෙන් නිති ලද බබරිදු පහසේ
තනිකම දැනේ, නොදැනුනු මට පෙර දවසේ
සෙනෙහස රැදී තිබුණා පොඩි කැදැලිවල
උණුසුම ගෙන දුන්න සවිබල සපිරි කල
කිචි බීචි නදින් මැකුනා පාළුවේ මල
මිතුරන් අහිමි වූදා වේ හද සසල
අරුමෝසම් හැඩ වැඩ තිබෙනා විටදී
මතකයි ලග ඉදන් දොඩමලු වූ පෙරදී
දුක්බර කාල පසුකරනා විට සමුදී
යන අය දෙස බලමි කිසි වෙනසක් නොමදී
වසන්තයද ගිම්හානෙ ද එක ලෙසම
ඉවසමි සොබා දහමේ අණ ලෙස නියම
නියතයි යලිත් මල් පිබිදෙයි ඉදුරාම
බලා සිටිමි තුරුලට ගන්නට සැවොම
කවිය බලන්න
වැලන්ටයින් දින නිමාවූ පෙම
වළාකුලකින් සඳමුවාවී අමාවක වගෙ පෙනෙනවා
තරු වලින් එන පුංචි එලියේ එවිට අගයක් දැනෙනවා
සඳ නොමැතිනම් මුලා වේයැයි සිතූ විලසක් හැඟෙනවා
අතරමංවූ විටදි අඳුරේ තරු එලිය මග කියනවා
නැතුව වෙනසක් සෑම දිනකම පිදූ පෙමකට එක ලෙසා
නොදී අගයක් තෑගි පැතුවේ පෙම්වතුන්ගේ දින නිසා
අඳුරෙ දැම්මේ ප්‍රේමයයි නුඹ කළු වලාකුළකින් වසා
සිටියෙදී මම අදහගන්නට බැරිව නුඹ කී දේ අසා
වසංගතයක් පිටු දකින්නට ලෝකයම තැත දරනවා
එයට මැදිවී නැති වුණෙන් මම තවම රැකියා සොයනවා
තෑගි නොමදුන් පෙම්වතා කියු අයුරු මතකෙට නැගෙනවා
නැතත් නුඹ මට පෙම් බඳින්නට ලෝකයක් තව තියෙනවා
පෙම්වතුන් එක්කළ නිසාවෙන් රෝම වරුනගෙ ඇස් වසා
ශුද්ධ මුණිවර වැලන්ටයිනුන් මරා දැමුවා හිස ගසා
නොදැන හේතුව පෙම්වතුන් දින සෙයකි සමරණ මේ ලෙසා
ගෙල සිඳී වැටුනා එදින පෙම නුඹ වදන් අසිපත් නිසා
වහල් නොමවන කමට අනුවන ළඳුන් ලොව තුළ සිටිනවා
සතුටුවෙන්නට ලැබෙන දෙය දැක ජීවිතය බොහො වටිනවා
ලබන වසරෙදි පෙම්වතුන් දින සමරන්න සුබ පතනවා
පෙමට සමුදෙමි සඳ නැතත් නුඹගැබ පිරී තරු තියෙනවා
කවිය බලන්න
සුහිත් මිත් පැතු සුබ සෙත් ...
සුහිත් මිත්, ලැබ දුන් මෙත්
සුපැතුමට බෝ පිං පෙත් !
ජනේරුව මට නැතත්
පැතු ඔබට මම ගෙනෙමි සුබ සෙත් !
ඔබෙන් ලද පැතුම් පත්
තබම් ගැනුමට පත් සිත්
සිවු මස් දුරින් යුත්
හෙළ නව වසරෙ බැඳ අත් !!
පිබිදුුුුණු මල් පලත්
කොවුල් ගී පිනු සවන් පෙත්
පිරුණු අටු කොටු කෙත්
සැබෑ අවුරුදු බක් මහේ වෙත් !!!
කවිය බලන්න
ගමට වෙච්ච දේ
පිට දිග හැලෙන නිල් වරළස ලෙස ඉමට
මට මතකයි තිබුණු මාවත, ගම දිගට
වැට දිග හැදුණු දෙල් කොස්වල පල බරට
කට බඩ පිරුණි පුදුමයි වූ දෙය ගමට
යල මහ පැසෙන විට තැනු ජාතික ජීවේ
වෙල ළඟ පැලේ රැව් දුන් සීපද රාවේ
පල කළ මුත් ගමේ තිබු නිවහල් බාවේ
සලකුණු වත් නොවේ යළි කණකට ආවේ
ගල් පොලු මුගුරු වල එදවස රස දන්න
විල්ලුවෙ ඉවුරු බඩ තිබු රඹුටන් ගොන්න
වෙල් හිමියන් විසින් වනසා නොදමන්න
මල්වානට නොහැක අපගෙන් ජය ගන්න
රුක්මල් කඳුරු මා දං බඩවෙටියෙ වෙලේ
වක්කඩ වල වලත් පෙතියන් හැදුනි ජලේ
අක්කර දහස් ගණනක් මෙහි තිබුණු කැලේ
ඔක්කොම කාලයා විසිනුයි ඉවර කළේ
කවිය බලන්න
පොපී කුසුම් හෙළත් කැලුම්
පිනෙන් උපන් පොපී කුසුම්
රුවින් දිලී උයන් තෙරේ
නුවන් අගින් බැලුම් හෙළා
සුළං රැළී මතින් රඟත්
වතත් නෙතත් කයත් දවා
සෙනේ සිතින් කවා පොවා
පොපී හැදූ වැඩූ තවන්
බලා සිටී සිනා කටින්
වලාකුළින් සෙනේ කඩා
හදින් බදා පෙමින් වඩා
මහත් කළේ කෙසේ කියා
ඉඟී කරත් වැදූ මවුන්
අකල් වැසී මගින් නොයා
කුණාටු ලැවි ගිනී නිවා
උයන් ගොපල් තෙමේ සදා
විසෙන් දොසෙන් කළේ මුවා
සුපෙම් හැඟුම් තුරුල් කරන්
වැලන්ටයින් දිනේ ඉතින්
අපේ ලොවේ පෙමේ විදා
තුටින් දකිම් පොපී කුසුම්
(අනුෂ්ටුප් ඡන්දසට අයත් ප්‍රමාණිකා විරිත)
කවිය බලන්න
අසම්මත පෙමක්
තුරුණු වියේ පාළු වීළු හදහන් පොත සතරින්
ගෙදර වාසේ හොදම නෑලු පැමිණේවිලු අපලින්
ළගක නොතියා දුරට යැව්වා හිස බූ ගා සැනකින්
සිවුර දරන් ඉන්නට වුණි මහණ දමුත් පුරමින්
දවස දවස දහම් මගට පිළිපන් මම සැදැහින්
සීල රකිමි ගාථා දකිමි විදු නැණ පා පහනින්
එකවර ආ චණ්ඩ සුළග වරා මලක් ගෙනවිත්
අතහරියේ මා අබියස තුරුණු හැඟුම් පොදකින්
කෝල බැලුම් නාරි රැඟුම් පිරි නුබෙ වත වූ නිකළැල්
රැඳුනු මසිත මා හිමිනම බැව් අමතක කරවැවු
කෙසේ බැඳුණු බැමි ලිහම්ද දැක ඒ සැර මායම්
ඉදින් බැඳුණි අසම්මතයේ පිළිකුල් නොවු හැඟුමින්
මන් දන්නවා නුඹේ හිතත් ආළෙන් ඇති නිසැකී
එදා දුටුව නුඹේ නුවන් පුරා හැඟුම් රැසකී
පා යුග දෙක සෙමින් සිඹින කළ ඔබ මා ලගදී
මා හිමිනම අමතකයිද අසන්නටත් සිතුනී
දිගු රැයවල් පසු කරවිත් තවත් රැඳිය නොහැකී
සිවුර ඇතැර යා යුතු වේ නුරා හැඟුම් රැසකී
සඳ පිණි දිය හැලෙන රැයේ නුඹ හා මම එක්වී
පා තැබුවෙමු දිවිගමනට එක්වී අත් පැටලී
නීල බමරු කෙස් කලාපේ රොද බැඳිලා සතුටින්
තොල් පෙති අග රඟදෙනවා කාන්තිමත් මිණි මෙන්
මුව මඬලත පිණි වැටිලා දිළිහෙනවා විලියෙන්
නුරා දෙනෙත් නෙක ගැටුනා හැඟුම් පොපියා සතුටින්
උදා හිරත් මුකුළු කරයි රැස් දේ සුව විලසින්
වන බබරුන් ගීය වයයි නුරා හැඟුම් විඳිමින්
විකසිත වූ පින්න මලකි මා සියොලග අසලින්
අසම්මතය අම රස විය ප්‍රේමයේ රන් දමකින්
2021-09-22
කවිය බලන්න
වැලන්ටයින් තිළිණය
මා ඔබට දෙන තිළිණය
රතු රෝස මලක් හෝ
විල්ලුද හදවතක් නොව
ළූනු ගෙඩියකි
එය දුඹුරු කඩදාසියක එතූ සඳක් වැනි ය
ප්‍රේමයේ සියුම් නිරුවත්වීම විලසින්
එහි පොරොන්දුව ද ආලෝකයයි
පිළිගනු මැන එය
ප්‍රේමවන්තයෙක් ලෙසින්
එය ඔබව කඳුලින් අන්ධ කරනු ඇත
කැඩපතේ ඔබගේ පිලිබිඹුව
ශෝකයෙන් වෙව්ලන සේයාරුවක් කරනු ඇත
මා සත්‍යයක් ම කියන්නට උත්සාහ කරමි
මගේ තිළිණය සුන්දර කාඩ් පතක් හෝ
තැපෑලෙන් දෙන හාදුවක් නොව
ළූනු ගෙඩියකි
එහි දරුණු හාදුව
අප බැඳී සිටින තාක්
අප දෙදෙනා තරම්
අයිතිවාසිකමින්, විශ්වාසී බවින්
ඔබේ දෙතොල් මත නවතිනු ඇත
පිළිගනු මැන එය
ඔබ කැමති නම්
එහි ප්ලැටිනම් වළලු
මඟුල් මුද්දක් සේ හකුලුවනු හැක
මේ තිළිණය මාරාන්තික ය
එහි සුවඳ ඔබේ අතැඟිලි මතත්
ඔබේ පිහි තලයේත්
තැවරී පවතිනු ඇත
‘Valentine by’ Carol Ann Duffy
පර්වර්තනය- හෙල්මලී ගුණතිලක
Link to the original poem - https://www.scottishpoetrylibrary.org.uk/poem/valentine/
Carol Ann Duffy 1955 දී ස්කොට්ලන්තයේ උපන් කිවිඳියකි. කාව්‍ය සංග්‍රහ කීපයක් ම පළ කර ඇති ඈ ඊට අමතරව නාට්‍ය තිර පිටපත් රචනා කිරීමේත්, සංස්කරණය කිරීමේත් දස්කම් දක්වන්නී ය. Carol Ann Duffy 2009 දී ස්කොට්ලන්තයේ Poet Laureate තනතුර ලැබූ අතර වසර හාරසියයකින් එම තනතුරට පත්වූ පළමු කාන්තාව ඇය විය.
Description and photo of the poet-https://www.scottishpoetrylibrary.org.uk/poet/carol-ann-duffy/
Copyright free photo from Pixabay
කවිය බලන්න
අතුරුදන් විය වැලන්ටයින්
කදිම දුනු බැම මුදන හී සර වැදී පෙම් රණ භූමියේ
සුගම වුනු සේ තෙදැති දැහැනම බිදී යයි සොද මල්වියේ
රතු ම උනු ලය රෝස කුසුමින් සුව කරත් කැළලක් තියේ
නික්ම යනු මිස තවත් සටනින් පලක් නැත මේ වාරයේ
සටන දිනුවෝ උදම් සමරන ප්‍රේමයට හිමිවූ දිනේ
බමන හිස් ඇති පෙමක් සිස් අය වීදි වල සංදර්ශනේ
ගැහෙන ඉපැරැණි හදවතක ඇති අති මධුර සංසුන් සෙනේ
ගිමන නොම ගෙන කෙතෙක් සෙවුවද අතුරුදන් වූ බව පෙනේ
කාසි ගැටෙනා හඬින් පිපෙනා යොවුන් ගස් වල කැකුළු වේ
ප්‍රේමෙ නමිනා දිනක් වෙන් කර කැකුළු එකිනෙක මුකුළු වේ
ගැහෙන දැනෙනා හදක් නැතුවම සොදුරු දින සිස් සිතළු වේ
රහක් නොවෙනා මිනිස් හැඟුමට වැලන්ටයිනුත් විහිළු වේ
කවිය බලන්න
ගිනිගත් ටාසන්
පාස්කු දවසට මට හරි වාසියි
අපේ ගෙදර පොඩි මඟුල් ගෙයක්
බාගෙට උයලා කුස්සියෙ කට්ටිය
දැනෙනව මට මහ රසක ඉවක්
මගේ පිගානෙට ජයටම බෙදලා
රසටම අනලා දීල උදෙන්
හොදටම කාපන් ටාසෝ කියලා
කීව අම්ම මට ආදරයෙන්
ජනේලයෙන් මම එබිල බලනකොට
දැක්කා හැඩ වෙන ගෙදර අයත්
ටාසෝ කියලා පල්ලි ගියා
මට බාර දීල පොඩි මුර වැඩයක්
පඩිය උඩට වී බලාන උන්නා
පාරේ යන හැටි මහ සෙනගක්
ඇහිච්ච සද්දෙන් ගැස්සුන පාරට
හැංගුන බංකුව යටට ගිහින්
හිටියා හිටියා බලාන හිටියා
දැන් එයි කියලා ගෙදර අයත්
හොරෙන්ම දිව්වා පල්ලිය පැත්තට
බලන්න පරක්කු මොකද කියා
හරි කලබලයක් පල්ලිය ඇතුලේ
පොලිස් මහත්තුරු මහා ගොඩක්
ගෙදර කට්ටියත් හොයා ගන්න බෑ
දිව්වා ආපසු ගෙදර මමත්.
