ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මාලිනියේ… සත්‍යයේ ගීතය නුඹ ය!

මාලිනියේ… සත්‍යයේ ගීතය නුඹ ය!

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ - ලන්ඩනය
2023-December

අසූ වසක් වයසක් දැයි ඇසුමට
මුව ඉස්සර කරවනු නොහැකී
මෙතෙක් දවස් නුඹ ගැන නොසෙවූව ද
ඇසූ-පිරූ ඇති බව කියමී…

අලුත්ගමේ ලෙව්වන්දූවට ගිය
තැන මව්ගම සෝබාව පෙනේ
ඇති ගල් පව්වක නුදුරින් ඇති ගෙය
ඔබෙ මතකෙට නව පණක් ගෙනේ…

“පිය උතුමා මගෙ මව් උතුමිය ලද
දෙයිනි ජීවිතේ මඟ මැන්නේ
එමලි පෙරේරා මවට කියූ නම
කෝට්බාස් වත්ත ම දන්නේ…

ගම හැරලා කොළඹට ආදා අප
කොටහේනේ වත්තට ආවා
ගෙවල් පනස් අටකින් හෙබි වත්තට
කාසෙට්ටිය නම දී තිබුණා…

දිවි හරඹේ දින-දින ගෙව්වා අප
බොහො තැන්වල දී සිත් රිදුණා
අගහිඟ කම්වල කටෝර බව මට
සෙසු අසටත් වැඩියෙන් දැනුණා…

ගෙදර ම ලූණු බිකක් නැති හින්ද ම
ලූණු ගෙඩි තුනක් අරගත්තේ
අම්මට නොදැනී මුදලාලිට
නොපෙනී ගත් වෑයම මව් දත්තේ

බැණ-බැණ පාරේ සෙනග මැදින් යළි
ලූණු ගෙඩි තුන ම රැගෙන ගියේ
නැවත භාර දී කඩ හිමියාගෙන්
සමා ඇයැද මව්තුම අයේ…

එදත් එදයි හොඳ පාඩමකට ගෙන
දිවි සරුකර ගැනුමට සිතුණා
ඒ දේ නොවනට මගෙ දිවිය ම
හරවත් නොවනට නම් ඉඩ තිබුණා…
ගුණානන්ද පාසලට ගියේ මා
අකුරු කරන්නට සිත ම සදා
අඩුපාඩුවකට පෙනුණු දෙයක් නැහැ
පහසුකමක් නොතිබුණේ එදා…

පැදි ගායනයට සිත ගිය හින්දා
පදක්කමක රන් හිමිකාරී
එකදස් නමසියෙ පනස් හයේ දී
එය මගෙ දිවියේ හැඩකාරී…

එතැන් පටන් මම ගීත ගයන්නට
හා-හාපුරා ගියේ සෑදී
බුදු සාදූ-බුදු සාදූ ගීතය
බුදු ගුණ ගැයුමෙන් මට යාදී…”

එතෙක්-මෙතෙක් ඔබ සුගැයූ ගීවැල්
මෙතෙකැයි කීමට මට නොහැකී
දිවි විවරණ-නෙක ගැටලු සමාජික
ඇස-කන විවර කෙළේ නොමැකී…

සුනිල ගී පදයි-මාලිනියගෙ හඬ
රැව්-පිළිරැව් දුන් හැටි මතකයි
සත්‍යයෙ ගීතය-සුකිරිබටිල්ලන්
කිරිමදුවැල් ගී පද නොමියෙයි…

ජීවිතයේ විඳි කටුක-දුක්ක හා
ප්‍රේමය විඳ -බිඳ රිදෙන තරම්
දිවි හව්හරණය නොමැති දිවි තුළ ද
ඔබ ගී හඬ හද වැදුණු තරම්…

ඇසුරෙන් ඔබ දිවි සමාජයට දුන්
අපමණ පැතිකඩවලට කඩා
මිනිසුන් මෙතරම් භේද-භින්න කිම
පිළිතුර ඔබෙ ගී තුළ ම මෙදා…

නිලතල-බලතල-ලොකු-පොඩි වෙනසට
වෙනසක් ඇති කළ යුතු ය අනා
ඒ ගැන කොතරම් කීවත් ගීයෙන්
වීණා වයනු ද උගත මනා…

ගීකෙත වපුරා අස්වනු නෙළුවා
ගත්තේ නම් ටික-ටික නෙළු දේ
ජීවිත සපුරා ගනු ලෙස සිතලා
නැත්තේ කිම! සිත නම් නොරිදේ…
රිසි ලෙස ගන්නට උකහා කියු දෙය
හ`v`ගා කාලෙට තාලය දී
නිසි ලෙස කීව ද දෙකන් වසාගෙන
හිඳිතෙයි කාලය කකා හුදී…

කෙටියෙන් නිම කළ නොහේ නිබඳව ම
දෑ වෙනුවෙන් නැගු ගොසේ ළයේ
අපෙත් ආයුගෙන වැජඹෙනු රැජිණිය
ගී කෙත නන්දා මාලිනියේ…!

2023.12.01