Category: විසල් හදක කවි

විසල් හදක කවි – ත්‍රිකාල නර්තකී
ඝන නිල ගගන ගැබ සිසාරා
නැඟි ගැඹුරු බෙර හඬ පලා
විවර වන්නී ඈ සබවෙත
තියුණු ත්‍රිකාල නර්තනය සමඟින්
ලොහො පිළිමයක් සේ නටරද දෙව්
කළු පැහැ රැගත් සිරුරින්
රඟන්නී ඈ අතීතයේ නට විලස්
අති විලම්භ ලය මානයෙන්
පිරිමදියි මැදි ලයෙන් වත්මන
ලැසි නැටුම් සුමියුරු ගම්භීර විලසින්
පුපුරවයි දෘත ලයෙන් විදුලිය විලස්
රුදු තාණ්ඩවය එළැඹෙන සමය වෙනුවෙන්
විටෙක නටයි තාණ්ඩවය පිය උරුමය ලත් විලසින්
විටෙක නටයි ලාස්‍යයම මව් පස උරුමය සමගින්
තවත් විටෙක දෙමුහුව ගෙන නටයි අර්ධනාරී මෙන්
නටයි ගයයි වයයි තෙකල් නර්තකි උමයඟන වෙසින්
(උපේකා චිත්‍රසේන ගේ සත්තෑවන ජන්ම දිනය වෙනුවෙන්
ලියන ලද කවි උපහාරයකි. චායාරුපය; ලක්ෂ්මන් නඩරාජා )
2021.05.19

සුබ ආරංචියක්
යන්තම් ඇහැ පියවුණා විතරයි
හඬ තලන්නට විය දුරකතනය
කණ තබා ගත් කල බැරි තැන නතරවුණි හැඬිල්ල
“සුබ ආරංචියක් කියන්නයි
කතා කළේ තකහනියේ ”
මිතුරාගේ නොඉවසිල්ල
ගලා එයි දුරකතනය දිගේ
“ළමයට ඉස්කෝලයක් හම්බවුණා
එක හිස රදයක් ඉවරයි ”
මගේ සුබ පැතුම් – කියැවුණා මට ඉබේටම
අපි සමරමු ජයග්‍රහණය අද හෙටම
“මන් නම් හිටියේ දෙගිඩියාවෙන්
ළමයා මුලින් හිටියේ – ලිස්ට් එකේ නමවැනියාට
ඒ ඉඳල අන්තිමේ ඉන්ටවීව් යනකොට
ලිස්ට් එකේ විසිහතරවැනියා ”
එහෙම තමයි මේක ලංකාවනේ
හරි පුදුමයි – ඉතින් කොහොමද හදා ගත්තෙ
“විදුහල්පති ඉස්සරහපිටදිම
පළාත් සභා ඇමතිතුමාට ටෙලිෆෝන් කරල
කිව්ව මන් විස්තරේ
ඒක අහල එයා කිව්ව
දෙන්න කියල ටෙලිෆෝන් එක
විදුහල්පතිට
මන් දුන්න ටෙලිෆෝන් එක විදුහල්පතිට
එච්චරයි.”
මාරයිනෙ.
මගේ විස්මය ගලායයි දුරකතනය දිගේ
උතුරා යන ප්‍රීතියෙන් මිතුරා
මගේ විස්මය සංසිඳෙව්වා උද්දාමයෙන් :
“මේ විදුහල්පති මේ ඉස්කෝලෙට ආවෙ
දඬුවම් මාරුවකට
පගාව අරන් අහුවෙලා”
28/08/2021

විසල් හදක කවි – මාර්තු
උපුටා ගැනීම – සක්වා ලිහිණි කාව්‍යය – 1962
මැණිකෙගෙ පැල ලඟින් මා යන වෙලාවේ
මල් වැස්සක් වැස්සයි නිල් වලාවේ
ඒකයි පැලට ආවේ සිහි මුලාවේ
වැහපන් හෙටත් මල්වැහි ඒ වෙලාවේ
සිතුවම එස්. එල් සෙනෙහෙධීර.