ස්වර්ණපාලී කුලේ අභිමන!
ස්වර්ණ මිරිවැඩි පතා නොලදින් නග්න පතුලින් දුකම පාගමි
ස්වර්ණ අභරණ සින්න වූ මුත් තිලකෙ නළලත මකා නාවෙමි
දිව්‍ය සළුපිලි උනත් වැරහැලි දේවතා එළි ලොවට පෑවෙමි
රන් තෙළිඹු මගෙ විමානෙන් බැස හිස් අතින් මහමගට ගාටමි
“නඳුන් උයනින් ගෙනෙමි පරසතු” විමන් වැදි ඔහු බිනූ රැවටිලි
“සෝවිරක” බිව් අසුරයෙකු බැව් හැඳින ගත් පසු වුනෙමි උකටලි
ඕපපාතික නොවූ පෝතක කැලගෙ නාමෙන් කළෙමි ඇවිටිලි
චුතව තිබුනා රහසෙ හිමිසද නෙලා කුසුමක් චිත්ත පාටලි
දූ කෙළියෙ වැද විමන උකසට තැබු සුරාසොඬු යළිදු නොපතමි
අවතැන්ය පින සත් දනන් අත් නොදෙත්
තනි අඟනො දැක සාධු හැව හැඳ ඇදෙන බුජඟුන් පමණි හඳුනමි
මගෙ නමින් සෑ නගන බෝසත් නිරින්දෝ අද නොමැත අදහමි
වල් ඇහැටු රුක් සෙවනෙ ටකරන් කුලී විමනෙහි පැටව් සුරකිමි
කල් මරන රැයෙ බිළල් කැණහිළි සුනඛ කෙඳිරිලි හඬට නොසැලෙමි
දෑත් වීරිය මිස පතිනි සළු කඩේ ණය පොතෙ හිලව් නොකරමි
ස්වර්ණපාලී කුලේ අභිමන රකිමි දොරගුළු යළිදු නොඅරිමි