කෝ මේ ගොල්ලන් ගෙදර ඇවිත් නෑ
වාඩි වුනා මම තව සැරයක්
අනේ මන්ද දැන් මොනව කරන්නද
දැනෙනව මට දැන් ලොකු වෙනසක්.
අල්ලපු ගෙදරින් දුවගෙන ඇවිදින්
කියන දෙයක් මට තේරෙන්නෙත් නෑ
ටාසෝ කියලා මාව බදා ගෙන
කෑ ගැසුවා මගෙ යාලු බබෙක්.
කුස්සියෙ උයපුව අනලා දුන්නා
ඇවිදින් මට ලඟ පොඩි කෙල්ලක්
කන්න එපා මට පාළුයි හරියට
එන්නකො විගහට ගිය තැනකින්.
ටාසෝ කියලා අඬගහන්නෙ නෑ
මගේ ගෙදර අය පේන්නවත් නෑ
පල්ලියෙ දෙවියන් මොනව කරනවද
දන්නෙ නැද්ද මම තනිවු බවක්!
කවිය බලන්න
ප්‍රේමයයි මනරම්
නතර වන තැන සොයා ඇවිදින්
සරා කෙතරම් ගණන් බැලුවත්
එදත් මෙලෙසින් බැදී ඉන්නැති
ගුලිවෙලා නුඹෙ හදට මෙතරම්!
දුවන සිතිවිලි රැහැන් පැටළුණු
ලිහී මත් වුණු සිත් තුරුළෙ හිද
නුවන් අබියස මීන දිගැසියෙ
රාග නෙතු සර හඩයි ඉකිබිද!
නැගෙන රළ වන් කෙස වැටිය දග
හැරෙන සද නිරතුරු ව කළඹන
දෙපා නැගෙනා ලයට නැටවෙන
උකුලු කුළු පසුපසට හැඩ දෙන!
කිමැයි සොදුරියෙ අදිසියෙන් නුඹ
නොහොද සිත්ගෙන සිටිනු පිටු පා
හැරෙන් කොමලියෙ මදෙස බලමින
විසල් හද බැදි නුඹයි සීතා!
අහා බලනු ද අසිරියක අම
වෑහෙනා නාදලු දෙතොල මැද
දෙතිස් සුද ගත් කිරි කොකුන් පෙළ
වාසනා නුඹෙ සුපුන් වත මට!
දෙකදු පිරිපුන්රණ තිසරු යුග
මැදින් ළැම උණුසුම් යහන මත
සිතයි එක් වර සිප වැළදගෙන
වැතිර ඉන්නට නෙත් පියලි බැද!
වතුපිටි ද ගේ-දොර කඩම්-ඉඩ
තිබෙන මුත් හැම දේ ම කොතරම්
සිත පිරෙන පොපියන සතුට දෙන
මට නුඹේ ප්‍රේමයයි මනරම්!
01.02.2022
කවිය බලන්න
පාසල් යන්න ඉඩ දීපන් කොරෝනා
මා දෙස බැලුම් නොම හෙලපන් කොරෝනා
පාසල් යන්න ඉඩ දීපන් කොරෝනා
ගෙදර ඉන්න බෑ තව නම් කොරෝනා
ඉක්මනින්ම සැගවී යන් කොරෝනා
පාසල් යන්න මා ආසයි කොරෝනා
දුව පැන ඇවිදින්න ආසයි කොරෝනා
ඔබගෙන් ගැලවෙන්න බෑ මා හට කොරෝනා
කවදා ඔබ යයිද මෙලොවින් කොරෝනා
ක්‍රීඩා පිටිය පාළුයි අද කොරෝනා
බෙර හඩ ඇහෙන්නෙත් ඈතින් කොරෝනා
ඔබ හින්දයි තහංචි මේ කොරෝනා
මට නම් ඔබව තිත්තයි දැන් කොරෝනා
කවිය බලන්න
අලුත් අවුරුදු
පිපිරෙන රතිඤ්ඤා
කියයි
මිනිසුන්ගේ පැතුම්වල තරම
උඩ ගොස්
විසිර
වැටෙන
මල්වෙඩි
පෙන්වයි
ඒ පැතුම්වල ඉරණම
01-01-2018
කවිය බලන්න
කඩා හැලෙන කඳුල......
ලඟින් ඉඳලා දුරට යද්දි දැවෙනා හද මඩල
රඳවාගන්න බැරි තරමට කඩා හැලෙන කඳුල
ජූජනීය සෙනෙහසකට උපමා කොයි සකල
නිහඬව විඳගන්නෙමි මම අවන්හලක නිසල
කවිය බලන්න
කෙටි වුණත් ඒ කවි
1. අප මුමුණන සඳ
උයනෙහි ළංව හිඳ
සෙවනැලි ද මුමුණයි
බිම වැතිර .
2. දිනපොතක
අමතකව ගිය කවක්
පැහී ඉදී
සුවඳ හමයි.
3. බිඳුණු උළු අතරින්
වැටෙන වැසි බිඳු
ඉවසයි
බිඳුණු වළඳක් .
4. කෙටි වුණත් ඒ කවි
කියවන විට
හරි දිගයි.
කවිය බලන්න
නවතින්න ආදරයේ දහවල
විශ්වයම එළිය කල
තරු එළිය පරදවන
අමාවක වුව දිලෙන
නුඹේ නෙත් එළිය වුව
ගිල දමන
ගන අඳුරු රාත්‍රිය
මොහොතකට කර එකලු
නික්ම යන
නිමේෂයකට දිදුල
විදුලි එළියක් නොවී
වියපත්ව
මියඇදුනු සේ පෙනුනු
දුඹුරු පස පුපුරුවා
සෙනෙහසේ ලා පැහැති
දෙපෙති සහසක් විදා
පිපෙන තණපත් මතට
දිරාගිය සේ පෙනුනු
අතු පතර බුබුළු ලා
සුපුශ්පිත තුරු හිසින්
මිදී සෙනෙහස සොයා
පතිත මල් පෙති පිරුණු
සන්ධ්‍යාව බෝ ඈත
වසන්තයෙ දිගුම දිගු
ගුම් නගන උණුසුම්ව
තුරු වියන් සර සළිත
දහවලක
හිරු එළිය වී ඉන්න
දෝරෙ යන ....
කවිය බලන්න
ප්‍රේම කළේ මගේ දෑස
නුඹ ඇරැයුම නොගත්තාට
නිරතුරු පෙම් කළේ නුඹට
ඒ නෙතු වසf`ගට ගත්තට...
කල් ගෙවුණත් අපට හොරෙන්
සිත් ආදර නොතිබුණාට
වසන් කළේ නෙතු ක`දුළැලි
දරු දුක ගිනි ගත් හින්ද ද...
හිතට කාන්සිය දැනුණේ
පාලුව නිදි ගත් හින්ද ද
අප දෙන්නගෙ සිත් හැ`ඩුවේ
කීරි ගැහී ගිය හින්ද ද...
තනිකම මට-බොට දැනුණේ
රැ`දි පුසුඹත් නැත කියා ද
නෙත ක`දුළක ගුලි වූයේ
පෑල දොරින් ගිය පසු ව ද!!
2022.02.01
කවිය බලන්න
දියමන්තිය....
රලු ගලක් යට
සැඟවී සෙමින්
නුඹ නිදයි
දියමන්තිය ලෙසින්....
ලොව දුටුවොතින්
ඔය රුව ඉතින්
ලොබ බඳිනු ඇත
නිම් නැති පෙමින්.....
වෙර දරා දිස්නය
සඟවමින්
නුඹ වසන් වුන
හැටි ඇස් වලින්....
ඔප නොදැමුනත්
හැඩිදැඩි අතින්
නුඹෙ අගය නම් නෑ
හැර ගිහින්.....
එනතුරා දෑතක්
නුඹ නමින්.
තව වසන් වෙනු මැණ
මේ ලොවින්......
රලු ගලක් යට වුව
සැඟවෙමින්
නුඹ නිදන් දියමන්තිය
ලෙසින්...
14/01/21.
කවිය බලන්න
වඩමි පිළිකූල් දැහැන රැය දිගු ය
රබර් තුරු සළු මුදන නවම් මස
අවර්ණය රැගෙන එන පුරුදු ලෙස
සුපර්ණක කුමරි මා ලැබූ දොස
අකර්මක රාම ඔබ සතොසින් ද?
සුපෙම් විල ගැඹර නොම දත් ම'හද
වදන් මී පොවා කළ උන්මාද
රැහැන් නිමැයූ මියුරු සංවාද
දෙසින් ම ය ඔබේ ඇරඹුම් නේද?
අනවතප් විල් දියෙහි රැළි අද ද
වැලපෙනායුරු පෙනේ රුහිරු මැද
හිරිඔතප් බිඳි තඹර පෙති ළමැද
නිරුවත් කළේ කිම ද ලොව සුහද?
කුළුඳුලේ ඔබ වින්ද මකරන්ද
ඉඳුල් කරනා සහස් ඇස් කන්ද
නිළියක් මි සිනාසෙන සිහිනෙන් ද
වෙස් මුහුණ කඳුළින් ම පෙඟුනෙන් ද
නො ගයමී සඳ කිඳුරු දා කවිය
මධු බොමී රජුන් මැද වී මමිය
ගමී කමටහන් ලෙස ශරීරය
වඩමි පිළිකුල් දැහැන රැය දිගු ය
කවිය බලන්න
මරණ බයට කියැවෙන කවි
දෙකනේ ඇබ දෙකකි අතෙකින් මොබයිලය
රෝද තුනම හෙල්ලෙන සැර මියුසික්ය
රැයේ බිිපු ලෝදිය සැර තවමත්ය
එළවපන් මල්ලි මරණය අත ළඟය
දකුණට හරවපං සිග්නල් වමට දමා
වෙට්ටු දදා පැදපං දැන් නොවිි පමා
මට්ටු කරන්නට ඉස්සර කරන දනා
පාගපං මල්ලි මට අබ සරණ තමා
"බුදු සරණයි දෙවි පිහිටයි " පිටිපස්සේ
වැකියකි වැදුු මව්්සි හිකර පිටි අල්ලේ
ඒ කිසිවක් එපා තරගෙට හිත හෙල්ලේ
ඇදපං මල්ලි මරුවා ළඟ එයි හැල්මෙි
සද්ද දමා කපපං ඉර වැරදි තැන
කාකි සුුට් හිටියත් කිම අතේ දුර
ඉතිපිසෝ කියමි ඇස් දෙක පියාගෙන
වදින්නං මල්ලි මරණින් බෙිරපං මම!!
කවිය බලන්න
හදා ගැනීමට දරුවන් ඇත!!!!
හදා ගැනීමට දරුවන් ඇත......
බලා ගැනීමට මව්පියන් අවැසිය....
හදවත නතරකල පනිවිඩයක්......
බෝනික්කන් වැනි දරු දැරියන් වටකරගත්....
කවිය බලන්න
කතරෙහි පිපි මල්.....!
නව නව හැඟුම් පුබුදාලන හිත් ගොල්ලේ....
හිඳ හිඳ රොන් සරට ගුමු නද නැති නිල්ලේ.....
වන බඹරුන්ට දුර ඈතයි එක එල්ලේ....!
තව තව මල් පිපෙනු ඇත
නිරුදක වැල්ලේ.....!
පිණි ඉහිරෙන කඳුල විඳ විඳ පවනැල්ලේ ....!
දිසි වන මඩල රැස් දහරයි අරුණැල්ලේ.....!
මිණිකැට දිලෙන හිරු කුමරුගෙ
ඇසිපිල්ලේ.....!
විසමත් බඹරු ඉකිලයි පහනට දැල්ලේ.....!
දිවි මග සොඳුරු රසමුසු තැන් එක්වෙන්න....!
සිසි කිරණෙහි සිහිල හදතුල රඳවන්න.....!
ඇසිපිය පියෙනතුරු එකටම ලඟ ඉන්න.....!
'නිරුදක කතර පිපි කුසුමට' සමුදෙන්න.....!
කවිය බලන්න
වරමක් ලැබුනි ලක්දිව සිරි නරඹන්ට
වරමක් ලැබුනි ලක්දිව සිරි නරඹන්ට
උඳුවප් සඳෙහි සිසිලස සුව විඳගන්ට
දහසක් කතා අසමින් කොක් හඬලන්ට
වසරක් දෙකක් නොපෙනුන දන හමුවන්ට
කෝවිඩ් සතුර තවමත් රජ කරන සමේ
ඈතින් ඉදන් බාගෙට දුටු මුහුනු අනේ
දෑතට නාවගෙන සැනිටයිසර් මහිමේ
නෑදැ හිත වතුන් මට හමුවන්ට උනේ!
සුන්දර සමය ගතකල ඒ හිත වතියන්
එක්වී සොඳුරු වත ගොත අසමින් තුටියෙන්
ඉන්නා විටක කෝවිඩ් සතුරාට හොරෙන්
පෙනුනා හදේ සුන්දර මුකවඩම තුලින්
වැන්දා රුවන් වැලි සෑ රජු හද බැතියෙන්
පැන්නා කඩුලු වැඳ ගන්නට බෝ රජුනන්
වින්දා සුවය මහමෙවුනා සමාධි යෙන්
දැනුනා ඉසුරුමුනි යුවලගෙ පෙම් සුවයන්
දලදා මැදුරේ ඉසුරුව තෙද විඳගන්ට
පෙරදා ලැබුන සරසවි සිරි නරඹන්ට
විහිදා ගලන මහවැලි රැලි දැකගන්ට
හෙටදා යන්න දෙනු වරමක් නැවත මට
මනසින් වඳින සිරිපා මැසැසින් දුටුවා
නිල්වන් කඳුකරයෙ සිසිලස සුව ලැබුවා
කුසුමින් පිරුන තුරුලිය නිල් හමුවූවා
රන්වන් ගොයම පිස එන සුලඟත් දැනුනා
ලොව බැති පුදන මඩු මා බැතියෙන් පිදුවා
මන්නාරමේ ලුනු මුසු සුලඟත් දැනුනා,
තන්තිරිමලේ ගල්ලෙන වෙහෙරත් දුටුවා
ඉන්දිය සයුරෙ රැලි සුව දෙපයට ලැබුනා
එවකට සිටිය කොලු ගැටයන් දැකගන්න
රහසින් කරපු කෙලි දඟකම් දැනගන්න
සැලකිලි තෑගි ගරු බුහුමන් ලැබගන්න
වරමක් ලැබුනි! උන් දෙවියනි රැකගන්න!
