ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

හිටවන කවි මිහිර

Category: හිටිවන කවි

හිටවන කවි මිහිර

උඳුගොඩ නවරත්න - මීමන ප්‍රේමතිලක
උඳුගොඩ නවරත්න - මීමන ප්‍රේමතිලක
කලාපය: 2021-March

වරක් සමස්ත ලංකා සිංහල කවි සම්මේලනය විසින් මෙහෙයවන්නට යෙදුනු මහා කවි සංවාදයේ මාතෘකාව වූයේ ‘සිංහලයාගේ ජාතික ඇඳුම වියයුත්තේ කලිසමද නැතහොත් රෙද්ද බැනියමද’ යන්නයි. එහිදී විශ්ෂ්ඨ කවියන් හිටිවන කවි ගණනාවක් හුවමාරු කරගත් අතර මීමන ප්‍රේමතිලක සහ උඳුගොඩ නවරත්න කිවීහු සංවාදයට පැටලී හිටිවන කවි වලින් මෙසේ සභාව රසවත් කළෝය.

කලිසම ඇඳ සිටි මීමනට උඳුගොඩ ගේ හිටිවන ප්‍රහාරය මෙසේ විය.

රෙද්දෙන් බැනියමෙන් රැකෙනුයෙ හෙළ නමය
ඔය කලිසමෙන් පෙන්වන්නේ ගැති කමය
දැන ගත යුතුයි ඔබ මෙය මීමන ළමය
එළිසම ලඟට ගලවන්නේ කලිසමය

රෙද්දෙන් බැනියමෙන් සැරසී සිටි උඳුගොඩට මීමන එල්ල කළ ක්ෂණික පිළිතුරයි මේ.

රෙද්දක් ඔතාගෙන හැඩි දැඩි බඳෙහි කැත
කියනා කතා වාදයකට සුදුසු නැත
දැනගත යුතුයි මෙය උඳුගොඩ කලණ මිත
කලිසම ගැලෙවුවත් සස්පැන්ඩරය ඇත

හිටිවන කවි මිහිර – පෙබරවාරි

පාතකඩ කුලතිලක
පාතකඩ කුලතිලක
කලාපය: 2021-February

පාතකඩ කුලතිලක කවියා රත්නපුර නගර සභාවේ සේවය කරන අවදියේ දුරකථන සුලබව තිබුණේ නැත. ඔහු දුරකථන පණිවිඩයක් ගැනීමට අවශ්‍ය වුවහොත් ගියේ ලඟම තිබෙන උප තැපැල් කාර්යාලයටයි. එහි සේවය කළේ වයසක නෝනා කෙනෙක් සහ තරුණ කාන්තාවකි. එහි යන බොහෝ විට ඔහුට ඇසෙන්නේ දුරකථනය ක්‍රියාවිරහිත වී ඇති බවයි. එසේ වූ දිනක දී ඔහු කොලයක් ඉල්ලා මෙම කවිය ලියා උප තැපැල් ස්ථානාධිපතිවරියට දී ගියාලු.

හමගිය ඩිරැක්ටරියක් ගෙන පෙරලනවා
හිලකට ඇඟිල්ලක් දාගෙන කරකනවා
රෝහල ඉල්ලුවොත් සීවලියට යනවා
මිස්ටයි මිසිස්ටයි ඒකට පඩි දෙනවා

ඇඟිල්ලක් දමා දුරකථන කරකැවූ හැටි අළුත් පරම්පරාව දනී ද?