ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සුඛ විහරණ

සුඛ විහරණ

චන්ද්‍රලාල් ද සිල්වා - තොටගමුව
2023-January

ගහක දෙකක පොල් කඩලා
කුලියක් මලියක් කරලා
ගඟ අයිනෙ කටු මැටි පැලේ
අපේ ජීවිත පැල කලේ
ගමේ බවුතීස්මෙට සයිමයි මැගිලියයි
අපේ එකම කොළු ඌට කිව්වෙ චූටා

ඇටෙන් පොත්තෙන් තේරුණ
කාලෙ ⁣ඉඳලම චූටට
වැස්ස අව්ව වගේ
කරුවල හඳ වගේ

කිරළ කැරැන් කොකු කඩාගෙන
විකුණන්න ගම වටේ ඇවිදින
මාළු කකුළුවො ⁣ඉස්සො අල්ලන
ඊතලේ කිමිදෙන දියකාව පරදන

ටිකෙන් ටික දැඩි වෙද්දි සිල්ලරෙන් බැරි වෙච්චි
ගඟ අයිනෙ වෙල් පැන්ට පැක්ටරිය ඉදි වෙච්චි
අතමිට සරු වෙද්දි සහචරයො වැඩි වෙච්චි
පොලීසියෙනුත් නිතර හිරිහැර සිදු වෙච්චි

මහ සයුරත් චූටා ජය ගත්තා
තරුණයන්ට බිස්නස් හුරු කෙරුවා
අතු පැල වූ තැන මැදුරක් හැදූනා
ගඟ ලඟ හෝටළයක සිරි මැවුනා

නොයෙකුත් මල්වර්ග ගැන කතා ඇහෙනවා
කේරළෙන් ගෙනෙන මල් මිළ වැඩියි කියනවා
ඖෂධ වර්ගත් තියෙන වග දැනෙනවා
චූටගෙම බෝට්ටුවෙ ගෙනෙනවයි කියනවා

සිටුවරු ආරෙට ජීවිත ගෙවුනා
අතට පයට සේවකයන් ලැබුණා
සේවක සික් ගැන සොයලා බැලුනා
උන්ට බෙහෙත් ටික නොමිලේ දුන්නා

අවි ආයුද ගැටෙන සද්ද
හුරු පුරුදුයි බිත්තිවලට
ලැබුනත් හොඳ කෑම බිම
ලේ නම් නෑ ඉනුවෙ ඇඟට

නිළදරුවන් මෙහි යනවා එනවා
උන්ගේ දිවියේ දුක පවසනවා
ඒ ගැන අපෙ පුතු කම්පා වෙනවා
මිළ මුදලින් කල පව් අරවනවා

පාට පාට මැති ඇමතිල
රෑට රෑට එනව යනව
සීතල කාමර ඇතුලේ
බෝතල් හිස් වෙලා යනව

නා නා මාදිලි යුවතියො
පෙනී නොපෙනි ආව ගියා
නවතින්නට පිය එකියක්
සොයා ගන්න බැරුව ගියා

බෝධිය වටකර ප්‍රාකාර බැන්දා
පෝය දවස්වල දන්සල් දුන්නා
පිරිත් නුල් මිටි සුරතේ එතුනා
සැම දෙයියම පුතු ලඟ වැඩ උන්නා

ගමේ උන්ට දැන් චූටි මහත්තය
මැගිලින් හාමිනේ සයිමන් මුදලාලි
පස්සෙන් ගිහින් ඉල්ලුවත්
දන් සීට්ටුවක් දුන්නෙ නැති
දායක මහත්තුරු නෝනලා
දානයක් වැරදුනොත්
අපේ ගෙදරම තමයි

ඉඩ කඩම් වාහන
මන්දිර සුඛ විහරණ
ගණු දෙනු නඩු
අවනඩු අස්සෙ
අ‌පි දෙන්න සිරකරල
නො හඳුනන
වෙඩික්කරු
චූට අරගෙන ගියා

23.12.2022