පොහොරක් නැතිව දුක විඳිනා ලක ගොවියන්
දහසක් ප්‍රශ්න මැද ගෙවනා ලක් වැසියන්
දින දින නගින මිල දිවියට එන පැනයන්
නව සඳ ගෙනෙනු සහනක් පතනෙමි, බැතියෙන්!
කවිය බලන්න
සුව කළ නොහැකි
අධිකරණ ගබඩා කුටියේ
දූවිලි වලාවන් අතර
පැරණි නඩු ගොනු පිරික්සමින් ඔබ ?
මිතුරිය
කිසිදා සුව කළ නොහැකි
රෝගයකට මඟය
අසාත්මිකය ඔය දූවිල්ල
කවිය බලන්න
නමසිය හතලිස් අටේ
නමසිය හතලිස් අටේ
ඉංග්‍රීසි නෑයෝ ගමරට බලා ගියෝ
පොදි බැඳගෙන දුප්පතුන් සන්තක වූ
ජීවත්වීමේ නිදහස හිමි සියලූ.
එහෙම ගිහින් ටික දවසයි - එක පිට එක වින්නැහි
අසරණ කාටත් ගමේ සිදාදියේ
නොමිලේ බෙහෙත් දුන් ඩිස්පැන්සරි රට වටේ
හා හූ නැතුවම වැසී ගියා රහසේ.
පාසල් යන දුප්පත් දරු දුක දැන
නොමිලේ කිරි වීදුරුවක් සපයන
ආණ්ඩුවේ කිරිහල්වල කිරි හිඳුනා - කිරිහල් වැහුණා.
ගෙදර වැරදුනත් පාසලේ නොවරදින
දිවා වේල දුප්පත් දරුවන්ගේ
කාක්කො අරගෙන ගියා වගේ ලක්දීපේ.
නිදහස් සෞඛ්‍යය - නිදහස් අධ්‍යාපනේ
වචනය විතරයි ඉතුරු වුණේ
ඔක්කොම සේවා පොදි බැඳගෙන - ගියා වගෙයි ඉංග්‍රීසින්.
ඒ විතරද බුදු අම්මෝ
කූපන් පොතකට සමූපකාරෙන්
නොමිලේ වගේ දුන් හාල් ඇටේටත් ලකේ
ගුල්ලො විද්දේ - ගියාට පස්සෙයි ඉංග්‍රීසින්.
රජවරු වගෙ හිටි ඉස්සර නිලමෙල ගම්පතිලා
අස්ස කරත්තෙන් තිරික්කලෙන් එද්දී
අසරණ මිනිහා කාණුවටයි බැස්සේ
ඉඩකඩ නැති පාරේ.
ඒ හිංසාවෙන් මුදන ලෙසින් අසරණයා
පාර දෙපැත්තේ උසට උසේ
පදික වේදිකා හැදුවේ ඉංග්‍රීසින්.
දුන්දේ අරගෙන ගියාද මන්දා ඉංග්‍රීසින්
වැටෙන්න පේමන්ට් එකවත් දැන් නෑ
දුප්පතාට මහ පාරේ.
පරම්පරාවේ කව්රුන් හෝ වේවා
පොලිස් පොතක ලියැවුණා නම්
හිරේ විලංගුවේ වැටුණා නම්
ඔෆිස් පියන් තනතුරකට හෝ රජයේ
පත්වී යෑම බොරුයි - ඒ ඉංග්‍රීසි කාලේ
පොදි බැඳගෙන ගිය හින්දා ඉංග්‍රීසින්
ශීලාචාර රාජ්‍ය සේවේ
අද පොලිසියේ පටන් රාජ සබේ දක්වා
තේරී පත්වී එනවා - හොරුන් මිනී මරුවන්
සංඝ පිරිත් නූලේ බලයෙන්
වැජඹෙනවා ඒ රාජ බලේ යහතින්.
වගතුග නොදැනයි ලෝකෙ හිනාවෙන්නේ
පොදි බැඳගෙන ගිය විත්තිය ලක්ජන සතු හැමදේ
ගමරට යද්දී ඉංග්‍රීසින් - නමසිය හතලිස් අටේ.
27.01.2022
කවිය බලන්න
අවසන් හෝරාව
දින සති ගෙවුණු වග දැනුනද ගිය වසරේ
දුක් සෝ තැවුල් මැද පාවුනි සෝ සයුරේ
සවනත වැකුනු දෑ නෙත බොඳ කර මිතුරේ
යන්නට ඇති ගලාබැස දෙකොපුල් අතරේ
අහිමිව හිමිව ඇත නොයෙකුත් දේ නිතින
මෙපමණ යැයි කියා කිව නොහැකිය මෙදින
මට මෙන් ඔබට නැත වෙනසක් එහි තිබෙන
නතුවණු මිසක එය වෙයි අටලෝ දහම
නවවසරක් උදා වෙනවා නොදැනීම
නව ජීවයන් එකතුව ඇත හැමදාම
ලොව හැර ගිය එවුන් රඳවා මතකයෙම
හැල්මේ දුවයි අපි කාලය පසුපසම
උඳුවප් මස ගෙවෙන අන්තිම හෝරාවයි
හෙට ඇරඹෙන දුරුතු මස තවමත් සීතයි
සිතතුළ ඉපිද මියයන සිතුවිලි බොහොමයි
කෙනෙකුන් හඬයි තවෙකෙක් මල්වෙඩි පුපුරයි
කවිය බලන්න
සොයා යෑම
ජීවිතේ සොඳුරු මුත් අඳුරු මුළුවල ඇවිද
සීතලේ හිම වැටෙන සීත සමයෙදි වුවද
තාරුකා වැසි වසින සඳ ඇහැරි මහ රැයෙද
හීන අතරෙත් ගනිමි නොදැකි ඒ රුව වැළඳ
ඈත දිනකදි පරව ගිය මලක පෙති අතර
රෑක රහසෙම පිපුන කැකුළ හිමිහිට අතැර
ඈත දුර පියඹුවත් පිස දමා ඇස වතුර
තාම යට තියෙනවද අළු වැසුව ගිනි පුපුර
ලැබූ මුත් ආදරය පරදනා නිල් අහස
සෙවූයෙමි දුරු රටදි හමේ පැහැයේ වෙනස
සිතූ ලෙස එළඹි දා පියඹන්න කල වයස
මහා වන මැද සොයමි නොලද ඒ මවු පහස
දැනුනාම ලේ සුවඳ අතැර ගිය මව් ගසට
හිතුනාම තම මලක් අඬන බව තනි කමට
ලැබුනාම ඉඩ කඩක සිප වැළඳ දි සතුට
හැමදාම හිඳින්නම් හැරනොයා වී ළඟට
කවිය බලන්න
මතක අමතක කරනු කෙසේ
රන්දා සිනා නිති මුව අග සොඳුරු බර
බන්දා ගෙනා සැම සිත් නුඹ නොයෙක් වර
වින්දා එදා ජීවිතයම දුකින් බර
කැන්දා ගියා මරු දොළොස් වසකට පෙර
මතකය එදා වගෙමයි මගෙ හිත පතුලේ
සිහිවෙයි නිතර සිටි හැටි එකතුව පවුලේ
අදටත් හිතා ගනු බැහැ හිත ඇත අවුලේ
කෙලෙසද ගියේ හැරදා සැම සෝ තැවුලේ
ඉපදෙන හැම භවෙම සොයුරිය වන්න ඔයා
මිතුරිය විටෙක මවමයි පෑ අපට දයා
නොරටෙදි නොසිතූ විට මරු වසඟයටගියා
මතුදා උතුම් නිවනින් සැනසෙන්න ඔයා
2010 .02 .23 දින ඉතාලියේදී හදිසියේ මියගිය
මගේ ආදරණීය එකම සොයුරිය නමින්
හද පතුලෙන් නැගෙන සෝකය ..
කවිය බලන්න
මොකටද ඔය වැලන්ටයින් !
දිවුරා බහ දිදී වෙන අය සොයා ගිහින්
සමරණු දැකිය හැක ලොකුවට වැලන්ටයින්
උතුරා හැලෙන සෙනෙහස සිත පුරා දරන්
හැමදා ළඟින් හිටියොත් පරදාවි සුරන්
පූජාසනයක් ය සෙනෙහස පිරුණු සිත
දවසින් දවස ලියලා පල දරණු ඇත
පළඳිමු කිරුළ සැමදා ආදරෙන් මිත
එක්දින සැමරුමක් පමණක් ඇවැසි නැත
සසරේ පුරුදු ලෙස දැනෙනා සුවඳ අරන්
හදකට තුරුළුවූ කල පෙම් පහස දරන්
මල් පල ගැනෙන්නේ ගත සිත නිවන ගමන්
පිවිතුරු පෙමට බැඳි සීමා කොහිද කියන්
සාලිය කුමරු මාලාවන් වෙත බැතියේ
පුදදුන් ආදරය අදටත් ඇත සිහියේ
එනිසයි ඉසුරුමුණි සෙල් රූ පණ ලදුයේ
වැලන්ටයින් ගැන උන් නැත දැන සිටියේ
නැත වැට කඩොළු සීමා පිවිතුරු පෙමට
එයටද නිගා දෙන්නන් අද ඇත එමට
සැමදෙය මිල මුදලටම යටවුණු කලට
රැකගමු ආදරය සැමදා එක ලෙසට
24.01.2022
කවිය බලන්න
යසෝදරාවතේ සිත්ගත් කවි
යසෝදරාවතේ සිත්ගත් කවි - මහනුවර ජනකවියා
රුව ඇති පුතුන් වැදුවා මම වැරදී ද
රුව ගුණ තේජසක් මගෙ අඩුවුණා ව ද
ගරු සරු නැති කමක් මාතින් යෙදුණා ද
මරු බිඳ බුදුවෙන්ට සීනෙන් පෙනුනා ද
කවිය බලන්න
රෑ වෙලා ඇහැ අරින තරු අතර
මුදු සීත දුරුත්තකි, පෙති ඇරුණ
මඳහාස කිනිත්තකි, පිනි ඉසුණ
දුර ඈත අනන්තෙකි, ළඟ රැඳුණ
දිගු දෑසෙ දියත්තකි, මඟ හැරුණ
නිදිවරන මතකයට තනිරකින
මඳහසක තටු පැළඳ ඔබ පැමිණ
නිහඬ හද රඳන සඳ හිත රිදෙන
කඳුළැලිද අඩදැණිව ඉකිබිඳින
මාවුලාවෙක සිහින බිම වැතිර
භාවනාවෙක, නිහඬ දිව මතුර
පාරනා හිත, කවුරු ඔබ විතර
රෑ වෙලා ඇහැ අරින තරු අතර
නැවුම් සිතිවිලි, ස්මරණ මඟහරින
සුසුම් පවනැලි සමඟ සැරිසරන
හැඟුමි වැරහැලි අතැර හිරි අරින
නවම් හෙවණැලි පැමිණ කොළ හළන
වචන උහුළන කඳුළු උහුළන්න
වචන මත තිමිර මත ඇවිලෙන්න
වචන අළු මත සුසුම අතුරන්න
වචන අතහැරි වචන විඳගන්න
2022, ජනවාරි 30.
කවිය බලන්න
සබන් එපා..පියරු එපා...
සුමුදු සබන් සුවද පියරු ගෙනත් දෙන්ට කාසි කොයින්
තාත්තෙකුගෙ හිත මෙලෙකයි- සසැලෙයි කිරි කවඩි හඬින්
කාසිත් නැති ඉල්ලන්නට කෙනෙකුත් නැති නුඹේ අතින්
සබන් එපා පියරු එපා -ගෙදර දුරයි පරෙස්සමෙන්
සිල්ගත් සුසිල් සිත් අහලක- නැති හැටි දුක හිතෙන තැනක්
පන්සිල් පද රකිනු කැපයි- නුඹ බිම දණ වැටුනු තැනක්
එපා නුඹට මතු මතුවට දැනෙන්ට කිරි සුවද දුකක්
අච්චුව බරයි අසරණ අපට-මරණය වෙද සැනසිල්ලක්
රුදුරු උනුන් අත අත දැක දරුවන් සිහි උනාදෝ
උන් කිරි සිනා මුව දකින්ට -හයියක් හිත කොහේදෝ
දරුදුක මහමෙරකි -කිරිකැටි බිලිදුන් ඒ දනීදෝ
ලේ කිරි නුදුන් මුත් පියවරු මතු මතු බුදු නොවේදෝ
කවිය බලන්න
අති උතුම් ආගම?
අති උතුම් ආගම?
“දෙවියනි අසම සම
අසනෙමි කරුණ මෙම
ලෝ අති උතුම් ආගම
පැවසු මැන ඒ කිම?”
“ආගම යනු කිම
තිරව නොදනිමි මම
මුනිවරු ලෝ දෙසූ දම
පුතුනි එය මිනිස්කම”
“පන්සල්, පල්ලි කොතෙකුත් ලෝ බැන්දාට
මල් ලු පිලිම අභියස ඔබ වැන්දාට
ලොව තුල මිනිස්කම් පිරිහුනු දාට
ආගම් දෙසූ දම් යලි වැටහෙනු කාට?”
