ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මිතුරුදමකට

මිතුරුදමකට

රේණුකා බණ්ඩාරනායක , පර්ත් , බටහිර ඔස්ට්‍රේලියාවදී
2021-August

දනගත්තා ඔබ එනබව
මා ඉන්නා පුරවරයට
අපෙ මිතුරෙක් මට කීවා
දවස් ගනනකට ඉස්සර

මගේ දුකේදි ඔබ ඇඩුවා
ඔබෙ දුකේදි මම සිටියා
එක බත්පත දෙකට බෙදා
අපි සතුටින් සිනාසුනා

පෙර දිනයක අපෙ මිතුදම
මගේ හිතේ ඇදිගියා
ඔබ දකින්න හිනාවෙන්න
ආසාවක් ඇතිවූවා

දින ගණනක් තිස්සේ මම
බලා සිටියා දෑස් අයා
මටත් කියා එවයි කියා
මේ පැත්තේ එනවා කියා

නොලැබෙන කියමන් ගැන මා
තව කුමකට වැලපෙන්නද
සියල්ල අනියත ලෝකේ
මිතුරු දමත් සදාකල්ද