ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

හුදෙකලාව……….

හුදෙකලාව……….

වෛද්‍ය පද්මලාල් පතිරගේ - නුගේගොඩ
2023-December

සිහින මිඳුන සඳ තරු නැති අහසේ
අඳුර ගලායන විටෙකදි රහසේ
මියගිය සිතිවිලි යළි ඉපදී ඇත
හුදෙකලාවෙ මා තනි වුනු මොහොතේ.

විකසිත මල් පෙති හිනැහුණු විලසේ
මිලින වු නෙතු කැන් දිලිසුණු
දවසේ
එක් වුනු මේ කුළු විසිරුණු
මොහොතේ
හුදෙකලාව මා සමඟය
එකසේ.

හිම මෙන් සිත සීතල වූ
දවසේ
ගිනි සේ දැවෙනා ලතැවුල්
අතරේ
පිණි මෙන් පිරිසිදු සිත
නොසැලෙන සේ
හුදෙකලාව මට පිහිටකි
පෙර සේ.

සිතුවම් පටයක රෑ සේ
මනසේ
පෙඟෙනා දෙනුවන් කඳුළැලි
අතරේ
ගලනා ගඟුලක ගමනක්
විලසේ
හුදෙකලාව මා රැක ගති
පණ සේ.

මායාවක පැටලුණු සිත මුදන
එකම කලාවයි
සේයාවක රැඳුන මතක ඉපිලෙන
සඳ තලාවයි
වීණාවක මියුරු සරින් සිත
නිවනා වෙලාවයි
අතීතයක මතක සුවඳ
ගෙනෙනා හුදෙකලාවයි.