“කරුණාව, එකමුතුකම
තිරව අගයමි මම
මුනිවරු ලෝ දෙසූ දම
පුතුනි, එය මිනිස්කම”
The Ultimate Religion?
“Oh! Mighty God, the knower of all,
May I implore thee to make one call,
Of the Religions, us humans enthrall
What is the noblest of them all?”
“The noblest one I cannot guess
What ‘Religion’ is I know even less
But my son, all noble sages stress
The value of humanity and kindness”
“Temples and churches, build them if you may,
Erect grand statues, place flowers and pray,
But, as human values slowly ebbs away
Son, say which Religion could save the day?”
“Your harmony with inclusiveness,
These worthy qualities, I always bless,
Yes, my son, all noble sages stress
The value of humanity and kindness”
Niranjan Selvadurai
(Image: prayer multi faith by Jeremy Timothy
https://rationalfaiths.com/exclusive-inclusivity/prayer-multi-faith )
කවිය බලන්න
බැට්‍රියක් හොයනවා
"මහත්තයෝ ඇයි පයිං ?
දැකල නෑ නෙව කලිං"
"මගෙ අලුත් කා එකේ
බැට්‍රියට කෙලවෙලා
ගන්න නෑ කොහේවත්
කා ලකණ්නි කා ලයක්
කා එක එකම තැන
කා කියා ගන්න බෑ
ජීවිතේ නැවතිලා
හොයනවා හොයනවා
දවස් ගානක් දැනට
පනින්නට හිතෙනවා
ඉඳල හිටලා ගඟට"
"හිත හයිය කරගන්න
හම්බවෙයි ඉවසන්න
මාත් මේ හොයනවා
ඉඳන් හුඟ කාලයක්
තවම නම් ලැබුණෙ නෑ
දුක්වෙලා වැඩක් නෑ
ලැබෙයි කියලා හිතන්
හිත හදන් හොයනවා
කීපයක් හම්බුනා
ඒත් හරියන්නෙ නෑ"
"බැට්‍රියක් හොයනවා ?"
"නෑ - වකුගඩුවක්"
කවිය බලන්න
ඇද්ද කිසිවෙක් මව් නොවූ මට?
ඇද්ද කිසිවෙක් මව් නොවූ මට?
මා උපන්දා මියැදුනා නම්,
නැවත ඉපදෙන්නැ’ති කොහේ හෝ,
තවත් මවකගෙ දරු ගැබක් තුල,
ඔබද අද ඇති මගේ වයසෙම.
කොහේ හෝ ඔබ හිදින්නට ඇති.
සම වයස් දැරියක් ලෙසින්,
එකට වැලි බත් පිසින්නට ඇති,
එකම පංතියෙ, එකම බංකුවෙ,
අකුරු කළ දැරියක් ලෙසින්.
දෑත් පටලා ඇවිදින්න ඇති,
වැලි මළුව දිග, කටු පදුරු අග.
අසල රැදෙමින්, සෙනෙහෙ බෙදමින්,
හොදම මිතුරිය ලෙසින්.
එහෙත් මිතුරිය වියපත්ව ඇත,
දෙදෙනාම අප ලෝ දහම ලෙස.
විටෙක ඔබ එයි මවක විලසින්, තව වරෙක යෙහෙලිය ලෙසින්,
සසර දුක දැක අසරනව අප, අඩන්නට ඇති, ඇති තරම්.
හැඩය රූපය වෙනස් වෙයි නිති, දියව ගලනා හිම ලෙසින්,
නැවත දිනකදි වතුර ඝනවෙයි, නොගලනා දැඩි හිම ලෙසින්.
යමුද? අපි අද අරණ වෙත දැන්, සිසිල් බෝ පත් සෙවන දුන්,
නිස්සරණ දම් ගුණ පුරන්නට
මිදෙන්නට හර සුන් කයින්.
කවිය බලන්න
මතක වස්තුවක්
එකමත් එක දවසක් දා
නානතොට ම සුවඳ කරන්
දිය කඳුරේ වූ විකසිත
නාරිලතා මල ගෝමර
කැකුළු දසන් - නුරා නුවන්
තරඟ දෙමින් පෑ සිනාව
ළා රත්පැහැ දෙතොල් විදා
මතක තිරෙන් එබී බලයි
නෙත් කැල්මෙන් කතා කරන
සබන් පහස දෙන ඩිංගට
හංස පැටව් හුරතල් කර
ඇඟේ හැඩට වූ අවනත
නිතඹ පෙඟුණු මල්චීත්තෙ
රඹ කඳ පරදා ඇළුණූ
දෙවොටර තව තව හැඩ වූ
මල් කැකුලී - රණ මොනරී
අතුරුදහන් වූවා සේ
ටික දොහකින්
නෙත ගැටුණේ නෑ නුඹ රුව
නාන තොටේ - කටුකුටුවෙන්
සිදාදියේ මහ වලව්වෙ
මුළුතැන් ගෙයි බර අදින්න
නුඹ කැන්දන් ගිය බව මිස
කාසි පනම් සිල්ලරේට
********************************
එකමත් එක දවසක් දා
රැවුල ඉදුණු, කෙස්ස පැහුණු
කථින පිංකමේ දායක
කළු අප්පොගෙ වලව්වත්තෙ
ඈත කොනේ ළිං බාල්කෙ
වතුර පනිට්ටුව වෙනුවට
එල්ලීගෙන නුඹ සිටියේ
ගෙල ඇලකර - නෙත් විවරව
මොනර රැහේ පිල් කලඹට
නිගා දෙවන කෙස්ස විදා
**********************************
නුඹේ බඹසර උදුර ගත්තු
කළු අප්පෝ සුදු කර දුන්
හාමුගෙ මර සළා වැටුම
නුඹ වටකර කැරකුනි දෝ
ළිං ගැට්ටේ එබිකම් කර
ගම්මු ඇවිත් කොකං පෑවෙ
පොලිස් දූතයන් ඉවලූ
නාරිලතා මල ගෝමර
මුකුලිත වූ වග විභාගෙ
කරවන හැටි ඇස් ඇරගෙන
නීතියෙ දෙවඟන වැඩලා
යුක්තිය පසිඳනා මහිම .....
කවිය බලන්න
නිදහසින් පසු....හොරකම සහ ණය උගුළ
කළු සුද්දන්ට රට දීලා සුද්ද අනේ
නිදහස කියා දුන් " නිදහස" හොඳට පෙනේ
හැත්තෑ හතර වසරක් තුල මොකද උනේ
ඉල්ලන් ඩොලර් රට සිඟමන් යනවා අනේ
දෙපිලට බෙදී උන් එක්වී වී රට කෙරුවා
ණය උගුළකට අපේ මව් රට යට කෙරුවා
කිසිවක් නොවන ලෙස උන් සව්දිය පිරුවා
ජනයා හැමදාම දුක් කඳුලැලි පෙරුවා
එක හොරු රැළක් එක වරකදී රට කෑවා
උන් අල්ලන්න වෙන් උන් බලයට ආවා
හොරු ඇල්ලුවේ නැහැ උන් හොරකම් කෙරුවා
නිදහස ලැබූ දා සිට මෙය සිදු වූවා
නිදහස ලැබූ දින සිට හොරු රජ කරන
හැම චන්දෙදීම රැවටෙනවා අමන ජන
දූෂණ චෝදනා තිබුනත් චන්දෙ දෙන
ජනයා ඉන්න රටවල ලොව ඇත්ද වෙන
නිදහස් රටක සිරි මෙහෙමද සිතනු මැන
ගලවා පක්ෂ කණ්නාඩිය තියනු මැන
මිනිසුනි අනේ අප රට ගැන සිතනු මැන
එළවා දමන්නට හොරු රොද බඳිනු මැන
උකසට තබා රට පොලියට ණයට ගෙන
ඒකත් හොරා කෑ මහතුනි අසනු මැන
ආවොත් ඉතින් යළි චන්දය ඉල්ලගෙන
අම්මපා නෙලනවා අපි කොහු ඉදල් ගෙන
කවිය බලන්න
නිඳන සොඳුර - කොළඹ යුගයේ සිත්ගත් කවි
කොළඹ යුගයේ සිත්ගත් කවි
කුසුම් කුල හිතවතුනි , විහඟුනි , බිඟුනි, කිම සිදුවූ විපත්තිය?
ම පෙම් වති අද සොහොන් ගැබ තුල නිඳයි සන්සුන් වූ තැනැත්තිය
මගෙන් වෙන්වී ගියත් සදහට සදා මගෙ හිත සුව කැමැත්තිය
කියම් දෙවසක් කඳුළු බීමේ යෙදුණු දුක්මුසු කටුක විත්තිය
ගුවන් තලයේ, මලේ, තුරුහිස් මතේ, වන රොද මලා මැල්ලේ
පහන් තරුවේ, සහන් එළියේ , දොලේ, සයුරේ, දිලෙන වැල්ලේ
පහන් දොර අළුයමේ සිට මට පෙනෙයි වළ තුල නිඳන කෙල්ලේ
නුවන් කඳුළෙන් නොමුසු අහරක් අහෝ! තවමත් නොමැත ගිල්ලේ
බිඟුන්, සමනළයන් , කුරුල්ලන් හමුව මගේ දුක උනට කී වෙමි
දරන්නට බැහැ - දරන්නට බැහැ මෙතෙක් උණුසුම් කඳුළු බීවෙමි
අහිංසක මා කුරිරු ලෝකෙක සොඳුරියේ, හුදෙකලා වූ වෙමි
ඔබෙන් පසු - පෙර නුහුරු බිහිසුණු සමාජයකට මුහුණ පෑ වෙමි
උදන් සැණකෙළි මතින් හඬලන විහඟ ගී දනු රවන සාලා
උපන් හද වේදනා සුපුරුදු මිහිරි මඳහස කින් වසාලා
සොහොන් කොත ළඟ හඬන, වැලැපෙන කඳුළු මල්පෙති පෙළ ගසාලා
නැඟෙන් පෙම්බරි, නැඟෙන් පෙම්බරි මගේ දුක් ගී හඬ අසාලා
පියුම් වනයෙක, කුසුම් ගොමුවෙක, නැතොත් සුරකුමරියන් රොත්තක
සුරන් ගඳඹුන් විසින් පුද දෙන හිමාලයෙ වන මල් කිනිත්තක
කසුන් තුරුපෙති අතර ජනිතව බිමට එන බොල් පිනි පැණිත්තක
උපන්නි ද පිය සොඳුර, මගෙ ගම්මානයේ වන කුසුම් පෙත්තක
කවිය බලන්න
පර පණ රකිමු
එක එක නම් යොදා මුහුදේ ඇති මාලු
අල්ලා මරා කන්නේ ගුණ හින්දාලු
දැන දැන නැසූ බව අපි හින්දා මාලු
පන්සිල් රකින ඔබ ඇයි කන්නේ යාලු
අල්ලා කකුළුවන් දඟලන පණ ඉල්ලා
එලෙසම දමා මුට්ටියකට ගිනි අල්ලා
අමු අමුවේම තම්බා තුනපහ ගල්ලා
කන එක මිනිස්කම වේදැයි සිතපල්ලා
පිළිකුළ නොමැති නම් මළ සතෙකුගෙ කුණට
කා හැක ඔබට රස ගල්වා ගෙන යසට
එනමුත් දිවි තිබෙන කිසි සතෙකුගෙ පණට
අතවත් තැබීමට අවසර නැත ඔබට
කැළයේ තිබෙන නීතිය ඔබ දැක ඇතුවා
එකෙකුගෙ පණ නසා අනෙකගෙ දිවි රැකුවා
ඒ වන දහම මිනිසුන් හට කැප නැතුවා
මනසින් දියුණු අපි පර පණ රැක යුතුවා
සතෙකුගෙ පණ නසා මළකුණු නොකෑවට
කා හැකි රස කෑම ඇත ලොව පුරාවට
එනිසා මිනිස්කම ගැනවත් සිතා හෙට
අදිටන් කළ මැනවි මළකුණු නොකෑමට
කවිය බලන්න
රතු නෙළුම
සැළලිහිණියෙක් රඟන
නැවුනු කරලක් පැසෙන
වෙල් එළියෙ අසිරියෙන
මන් මත් වුනිද උදෑසන
දිය ඇල්ලක නැලවෙන
නුගයක අතු විහිදෙන
වන වදුලෙ අරුමයෙන
අතරමං වුනිද ගොම්මන
බොරදියෙන් මතුව එන
රතු නෙළුම හිරු දකින
දිනුවාද තරු සිහින
රැජින අසිපත අමෝරන
සොම්නසින් හද ගැහෙන
මොහොත අහසින් සරන
මතකයන් සොඳුරු වුන
වියැකී යාද අසුරු සැන
2022 ජනවාරි
කවිය බලන්න
වැලන්ටයින් ප්‍රේමය
ජයලාල් -
මම ඔබ ලඟින් හිඳ
සියළු පාඩම් කියාදෙමි
සැන්දෑ කල අතැඟිලි පටලව
හාබර් පාලමෙන් ඇවිද ගොස්
ඔපෙරා නිවස ඉදිරිපිට
පඩි පෙළෙහි වාඩිවී
ඔබ සිහින් මුවග සිඹ
ඔබ හුස්මෙහි සුවඳ විඳ
ඔබ සියුමැලි දිගු ඇඟිලි පිරිමැද
උරෙන් උර ගැටී
නිල් අහස දෙස බලා හිඳිමු
නිකොලා-
කාලගුණය ලෙඩ වී අද
යන්ට ඕනෑ පබ් එකකට
ජයලාල් -
හැම සැන්දෑවකම ඔබ බලනට විත්
ඔබ අත අල්ලා ඔබ මුවග සිඹ
සාමීචියෙන් හිඳ යන්ට ඇත්නම්
නිකොලා -
අයි අප තට්ටු නිවසක කාමරයක් නොගන්නේ
වැඩට යන්ටත් ඉගෙන ගන්ටත් එවිට පහසුයි
ජයලාල් -
මම ඔබට ප්‍රේම කරමි
ප්‍රේමවන්තයන් පමණි අප
යුග දිවියට නොඑළඹ එකට වසන්ට ...........?
