ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සුන්දරයි මට මගෙ සුදුපාට ප්‍රේමය .

සුන්දරයි මට මගෙ සුදුපාට ප්‍රේමය .

තුෂාරි ජයසිංහ - මහනුවර
2023-July

සුසුමෙත් සුවඳ හැමු ප්‍රේමය
ඉරි තලනු දුටුවෙමි යාමයක
නිසල දිය පතුල නුඹෙ නෙත
සසල වූවා රහසේම දැක නරකෙස

දුවනු දුටුවෙමි අකීකරු නෙත
සොයාගනු රිසියෙන් සුසුදු මල් රේණුව
කුමට හඟවනුද පණ අදින සිතිව්ලි
දමාපන් එළි පහලියට අතහැර

සබඳ පිය. පිය මණින්නටයි
පැතුමක් තිබුණෙ සසරම
කෙටිම කෙටි පියවර අතලොස්ස
කඩා දැමුවා නුඹේ සිත බිඳ

අත නොමහැර රඳවා තබාගනු
කුමට, සුලැඟිල්ල කොනක
පය පැකිලි සැණයක ගිලිහේවි
මගේ සිහින දහසක කිරි කලය

බිඳෙන බව දියත කිරි කළ දිනෙක
වටහා ගතිමි පැණසරින් හිමිහිට
ලොවම තිර එකම දෙය දිය දහම
සුන්දරයි මට සුදුපාට මගෙ ප්‍රේමය .