ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සිතුම් ගඟුළ

සිතුම් ගඟුළ

ඩී. අමරසිරි ගුණවර්දන - නවසීලන්තය
2022-December

සිතුම් සයුර පිරී නැගෙන රැළි පිට රැළි බමන මතින්

උතුම් දැහැන් රකිනු බැරිය පාවේ පෙණ පිඬුම ලෙසින්

මනස් දඟර නගින බසින සඳක සිසිල නොවන ලෙසින්

පෙළන කලක සිතක සුවය පුරන දහම සියුම් අඳුන්

දොළක් ලෙසින් වන අරණේ සියුම් සතුටු මල් පිපිලා

කොවුල් හඬක් ලෙසින් ඇසේ පෙර ළඟ හිඳ කියූ කතා

ගිණියම් වෙන එසිත තුලම රත් සර විය කඳුළු විදා

සිතුම් රොදක පැටලි පැටලි ගිලෙනව මල අඳුරෙ කිඳා

සතර අතම ගලයි අඳුර මෝහය පිරි චලන සිතක

දිදුලන මානව දසුනක පහස දුරයි ලබනු කෙලෙස

තනිවූ මොහොතක ළංවී සිත සනසන සෙනේ සිතක

ඡායාවක් දකින දිනට ලබයි සතුට ඉමක් නොවෙත

සිතුම් සයුර පිරී නැගෙන රැළි පිට රැළි බමන මතින්

උතුම් දැහැන් රකිනු බැරිය පාවේ පෙණ පිඬුම ලෙසින්

දොරගුළු හැර සුන්නිතාව රජයන මහ මැදුර තුලින්

සිතුම් ගඟුළ රැළි මුදලා නිහඬ නිසල ලොවක් දකිම්