මට සිතන්ටවත් නොහැක
නිකොලා -
ඔබ හරිම විශ්මිතයි
මට ඔබව නොතේරේ
ජයලාල්-
කාසි රැස්වුණු සඳ
ඔබ රැගෙන යා හැකිය මව් බිමට
අම්මාට පෙන්වන්ට ඇගේ සුදු ලේලිව
නිකොලා-
මට බැහැ එහෙ යන්ට
දැඩි අව්ව මැසි මදුරුවෝ
ජයලාල් -
ලා නිල් පැහැ දුහුල් සාරියක් ගෙන්වා
ඔබ කදිම සුදු ඇඟට අන්දා
පින්තූරයක් ගෙන අම්මාට යවමි
ඔබේ රන්වන් සිරුරට
සාරිය හොඳ හැඩට තියේවි
නිකොලා -
සාරිය මට නුරුස්සයි
දහදියෙන් ඇඟ තෙමෙයි
ජයලාල් -
ඔබ හා එක්ව මතු දිනක
දරුමල්ලන් හදා තුටින් සිටිනායුරු
රන්වන් සිරුරු කළු කොන්ඩ දරුවන්
මා මනසේ පැටලේ
නිකොලා-
දරුවන්ට මා ආසා නෑ
විවාහ වන්නේ කුමටද
එක්ව වෙසෙමු තට්ටු නිවසක
දිවි ගෙවමු මේ ලෙසින්
ජයලාල් -
මගේ සිත ඉඩ නොදෙයි
මගේ හද දොස් නගයි
නිකොලා -
ඔබ හරිම විශ්මිතයි
මට ඔබව නොතේරේ
කවිය බලන්න
මමත් උත්සහ කළා
රත්තරං සුදු අම්මෙ
ඇයි මාව බලන්න ට
ගිය සතියෙ නොම ආවෙ
හැමවෙලාවෙම මෙහේ
එන එකට ලොකු සාදු
එපාවත් කිවුවාද
ගිහි ගෙදර ඇති බැම්ම
නතර කර හිත හදා
ගන්න යැයි ලොකුසාදු
නිතරෝම කියනවා
මමත් උත්සහ කළා
අනේ මට බෑ අම්මෙ
අම්මගෙන් ලිහෙන්නට
හිතුවමත් දුක වැඩියි
මගේ ඇස් දෙක පොඩි යි
කඳුලු ගෙඩි හරි ලොකු යි
මගෙ පුංචි සිවුරු කොන
තෙමයි සාදු ට හොරෙන්
බුදුසාදු වඳිනකොට
මල් අසුනෙ මගෙ අම්මා
මිදුල අමදින විටත්
මහ පොලොවෙ රටා මැද
උපාසක කතුන් මැද
පැන් ගන්න ළිඳ ඇතුළෙ
බෝගහේ කොළ අතරෙ
පන්සලේ කොත මුදුනෙ
පහන් වැට ගිනි සිලේ
බන මඩුවේ හැම තැනම
කියන්න ට නම් එපා
ලොකු සාදුහට අම්මෙ
මා එක්ක තුරුල් වී
අම්මා නිදියන වගක්
මෙහේ මට ගෙදර නැති
හුගාක් දේ තියෙනවා
වළදන්න බැරි තරම්
දානෙ පිරි නමනවා
පාඩම් ම කරන්නට
පුස්තකාලය ක පොත්
සිවුරු නම් හත අටක්
දිග ඇරියෙවත් නැති
ඒත් මගෙ රත්තරං
සුදු අම්මෙ කියන්න කො
මේ කිසිම දෙයක ඇයි
නැත්තෙ සතුටක් කියා
ආදරෙත් සෙනහසත්
මහ හුඟක් දවටලා
ලුණු එක්ක අනපු එක
බඩ පිරෙන බත් කටක්
අම්මගේ රත්තරං
අතින් කවනා තරම් ..
කවිය බලන්න
කඳුළු මල් ...
බිඟු රැළ මන්මත් වී
මල් දැක මුසපත් වී
රඟන රැඟුම් ගයන ගැයුම්
සිත් මල් විකසිත වී.
දිනිඳු පෙමින් පැටලී
මල් කැකුළු ද සුපිපී
රොන් සුනු නැත තනිවී
බිඟු කැළ වෙත පුදදී.
මදනල සමඟ වෙළී
විහිදයි සුවඳ දිදී
ලොව අමතකය නිතී
බිඟු මල් සමඟ වෙතී.
කාලය දිගට යතී
රොන් සුණු ඉවර වෙතී
මල් පර වෙලා යතී
තනි වෙයි මිලින පෙතී.
රැය එයි සඳක් ලැබී
මල් නිසසලය මැකී
පිණි කඳුලැළිද වැටී
තුරු හිස් හඬයි නිතී
කවිය බලන්න
මතක වත
හවසක සිතිජ රේඛාවක සොඳුරු වත
මදටිය පැහැය මුසු වූ මළ හිරුගෙ රත
මුහුදක සුළං රැළි හා මීවිතක මත
තවරා ඇන්ද ඔබෙ සිතුවම තවම ඇත
සයුරට මදක් ඔබ්බෙන් වන අවන්හල
අබියස රැඳී දොඩමළු වූ ගිමන් කල
අදටත් තිබෙනු දුටුවා ඔබෙ අකුරු වල
තනිවම විඳිනවද ඔබ මීවිතක ඵල
ඔබෙ සිතුවමක කවියක මීවිතක හිඳ
හැම තත්පරයකම හදවත් නහර බිඳ
සිටිමුත් සිනාසී පෙර මතකයන් සිඳ
ඔබ දන්නැතුව ඇති මගෙ හිත හඬන නද
කවිය බලන්න
නවමු ලෙසකින් අමාවක සඳ
තරු සැඟවුන අහසෙ
හුදෙකලාව හිනැහෙන
නුඹත් හරි ලස්සනයි
අමාවක දාට රෑ
පුරා හඳට ලියැවෙන ගී
ඔබ වෙනුවෙන් නොලිව්වාට
නිදි නොමැති දෑසට
රසඳුනකි ඔබ දසුන
මෙතෙක් ඔබ කියව ගත්තේ
පාලු හදවත් කුලකයේ
තවත් එක් අංශුවක් ලෙස
ඒත්....
හීනියට විවර වන කවුළුවේ
හීනි හිඩැසින්
ඔබ තුළින් මා දුටුවේ
හීනියට මෝදු වන
සංසාර පුරුද්දක
හීනි සෙවනැල්ලක
සොඳුරු සේයාවක්මය..
රෑ පුරා රැව් දෙන
රැහැයියන්ගේ ගැයුම
අඳ්‍රරට පෙම් බඳින
වවුලන් ගෙ රස කතා
නොඉඳුල් සුවඳ හමන
සේපාලිකා මල් පලස
කොඳමල් පිරිවරා
සිනාසෙන තඹුරු පෙති
පුන් සඳට වාගේම
නුඹටද ලෙන්ගතුයි...
මතක සටහන් පොතේ
දිනෙන් දින මෝදුවන
දිගම දිග කතාවක්
ලියා නිමවෙන දිනයෙ
දැනෙනා සැහැල්ලුව
ඔබටත් දැනේවි...
සොළොස් කලාවන්
ටිකෙන් ටික සපුරා
පුන් සඳක් ලෙසින් ඔබ
දොරට වඩිනා දිනයෙ....
කවිය බලන්න
සොහොනේ නිදන බිරිඳගෙන්
නෑ මිතුරන් සමග ඔබ මා වෙත ආවා
කැන්දන් ගිහින් සුවසේ අපි කල් ගෙව්වා
නොසිතූ නොපැතු විටකදි මා මෙහි ආවා
නිසල අරණෙ මා තනිකර ඔබත් ගියා
බකමූණා මුමුණන විට කොස් අත්තේ
දොර වහනවා මතකද කුස්සිය පැත්තේ
උල ලේනිය හඩයි අද මගෙ හිස මත්තේ
බල්ලෙක් උඩු බුරනවා දොළ ඉස්මත්තේ
මේ මොන සද්ද තිබුණත් නෑ බය දැනුනේ
හොල්මන් අවතාර මට තනියට ඉන්නේ
ඔබෙ උණුසුම නිසා නැත සීතල දැනුනේ
ඔබ අසලින් සිටින බවමයි මට දැනුනේ
මැදියම් රැයේ ඇසුනා කණිසමක හඩ
ඒ සමගින්ම ඇසුනේ ජඩයින්ගෙ හඩ
මා සතපවා මිහිදන් කල යහනෙ හැඩ
ගැන කී කතා පමණයි මට ඇසුනෙ ජඩ
ලන්සු තියයි මා යහනේ වරුනෙ කියයි
මිනී කාක්කන් ඇවිදින් ඇතැයි සිතෙයි
සුසානයේ නරි රැළටත් වඩා කැතයි
යහන ගනිව් මගෙ සළුපිළි ඇගේ තියෙයි
2022 .01.03
කවිය බලන්න
එළි, කවි හා හිත්
පියාපත් ලද ලිහිණියක සේ
දුරින් දුර ඈත ඉම ඉගිල්ලෙන සිත
මගෙන් අවසර නොලබාම
ඉසිඹු ලන එකම තැන එතැනය.
හැම විටම කොහේ ඉන්නෙදැයි සොයන
මග බලන තරු නෙතක් ඇති බව දැනම
උඩ පහල දිවෙනැඟිලි තුඩගක රැඳි
මේඝ දූතයක් වේ දැල්වෙමින්
නිතින් යටි සිත සොයන..
ඉමක් නැති දිවි කතර මැද වුවද
හඬ නගා සිනාසිය හැකි බැවින්
හද ලෙනේ කුරුටු ගා යළි මකන
එකම කවියක් තිබේ තවම ලියමින්
නැවත මකමින් ලියන..
කොතැන සිටියත් ක්ෂණික විඳුමක් නැගෙන
හදක රිද්මය හොඳින් දැනෙනා පන්හිඳට
ඇහිල්ලක් වත් නොදී පණ පොවන
හිතක අරුමය දැනෙනවද ඔබට!
කවිය බලන්න
දන්සැල්
පන්සලේ දායක සබාවෙන්
ඇවිල්ලා ලියමනක්
දැණුම් දීලා සැමට
පොසොන් පෝයට කුඩුවක්
පොසොන් කූඩුව පෝදා අසිරිය
සිතේ රැදුනේ ඉතිරි වදනන්
දන්සැලුත් මේ දෙන්න යන්නේ
එතෙර සිටිනා මේ දනන් වෙත
බැති බරින් සිත් පිරි දනන්
දන්සැල් දමා රස අහර බෙදුවේ
වන්දනාවේ යෙදුන අයවෙත
සැබෑ කුසගිනි නිවාලන්නට
සමිදුණේ මට සමාවෙනු මැන
මසිත ඇත්තේ පුංචි පැනයක්
සැම දිනේ රසමළු බොජුන් ඇති
මේ දනන් වෙත කුමට දන්සැල්?
කවිය බලන්න
මෙලොවයි - එලොවයි
මෙලොව අපේ ජීවිතයට - සැප සම්පත් පුරවන්නට
සුදු ඇඳගත් කළු මිනිසුන් - කැසකවනව හැමදාමත්
කොපමන නම් කතිර ගහල - ඇතිද කියල මතකත් නැහැ
ඒත් ඉතින් සැපවත් වුනේ - ඔවුන්ගේ සනුහරේ තමයි
අපි තාමත් හැමදාමත් - එකම සිහිනේ නරඹනවා
එලොවට ගෙනියන්න දෙයක් - දිව්‍යය ලෝකේ යාගන්නත්
ආශාවන් අත් හැරලා - පිංකම් කරගන්න කියලා
නොපෙනෙන ලෝකය පෙන්වා
බන ඇහෙනව හැමදාමත්
හම්බ කරපු සොච්චමෙන් - පිංකම් කලෙ සර්ධාවෙන්
බන කිවූ ඒ පිනෙම්මදෝ
මෙලොවදීම ඔවුන් ලබන
රථවාහන තනතුරු හැම
දැක්ක විටදී
(සාදු සාදු සාදු) කියලා - නිකන්ම මට කියවෙනවා
25ජනවාරි 2022
කවිය බලන්න
වෙන නුවරක නුඹ ගියදා..
වෙන නුවරක නුඹ ගියදා හැඬුවා මුළු රැය පුරාම
පැතුවා මම නුඹ හිමිවන බව දැනගෙන නිදි වරාම
නොදැක ඉන්ට බැරුවාමය ඔබ ගත්තේ සිත සොරාම
ගිය විලසින් යළි එනුමැන මම ඉන්නම් නුඹ පතාම
නුඹ කැන්දන් ගිය දා සිට පාළුයි ගම වෙළ ලන්දෙම
ගීත ගයපු බටිති රෑන අතුරුදන්නෙ හැම හවසම
නෙළූ ගොයම පැහෙන්න පෙර ගම අතහැර ගිය විගසම
මහ කන්නෙම පාළුයි දැන් නුඹ නැතිවුණ දා පටන්ම
සේපාලික මල් පිපෙන්න සැරසෙන ඒ රාත්‍රියක
සැඟවී සිටි වළාකුලක් සඳ මෝරන සීත රැයක
සඳ එළියට කුමුදු පිපෙන ඉවුරු කොනක ගං තීරෙක
රෑ මැදියම තුරුලටවී රහස් කියමු හඳපානක
කවිය බලන්න
කෙටි කවි
තනිඅතට යන වීදීයේ
මට පිටු පෑ
ඈ
මා ඉදිරියටම
අම්මා ගැන මතකය
මීදුමක්
චිතකය දැවෙන දහවල
කටුක ශීතල උදෑසන
අපටනම් පොරවගන්න
හිමකබා
ඒත් මේ කුරුලු පැටවුන්ට
සෑහෙනවද පියාපත්
වැහි ලකුණක්වත් නැති මොහොතක
මන්දාරම් අඳුරේ
වැහි ලිහිණියෙක්
පර මල් පාග පාගා
හැමෝම එහේ මෙහේ යන අතර
උයනේ කෙළවර බංකුවක
වාඩිවී සිටී
මහළු මිනිසෙක්
කවිය බලන්න
සුදු පාට බර්ච් ගස
කවුළු ඇසට පහළින්
සුදු පැහැති බර්ච් ගස
ඉසිඹුලයි හිම පෙරවගෙන
රිදී පැහැ බබුළුවාගෙන
ගැබ්බර අතු රිකිලි
වසයි සුදු හිම පියල්ලකින්
පිපී හිනැහෙන තුඩු දිගැටි
දිලෙයි සුදු පැහැ නංවමින්
සිටියි බර්ච් ගස දේහධාරී
මහා නිදිබර නිහැඩියාවක
දිලෙයි හැම තැන හිම කැටිති
රිදී පැහැ මෘදු ගින්නක් ලෙසින
අලස අරුණළු නැගෙන සද
දැවටි දැවටී එතෙයි සියොළඟ
හිදියි අතුපෙළ බුම්මාගෙන
රිදී පැහැ වර්ණයක් තවරගෙන
රුසියානු ජාතික කවියෙකු වූ සර්ගෙයි යෙස්නින්
කවියාගේ “Белая береза” නම් කවියේ පරිවර්තනයකි.
රුසියානු බසින් පරිවර්තනය
කවිය බලන්න
නිදි වැදුණු කන්ද
මා බාලේ
අපි උන්න ගෙදර ඉස්සර
කන්දක් වීය හැලහොල්මනක් නැති
බුම්මගෙන බලාගෙන
මට හිතුණේම ඒ කන්ද
අහසටම උස බවය
ඉතින් උදයෙන් නැගිට
ජනෙල් පිළ උඩට වී
අමුණාගෙන ඇස් දෙකම
ඉන්නවා මං භාවනාවක
හිතමින් නඟින හැටි
කන්දෙන් අහසට
බහින හැටි
අහසෙන් කන්දට
බොංචි වැල දිග නැගී
අහසටම ජැක් ගිය හැටී
ඔහු මගේ ලොව සිටී
පුංචි වීරයා වුණී
අහසටම යන සොයා
බොංචි වැල් නැති නිසා
කන්ද මට ඇති කියා
කිව්වා මං හඬ නගා
යෝධයා එන්න පෙර
ඔහුගේ ගේ තුළට වැද
යෝදිගෙන් කිකිළි ගෙන
බහින හැටි හිතුවා මම
වලාවක එල්ලිලා
කඳු මුදුනෙ පා තබා
කිකිළි ගෙනෙනා සුබා
හිතුවෙ ඇස් පිය පියා
පහුවදා උදෑසන
බලන කොට කන්ද දෙස
කන්ද නොතිබුණි එතැන
ඇඬුණා මට හයියෙන්ම
"අප්...පච්..චී යෝ වරෝ
ගේ ඉස්සරහ කන්ද නැතෝ.."
මගේ හඬ ඇහිලා
අප්පච්චි ආවා
කඳුළු බිඳු පිසලා
හිසත් අතගෑවා
"රෑ පානේ හැම තිස්සෙ
කන්ද නෑ නිදියන්නේ
කන්දක් උනත් මැණික
නින්දකුත් ඉල්ලන්නෙ
මීදුමත් පොරවගෙන
කන්ද දැන් තද නින්දේ
නළියගෙන ඉර එන්නේ
කන්ද දැන් ඇහැරෙන්නෙ "
කවිය බලන්න
බෝතල් පත්තරකරුට ලැබුනු "බුදුසරණ" පත්තරය .......
නැවුනු තැන් දිග ඇරල
ලස්සනට මිටි බැඳල
කිලෝ ගානෙන් කිරල
අත්පිටම විකිනිලා..
කඩල ගොට්ටක් වෙලා
වීදියේ හැඩවෙලා
පදමටම රත්වෙලා
රසවතුන් මුසකලා..
රහමෙරින් මත්වෙලා
පචහලන සෝමෙලා
බයිට් එක නිමවෙලා
අත පිහල විසිකලා...
05/1/22
කවිය බලන්න
අංගොඩ අඳුරු අහස යට...
ඈ ඇවිත් හිනැහෙමින් යකඩ ඇඳ ගාව...
මැදියමේ හීන මැද සනසවයි මාව...
හිත් ලෙනේ දෙගුම් දෙයි පෙර මතක රාව...
අදත් හිත යයි පුරුදු පෙම් චාරිකාව...
මට තියා ලිපියකුත් තනි රූල් පොතක...
කිඳා බැස තිබිණි ඇගෙ පපුවෙ මස සැතක...
බැන්දාට ඇඳ වටා හතර කොන් ගතක...
ලණුවකට පුලුවන් ද? බඳින්නට මතක...
මගෙ අතේ ඇගෙ හුස්ම නතර වුණු විස්තර...
මතක් කර කර හලපු උණු කඳුලු කප්පර...
ඇගේ ලේ පිහපු හැටි පොඟා ඇදි වස්තර...
මැවි මැවී තාම මට පේනවා දොස්තර...
බොන බෙහෙත් පෙති වලට බඩ පපුව දනවා...
හැමදාම රෑ වෙද්දි ඇය මෙහෙට එනවා...
නලල සිප මෙලෙක් අත් වලින් මට දෙනවා...
ඒ නිසා පෙති අහුරු ඔක්කෝම බොනවා...
හඳ එළිය වැටෙනකොට කොටු කරපු ඇඳ දිගේ...
මට මතක් වෙන්නේ ම පුංචි සඳගන මගේ...
සොහොනටත් ලස්සනක් කිරි ගරුඬ කොත ඇගේ...
මේ අඳුරු අහස මත පායාපු හඳ වගේ...
කවිය බලන්න
ආපහු පන්තියට.....
සීනුවට අවනතව
හරිබරි ගැහී පුටුවක
බොහෝ මිතුරන් මැද
පන්තියක සුදු ඇඳුම් ඇඳගෙන
සිංහල පොතක කවි පෙළ
සංගීතයේ තාලය
තවෙකෙක් ඇන්ද චිත්‍රය
විඳ ගනිමි මම නිහඬව
පිට්ටනියෙ ගිනි අව්ව
කොට්ටම්බා ගහක සිසිලස
තිබහට බිව්ව වතුරද
ලොව නැත රසක් සමවන
කිසි දුකක් නොදැනුණ
හිස මත බරක් නොතැබුව
අතමිට කාසි නැතුවද
දවස ගතවුණි සැබෑ සතුටින
සිහිනයක් බව දැන දැන
මම වසමි තවම එය තුළ
ආපහු ඇවිත් කුමටද
පියවි ලොව ඒ සතුට නැති සඳ
කවිය බලන්න
ඔබට උපමා නොවේ කිසිවක්
ඔබයි ආදර තාත්තා ...
දෙවැනි බුදුන් ලෙස අම්මා නම් දැරුවත්
ඒ හා සමානයි පිය සෙනෙහස කවදත්
නිවසෙහි මිණි පහන අම්මා යැයි කීවත්
දැල්වෙන තිරය පියතුම ඔබ විය කවදත්
රඳවා මාව නෙතු මානයෙ ඈත ඉඳන්
සවියක් වුණේ ඔබ පමණයි පරම සිතින්
දුක් කරදර ඔබ ගුලිකර ඔබේ අතින්
සතුටම දුන්නෙ කඳුලැලි දුර යවා නෙතින්
නොසිතුව විලස ඔබ දුබලව හරි විගහින්
විඳි වේදනා මැවෙනවා සැමදා සිහිනෙන්
තුරුළු කරන් ඔබ හිනැහී ගැහෙන වතින්
මා සැනසුවේ දෙකපුල් වෙත හාදු දෙමින්
සම්බුදු පියා දෙසු දහමෙහි අරුත කියා
මා හඬවලා ඔබ හෙමිහිට සැඟව ගියා
පියතුම ඔබගෙ මතකය හදවතෙහි ලියා
පතනෙමි පැතුම් නිවනෙහි සැනසෙන්න කියා
කවිය බලන්න
නිදහස ට කවි
නිදහස ට කවි
නිහඬ වී ඉනු කිමද
දනෝ හැඟුමින් තොරව
හදන්නට උපන් රට
සවිය නැතිදෝ හිතට
නිමා නැති හිඟමනින්
දහ අතට ණය වෙවී
හදාගන්නේ කෙලෙස
සව් සිරින් පිරි රටක්
නිසරු වේවී පොළොව
දහදියෙන් තෙත් නොවන
හරිත ගස් වැල් පවා
සහමුලින් වැටෙන විට
නිදහසේ පල නොලද
දශක සතකුත් ඉක්ම
හසරැලි නගා කෙලෙස
සමරමුද නිදහසක්
නිසරු පිළිවෙත් නසා
දහිරියෙන් සිත් බැඳී
හදාගමු රකිමු රට
සමගියෙන් පෙළ ගැසී
12/01/2022
කවිය බලන්න
මේ ජීවිතයේ සරත් සෘතුවයි
පඬු තුරුලිය දෙපා සිඹින
රන් සිත්තම් නෙත සනසන
ජීවිතයේ උනුසුම ගිලිහෙන
මේ ජීවිතයේ සරත් සෘතුවයි
ගිම්හානය සිත්තම් කල
පිරුනු අතීතයක මතක
බොඳවී යන සිතක රූප
කදුලු බිදක් නෙතු අග රදවයි
කෙලි කවට සිනා සිත රැව්දෙන
මතක හුයක මුතුසේ අමුනා
හද පතුලේ සඟවාලා
ජීවිතයට පන නල දුන්නයි
මතක ආවර්ජනා සයුරේ
කිමිදී නිවෙනා සෙවනැලි
සොබා මව් මැවූ පලසේ
සිහින වලින් මා හද පිරුනයි
වචන හඩයි අද තනිවී
සිතක දෝංකාර ඇසී
තනිකම අලවියට තබමි
මේ ජීවිතයේ සරත් සෘතුවයි
කවිය බලන්න
කවිකාර පෙරළී - ගජමන් - ඇලපාත මුදලී
කවිකාර පෙරළී
කළ පෙර රුහුණු පුර දී
ඇලපාත මුදලී
ගජමන්ට හමුවෙලා ළඟදී
----------------------------------
ඇලපාත මුදලී
හඳ ඉර වගේ සොඳුරුයි එළියයි උවන
මැද නිල් මැණික් වන් පුන් පියයුරු දෙදෙන
තද අඳුරකට ඇවුලූ පහනක් ලෙසින
වදයක් නොවෙද තනි යහනක නිදි නොඑන
ගජමන් නෝනා
මගෙ ප්‍රිය හිමි ගෙ ආයුෂ හිඟ වූ බැවින
නැතිවිය මතක දෙව්ලොව විඳි සැප පොරණ
පුරුදුය හොඳින් සැතපෙන්නට තනි යහන
කියනුය කිම ද තමුසේ විමසන කරුණ
*******
ඇලපාත මුදලි
දෙක තුන පාස් කෙල්ලක ලියනා පරිදී
පබැඳුණ කවි පෙළක් ඇහැ ගැහුණා ළඟදී
කවි පණ පිහිටුවන්නට අත දෙමි දිවි දී
මම යන තැනක එනවද දවසක කිවිඳී
ගජමන් නෝනා
පොත්ත සුදු ලියන් කවි පට බඳින සඳ
වත්ත වැට පනී කුකවින් මූණු බැඳ
අත්ත උඩ වසති අත දෙන කතා මැද
පැත්ත දමා කර ඇඹවිය යුතුය කඳ
*********
ඇලපාත මුදලි
රූ පෙට්ටියේ කවි තෝරන්නට යන්න
මේ පත්තරේ කවි පිටුවල රජ වෙන්න
නෑ විස්තරේ කවිපති නැත්නම් ඔන්න
රූ බර ළඳේ අද එන්නද රොන් ගන්න
ගජමන් නෝනා
ආ මග දිගය රුචියත් එළෙසම ඉන්න
නෑ කිසි පිරිය කෙටි මග ගොස් වැනසෙන්න
මා කවිපති ය ලේබල ගෙන උල් වෙන්න
රෝගෙට හොඳය එය අස්සක ගහගන්න
කවිය බලන්න
නිවී ගිය නීලා
නවසිය පනහයෙදී ඉපදුණු සුවිනීත
දියණිය සුපින්වත් පවුලක අතිජාත
කුරවිය ලෙසින් ගැයු නොමියන මධුගීත
නිමවිය දුර ගොසින් සිටි මෙහි ළගපාත
පාලා සහජ ප්‍රතිබා ඔබැ නවආරේ
ජාලා නොමැති කල මහගෙදරෙහි පාරේ
වීලා නිසි ලෙසින් පිය මැන සිය ආරේ
නීලා සඳක් මයැ පෑයූ අඹරෝරේ
අවුරුදු පහේදී ගයමින් මුල් ගීය
නිවැරදි ලෙසින් විඳ ස්වරයේ රන් හීය
දින දින බබළමින් ගී සරසවි පාය
බැදිවල නොගොස් නිවැරැදි මඟ පැමිණීය
සැරසී විසාකාවෝ සූ සැට බරණින්
පැමිණී ලෙසින් එන්නට බැරිබව දැනුණින්
දරුවෝ ගැන සිතා වැස්සේ දුව පනිම්න්
ආවෝ එදා ඔබ මහ මඟ ලත නොවමින්
ඔබ උරුමයෙන් ලත් හඬ හෙළ ජන ගීයේ
නව රිද්මයට අමිලවු මිහිරකි පෑවේ
ගුවනේ සුසර වුණු සරයේ මධු රාවේ
තව සුවහසක් කල් පවනැලි හා පාවේ
සර නැණ වඩා භාරත තක්සලා වෙන්
දුර ගමනක් ගියෙන් නිවැරැදි විලාසෙන්
පර පුරකටම සිප් කිරි පෙවු දයාවෙන්
සුර අංගනාවිය වෙන්විය කලාවෙන්
දුරු කරවනු රිසින් මෙහි පෝලියෝ දුක
ඔබ කළ මෙහෙය ඇත ඉතිහාසයෙහි ලක
නිහඬව ජන සෙතට කළ දෑ නෙතින් දැක
සැමදා ජන සිතේ පවතී නොමැත සැක
ගීහඬ ඇසෙනවිට ඔබෙ රන් ටිකිරි සිනා
නෑ සංවේදී නොවෙනා හදවතක් මනා
ඔබ මෙහි ශේෂ කර ගිය ගී මිහිර ගෙනා
තව කල්පයක් කල් පවතී සමග දනා
18.1.2022
කවිය බලන්න
අන්තිම ගමන
ලමා වියේ
පින්තූර, මුද්දර
ටොෆී කොළ
කුරුලු පිහාටු
එකතු කළ අපි
තරුණ වියේ
විලාසිතා
මැහුම්, ගෙතුම්
කෑම වට්ටෝරු
අඩු නැතුව
එකතු කල අපි
විවාපත් වු පසු
දු දරුවන්ගේ
පුංචි ඇදුම් ,පැලදුම්
ඔවුන් පලමුවෙන්
පාට කල සිතුවම්
ඔවුන් කුරුටු ගෑ දේ
ඔවුන් ගේ පත පොත
ආදී නොයෙක් දේ
එකතු කල අපි
මැදිවියට ආ පසු
බන භාවනා
පත පොත
අධ්‍යාත්මික ලිපි
ආදිය එකතු කල අපි
එහෙත් ඒ එකම
දෙයකින්වත්
හරිහැටි ප්‍රයෝජනයක්
නොගත් අපි
කවිය බලන්න
ලන්ඩන් සිරි
කිරි උතුරන රටකි මෙය පවසන විලස
කිරි බෙදනා වෑන් එක විත් හැම දවස
කිරි බෝතල් තබා යයි ඉදිරියෙ නිවස
මෙය සුබ ලකුනක්ය නිති පිනවන දෙඇස
සුරලොව සුරන් සහ එක් වී කෙලින ලෙසේ
සුවිසල් උස් මැදූරු අඹරෙහි නෙතැන දිසේ
පරසිදු එoගලන්තයෙ සිරි දැක මෙලෙසේ
අතහැරදා වෙනතක සිත යනුද කෙසේ
යුරෝපයේ තිබෙනා එක වහලයට
ලොකු කඩයක් දුටිමි විස්කම් මැව් ලෙසට
සැතපුම් ගණන් ඇත එහි තුළ ඇවිදින්ට
මුව දහසක් ලදත් බැහැ සිරි වනන්නට
දුවනා පදිපෙලින් උඩ යට ඇවිද ගොසින්
සිරි නරඹන අතර මා සිත මටත් හොරෙන්
දෙව්ලොව ගියා මේ ලොව හැරදා විගසින්
මම දෙව් සැපත් වින්දෙමි මනු ලොවේ ඉදන්
හරිම ලස්සනයි මේ රට බලන්නට
මුවකින් බැරිය ඇති විසිතුරු කියන්නට
සුරලොව සුරන් තුටු වී සිරි නරඹන්ට
මිහිබට ලෙසින් දිව රෑ එලියයි හොදට
සීලවිනීතා ප්‍රේමාවතී අලහකෝන් වූ මගේ අත්තම්මා
1977 වසරේදී එoගලන්තයේ කළ සංචාරය හා එරට
අසිරිය කවි වලින් අපට ලියා එව්වාය. මේ එම කවි
පංතියෙන් කවි කිහිපයකි.
-දිලුපා කුමාරි අලහකෝන්
කවිය බලන්න
අහංකාර කිරිල්ලියේ
අහංකාර කිරිල්ලියේ කූඩුවටම වී ඉඳපන්
ගෙදර දොරේ වැඩ කරලා සැනසීමෙන් කල් ගෙවපන්
පැමිනෙන දුක රසයි කියා සිනාසෙමින් නුඹ නටපන්
ඉවසීමෙන් සැණසුම ලැබ ගත්තු අයව සිහි කරපන්
බැටලු හමක් පොරවාගත් වල් හිවලුන් රොත්ත පිටින්
නුඹ තනියම යයි සිතලා මාන බලයි වටින් ගොඩින්
උඩ පැනලා බිම වැටිලා නගුට පස්ස පැත්ත යටින්
ගහගෙන නරි කියලා යයි මිදි ඇඹුලයි කියල රොසින්
කිරිල්ලියේ ඔය සුකොමල සිනහා වරුස පොඩිය මුවින්
වියැකෙන්නට දෙන්න එපා මේක ලෝක දහම ඉතින්
නුඹෙ ආදර කුරුලු රජා හමු වනතුරු තේජ ලෙසින්
දොර නම් නුඹ අරින්නෙපා හිතට ගනින් මේක හොඳින්
දින වසරත් ගත වීලා කාලය ගොස් නිමේශයෙන්
නුඹට හොරා කඳුළු ගඟක් වියලී යන්නේ වේගෙන්
සිටියෝතින් සිල් දම් රැක දිවිය තුරා එක සිතකින්
දෙව් සේනා ඒවි නුඹව ගෙන යන්නට දෝලාවෙන්
කවිය බලන්න
වැලන්ටයින් සිහිනයක්....
රතු රෝස මල් පොකුරක් සමග චොකලට් අහුරක්
සුබ පැතුම් කවි කොලයක් ලදිමි විලසින් මහා වරමක්.
වැලන්ටයින් ලෙස දිනයක් දිනදසුනෙ රතුපාට කවයක්
හිත අස්සේ ඇත කිතියක් මේ ලෙසින් ඔහු නොවේකවදත්
කිමද බොරු වියදම් බොළද වී මගෙ හිමි තුලද වෙනසක්
විලස සිතමින් වරක් හිනැහුනා මගේ හිත මටකියාරහසක්
"ක්‍රීන්" හඩ සමගින් එලාමය හඩනැගුවෙන්
අවදි වී සැණෙකින් සිහිනයක් බව දුටිමි සැණෙකින්
අවදි කල මා මනස වැදී හිරු රැස් කිරණක්
නැතත් රතු මල් පොකුරක් දුටිමි සෙනෙහස් ගගුලක්
ලසු කොට කුමට එක් දිනයක් සදාකල් හිස රැදුණකිරුළක්
කැදැල්ලේ පිරි ඇති කවදත් ආදරය සදාතන දහමක්
කවිය බලන්න
ආදරේට වාගේ කවියක් ලියවුනා:
ඔබ ඔතනටවී සිටියා
මම මෙතනටවී සිටියා
නිකමට වගේ පාලුව දැනුනා
ගැබ්බර අහස යට
කෙතරම් අභිමත ඇත්ද
මහපොලොවේ පිට මත
කෙතරම් සිනා පිනි ඇත්ද
මෝසම් වැසි වැටිලා
අහස කලුවර වෙලා
පින්නකෙලවරේ මඩටිකක් තැවරිලා
නිල්වන් අහස යට
දඟදරන කල් නැත්ද
හිරැ උදාවී හෙටදිනෙක
වැහිබිඳු පිනිබිඳු නොවන්නෙද
කවිය බලන්න
වැලන්ටයින්
සංසාරේ බැඳි පෙම්දම් පුරාගෙන
වෙනතක් බලන්නැයි කීවත් හඬාගෙන
පොල්කිච්ච් අකලට නෙත් පියාගෙන
පොල්කිච්චා ඌ නෑ සිල් පවාරන
මියගිය ඇත්ති ගැන කොච්චරවත් සිතන
එච්චර නොවේ ඈ ගැන ගී වැල් ගොතන
නැට්ටිච්චියෝ ඉඟි මැරුවත් නොම තකන
වැලන්ටයින් පොල්කිච්චා සිල් රකින
බසයේ දුම්රියේ මගතොට මුන ගැසෙති
කෙටි පණිවිඩ මුලින්, ඉන්පසු මල් කඩති
ඉස්පාසුවක් නෑ අහු මුළුවල ලගිති
වැලන්ටයින් කොටහක් එහෙමත් සිටිති
කවිය බලන්න
දෙවිසි වසරක හීනයක්...
දෙවිසි වසරක හීනයක්...
සතුටින්ම සමරමු හදවතින් ...
දෙහද ගුලි වුනු දෙවිසි වසරක්
සෙනෙහසින් අප ලොවම නැහැවූ
හැඟුම් ආදර පුලිඟුවක්
හැම දේක කෙලවර දෙදෙන එකහිත
නොමැත එහි මහ අරුමයක්
දේව ආසිරි විසිරු කාලය අසිරිමත්
මීපැණි හීනයක්
රාජකාරිය උපරි තරමින් උසස් ලෙසටම
ඉටු කලා
සෑම තත්පර කටුව කොතනද උපකාර කර
සිත් සරු කලා
අප වෙතට එන ගිලනුන්ගෙ කය සහ මනස
එකළුව සුව කලා
අපරිමිත තුටු හදින් විඳ ගෙන දිවිය හැමවිට
රස කලා
පුංචියට හිත් කොනිති වූ නොවු කාලයේ
තැන් ඇතත්
අවබෝධයෙන්මයි දෙන්න
දෙමහල්ලන්ගෙ ජීවිතත්
දරුවන්ගෙ යහගුණ දකින විට තව
හීන දළුලන නිනව්වත්
ජීවිතේ නව අරුත් විඳිනට
දෙව් මවුන් ආසිරි දිරිය වෙත්❤️
Composed to celebrate our 22nd wedding anniversary falls on 04.02.22.
කවිය බලන්න
එවන් දේශය
එවන් දේශය
(වත්මන් සිරි ලක, සිරි දැක, ඛලීල් ජිබ්‍රාන් සිහිවී)
කුමට දේශය?
දෘෂ්ඨි දැඩි වුව, නොමැති භක්තිය.
කුමට දේශය?
නොරට සහලින් පිස බුදින බත,
පොරව ගෙන සළු අනුන් ගෙන් ලද.
කුමට දේශය?
පුදන මැරවර,
පසසමින් සොර දෙටුන් නිල ලද.
කුමට දේශය?
හඩ නගනු නැති,
අවමගුල් පෙරහර තුලින් මිස.
කුමට දේශය?
ඔද වඩනු බැරි,
පොරණ දන නටඹුන් තුලින් හැර.
කුමට දේශය?
නිදන මර නිදි,
තබන තුරු දංගෙඩිය මත හිස.
කුමට දේශය?
පඩි වරුන් පිරි,
වෙළද සල තුල නුවන මිල කළ.
කුමට දේශය?
මුණි වරුන් ලද,
ඇවැසි නැති තැන රකින මුණි වත.
කවිය බලන්න
උසාවිය නිහඬ විය
පුරා වසරක සිර දඬුවමකි
රුපියල්ම විසි දහසක දඩයකි
ඝාතකයන්ට දඬුවම් දුන් බවකි
එය පුවත්පත් සිරස් තලයකි
ශුදධ වු පනිවුඩයන්නොහඳුනන්නෙකි
කිළිටිවු තාප්පය මත දෙවියන් නුදුටුවෙකි
තාප්පය පිරිසිදු කළ වරදට-දේව දරුවන්
ගිනි තබා මැරුවේ- ඒ මිනිසෙකි
ශුද්ධවූ දේශයේ තහනම් කරන ලද්දකි
You-tube, face book යක්ෂ යාගේ නිමැවුමකි
දෙවියන් උදෙසා වු යාගයක් එමගින්
ලොවට හෙළිකළ-ඔහු දරුණු අපරාධ කරුවෙකි,
දෙවියනි!කිසිදා සමාව නොලැබෙනු ඇති ඔබට
මේ කුරිරු ලොව මැවු වරදට!
කවිය බලන්න
එනතුරුම ඉමි බලන්
ආදරේ රන් රුවන්
මවන්නට රතු එළියේ
තටු සලා යමු ඉතින්
පියඹන්න ආකහේ
බමන මත මී විතෙන්
විඳිමු ප්‍රේමයේ අසිරි
එනතුරුම ඉමි බලන්
මම ඔබගේ වැලන්ටයින්
කවිය බලන්න
සරත් සමයක කොළ හැළුණු ගහක් යට
හෙවනැල්ල දුව ඇවිත්
මා තුලම සැඟවෙනා
කාල හෝරාවක
දැණුන විට සිසිලක්
පුදුමයට පත් වීමී
කොයිබින්ද මේ සිසිල.
කාෂ්ටක හිරු එලන
උණුසුම්ම පාවඩ
සිප වැළද ඉසියුම්ව
සිසිල සැදුවෙම නිතර
කවුරුන්ද ඇත්ත්ටම
ගහ හලපු කොල ගොන්න.
දළුදාන කල් එළඹ
සරසනා විට සිරස
සිසිල දුන් කොළ දිරා
පොහොණි විය
ගස මුලම
උහුලාපු දුක දරන්.
කලෙක හිස සරසාපු
අවපැහැව බිම වැටුණු
රිදුම් පිරි මැදි ඔටුණු
සිරස මත යළි වැඩපු
සතුට සමරනු පිණිස
ගස සිනාසෙයි තුටින්.
කවිය බලන්න
සැලළිහිණි සංදේශයේ සිත්ගත් කවි
උදේ සැපත් සුරගුරු අළු කර අවට
සඳේ මුදුන් පත අස්විද නැකත සිට
නඳේ සිතින් තම කුල දෙවිය සිහි කොට
යෙදේ ගමන් යහළුව මෙපුරෙන් තොපට
මිත්‍රය, බ්‍රහස්පති තාරකාව හාත්පස එළිය කරමින්
උදාවන කල්හි, අස්විද නැකතේ සිට සඳ මුදුන් වන වේලාවේ දී
තමාගේ කුල දේවතාවිය සිහිපත් කරගෙන තොප මේ
නගරයෙන් පිටත් වීම මැනවි.
කවිය බලන්න
සෙනෙහසේ ගංඟාව
මගේ ලෝකයේ අඳුර දුරලපු
කෙනෙක් වේ නම් බොහෝ ඉවසපු
සතුට හද දී කඳුළු පිසලපු
නුඹ ම වේ හිරු මට ම පායපු
නුඹේ එළියනි ලොවම දුටුවේ
නුඹේ සෙනෙහස හදේ දැරුවේ
හුස්ම පවතින තුරා පපුවේ
මගේ හුස්මත් නුඹ සමඟ වේ
සතුටු සිනහව මුව පුරවගෙන
මගේ ආයුත් එකතු කරගෙන
දිවි සැරියෙ යන නුඹව දැකගෙන
මියෙත හැකි මට සතුට අරගෙන
කොතෙක් තිබුණත් පවුරු
සෙනෙහසේ ගඟ පැතිරු
ඉතින් සිඳ බිඳ පවුරු
ගලන බව නොදුටුවේ කවුරු
සේයාරූ - හිමිදිරියේ මාදුරු ඔය දිස්වෙන අයුරු විද්‍යා මහාචාර්යවරයෙකුගේ කලාව සපිරුනු කැමරා ඇසෙන්
කවිය බලන්න
සැලළිහිණි සංදේශයේ සිත්ගත් කවි
පෙර උවිඳා ගෙන ගිරිදා සිඳු සලත
නැඟි පැහැදා පෙණ සමුදා සැටි නුමුත
මෙන උළිඳා පැහැ විහිදා නෙ දිගු බිත
සැදි වටදා ගෙහි වඳු දාගැබ දිමුත
ඉතා ඈත කාලයේ විෂ්ණු දිව්‍ය රාජයා මන්දර නම් වූ
මහා පර්වතය ගෙන , කිරි මුහුද කළඹන කල්හී , පෑදී
උඩට නැංගා වූ පෙණ සමූහයෙහි ආකාරය අත් නොහැරියා වූ
සඳ මෙන්, නොයෙක් දිසා නමැති බිත්ති වල කාන්තිය විහිදී
අලංකාර වූ වටදාගෙයි බබළන දාගැබ වැඳ ගන්න.
කවිය බලන්න
යටගිය නත්තල
උලා නෙක විද පාට පැහැ කල
මුවන සිසි මෙන් දිලෙනවා
රතින් හැඩ කල සරාගී තොල්
මුක වාඩමෙන් වැහෙනවා
අදුන් තැවරූ රවුම් දෙනෙතේ
හැඩය දික් කර පෙනෙනවා
රාත්‍රී ඇදුමෙන්ම සැරසී
දෙවිදු පුදනට ඇදෙනවා
මීටරේ දුර මතක නැතුවද
වැලදගෙන සුබ පතනවා
හෙට උදේ ඇති සුහද සාදෙට
නුඹත් ඒ දැයි අහනවා
පැලදි විසිතුරු වස්ත්‍ර යේ තතු
කොදුර කොදුරා කියනවා
මෙදා නත්තල එදා වාගේ
දැනෙන්නැතිදෝයි අහනවා
ලතාවක් සේ වෙලී නෙක නෙක
සල්ලාපයන් දොඩනවා
ගෙවූ මිල ගැන තෑගි ගන්නට
උජාරුවකින් කියනවා
අපෝ අරයගෙ ඇදුම හරි නැහැ
සිනහ සරදම් නගනවා
නත්තලේ අසිරිය මේකමැයි
බොහොමයක් උන් හිටනවා.
කිසිම අරුතක් හිතේ නැතුවම
නත්තලට සුබ පතනවා
අමනාප වූ අසල් වැසිය
දැක දැකම මග හරිනවා
පුස්වු සිත්වල හිස්වු සිතුවිලි
හිස් ලුලූ අත දුවනවා
විරාමයෙ තිත ජීවිතය අග
රැදෙන තුරුවම රගනවා...
කවිය බලන්න
සුරංගනා කතාවක්
Robert Desnos
Conte de Fêe
1953
බොහෝ වාර ගණනක්
පිරිමියෙක් ගැහැණියකට ප්‍රේම කළා
බොහෝ වාර ගණනක්
ගැහැණියක් පිරමියකුට ප්‍රේම කළා
බොහෝ වාර ගණනක්
ගැහැණියක් හා පිරිමියෙක්
ඔවුන් ආදරය කළ ඇයට හෝ ඔහුට ආදරය නොකළා
එකම එක වවතාවක්
සමහර විට එක ම වතාවක්
ගැහැණියක් හා පිරිමියෙක්
එකිනෙකාට ආදරය කළා
පරිවර්තනය-
උදය ප්‍රශාන්ත මැද්දේගම
කවිය බලන්න
"ජෛව විවිධත්වය"
-
කොහොමද අද දවස??
-
-
අද ජෛව විවිධත්ව දිනය
මට තිබුණු පළමු දේශණය
මගහරින්නම බැරි වුණා එය
ඉක්මනට ඉවරකරල
දිව්ව ඉස්කොලෙ ගුරුදෙගුරු හමුවට
ලොක්ක නම් හොදයි
හොඳ ම විතරයි කිව්වේ ටීචල
පොඩ්ඩ ගෙ තමයි අවුල
හොඳක් කිව්වෙත් නැටුම් මිස් විතරයි
මටත් ලැජ්ජයි අනේ
කොල්ලොන්ට මොකටද නැටුම්
-
-
හ්ම්ම්.....
මොකක්ද අද ඔයාගේ දේශනයේ මාතෘකාව කිව්වේ?
-
-
ආ ඒක ජෛව විවිධත්වය ගැන
මාතෘකාව
"ජීවීන් ගේ අසිරිමත් විවිධත්වය රැකගනිමු "
කවිය බලන්න
බිකිනි කවි
සොබනිය,
ඔබ සුදුවතින් සිටීම
මට නොරුස්සයි
එවිට ඔබෙන් වහනය වන
ක්ෂාන්තියක මහත නිසා
ඉන් මාව අඩපනව යේ
පුදසුනක ඔබ වඩා හිඳුවා
බෙර දවුල් හඬවා පේවී
දන්වැට තැබීමට
එවිට මට සිත්වෙයි
එබැවින් පිය සොඳුර
බිකිනිය ම යහපති
කවිය බලන්න
අපේ කිරි අත්තා
උදැල්ල කර තියා අමුඩය ගසාගෙන
ඕවිටෙ බැන්ද ගොන්බානත් ළිහාගෙන
කංකුං මිටක් ඇල මත්තෙන් කඩාගෙන
ගෙදරට ආ අත්තත් හිත වෙළාගෙන
හේන කුඹුර අස්වද්දා ඔහු යසට
අස්වණු ගෙනත් පුරවයි වහළක් උසට
අඟහිඟ නොමැති ඒ පැළ තුළපොඩි අපට
අත්තා කිරිඅම්ම මටනම් ලොකු සතුට
ලද අස්වැසිල්ලෙන් නාගෙන වත්තෙ ඇලෙන්
අමුඩය ළිහා සරමක් ඇඳ අරන් වැලෙන්
අවුලාගෙන සුරුට්ටුව ළඟ පහනෙ සිළෙන්
වැල් ඇඳ උඩ දිගෑදෙයි හිත සතුටෙ ගිලෙන්
පොළ් අතු සෙවිළි කළ කටුමැටි ගෙපැළ තුළ
කිරි අම්මා සමඟ ඔහු හා වෙසෙන කළ
අත්තා පෙන්වුවා නිතරම අපට බල
මහ හස්ථියෙක් මෙනි කැළයක පැළඳු දළ
අත්තා කට්ටඬිය ගම තුළ නම ගත්තා
හොර බොරු වංචාව නම් ඔහු නොම දත්තා
ගමේ දේවාලෙ බාරව කළෙ යුත්තා
සුදුපිරුවට ඇඳන් දුන් සේවය සත්‍තා
පොඩි පැළ ඇතුළෙ වැල් ඇඳ ළඟ මැස්ස උඩ
ට්‍රන්කා පෙට්ටියක් විය එය හරිම හැඩ
අත්තගෙ බලි තොවිල් දන්නා සියළු වැඩ
හරිබරි ගැහී ඒ තුළ ඇත අරන් ඉඩ
කිරිඅම්මා ඇවිත් අත්තව පිළිගන්නා
උණු තේ කෝප්පය ඔහු අතටම දෙන්නා
වෙලේ හේනෙ අස්වණු ගැන විමසන්නා
පිළිතුරු දෙන්න තුටුවන ලෙස ඔහු දන්නා
එතැන් පටන් කොට්ටයෙ ඉහ තියාගෙන
කොටලා දුන්න විට හක්කේ ඔබාගෙන
පඩික්කමට උණනා කෙළ හළාගෙන
තේවා කවි පාඩම පොත බලාගෙන
කෙම්මර දාට දේවාලේ තේවෙ කොට
කට්ටකුමන්ජල් සුවඳින් වැදෙයි ගෙට
කිරිබත් කැවුම් රසවත් පල ගෙනෙන කොට
උඩ පැන පැන නටනවා ඔහු අගෙයි මට
මුට්ටි හතක් ලිප මත්තේ ඉතිරෙනවා
පොල්මල අරන් අත්‍තා හිස සොළවනවා
තම්මැට්ටම් දවුල් බෙරහඬපැතිරෙනවා
බණ්ඩර අපුච්චා පුද කෙළියට එනවා
අත්තා මායමෙන් තිරිශූලය ගත්තා
එකපාරට කිහිළි පෙදෙසට ඇනගත්තා
කිළි ඇති උන් යමව් කියලා හිටගත්තා
කවුදෝ ගැහැණියක් හිමිහිට පැන ගත්තා
දේවාලේ තේවෙ කොට ආ දිනකි එද
ගේ තුළ වැල් ඇඳේ වකුටුව හිටිය නිදා
කටුමැටි බිත්තියේ හූණන් හිටිය බදා
දොරකඩ කජුගහේ බස්සෙක් දුන්න නදා
හිරිගඬු පිපෙන ඒ සීතල පාන්දර
කිරිඅම්මා ඇවිත් ඇරලා කුටියෙ දොර
බොලං කියා ඇමතුවෙ හඬ අවදිකර
පිළිතුරු නොමැත අත්තා ගොස් අපව හැර
කවිය බලන්න
මහ ගස් විතරයි - පොඩි ඒව බෑ
ගොඩක් මහ ගස් කැමතියි
අහස වසා පැතිරෙන්න
වැඩෙන ගස් වල
හිරු එළිය වලකන්න
හිටි හැටියෙ අතු කඩා
පුංචි ගස් රිදවමින් හූරන්න...
හැමදාම පොළව මත සරු වෙන්න
පොහොර වැටුනම
හොඳම ටික අරගන්න
දිය ගලන උල්පතේ රහස් තැන්
තනි තනිව හොයාගෙන
කාලයක් යෙහෙන් වැජඹෙන්න
මහ ගසෙන් පැල වෙනා දේ මිසක්
තවත් නව ජාතියක්
පොළව මත සරු සාර වී මතුවෙන්න
ඉඩ නොදී සැනහෙන්න නම්
පමණක්ම කැමති මහ ගස්..
.......................................
.......................................
ඒ නිසා හිතුවක්කාර මුල් මතින්
එන්න මිතුරනි පැලවෙන්න.
කවිය බලන්න
ගුත්තිල කාව්‍යයෙහි සිත්ගත් කවි
දියෙහි යන දණ්ඩට
පිහිටක් වෙතත් පෙර සිට
දුදනන් හට පිහිට
නොවව් යන බස සැබෑ කළෙ මට
දියෙහි ගසාගෙන යන ලී කැබැල්ලට පිහිට වෙතත්
දුදනන්ට පිහිට නොවව් යන පෙර සිට පැවත එන බස
මට සැබෑවක් කරන ලදී.
කවිය බලන්න
දුකට හඬන කඳු
හඬනු හොඳ නැති බව දන්නමුත්
වැලපෙමින් කඳුලැලි සලා
අහසටත් සැනසුම දැනෙන්නැති
හිසේ තිබු බර බිම හෙලා
මහ පොළොව ලෙස අපිත් උන්නට
හැමදේම ගිලගෙන බලා
මහ කඳුත් බිම වැටෙන්නැත්තේ
එහෙව් අපි ගැන කම්පා වෙලා
සමන් දෙවියොත් අහක බැලුවැති
මොහොතකට හිස හරවලා
දොසක් කියලා කුමට දෙවියොත්
අපි වගෙම ඇති අසරණ වෙලා
නිදාගෙන උන් අඹු දරුවො උදුරා
දුරක ගෙනිහින් හංගලා
හැංගුවේ කොතැනකද නොකියම
කන්ද උන්නා බිම වැතිරිලා
සීරුවටමයි අපි අඩිය තිව්වේ
රළු බොරළු පිරි දිවි මගේ
මහ කන්දටයි එය හොඳින් පෙනුනේ
උන් නිසා අපි කඳු පාමුලේ
නිම කරන්නට විඳින දුක් ගඟ
තුරුළු කරගෙන පා සෙනේ
මහ කන්ද වගෙ තවත් කඳු ඇති
මග බලන් උහුලනු බැරි දිනේ
2022.01.09
කවිය බලන්න
🗙








































































































