ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

බුදුරදුන්ගේ සිව්වන ලංකාගමනය.

බුදුරදුන්ගේ සිව්වන ලංකාගමනය.

ආරියරත්න ජයසිංහ - මහරගම
2023-May

“…ආනන්ද! කිමද මේ අරුමය
හංදියක් හංදියක් ගානේ බෝ රුක්
ලයිට් කොඩිවැල් වටේ එල්ලෙන
මගෙ පිළිම ඒ අතර හිඳුවන

සෙත් පිරිත් ඇසෙනා දොරින් දොර
නාලිකාවල ඇසෙන මගෙ බණ
භාවනා පංති බෝධි පූජා
මගේ කාලයේවත් නොතිබුනු

ආනන්ද! කිමද මේ අරුමය
මෙබඳු දේශයක් වේද තුන් ලොව
පිරිනිවන් පෑමට පෙරදි වුව
නොදුටුවෙමි දිවැසින්වත් මෙවන් රට
එසේ නැතහොත්..
ගෙවෙන්නත් පෙර භද්‍ර කල්පය
තවත් බුදු කෙනෙකුන් පහළ විද…”

“…නැත..නැත..හිමියනි !
මේ අරුම දේශයකි
සද්ධර්ම ද්වීපයැයි නම් ලද

දෙදහස් වසරකට පෙර තැනු
පෙති පිළිම වටදා ගෙවල්
සඳකඩ පහන් ගල් කණු
තවම වැජඹෙන දේශයකි මෙය

හොර මැර දූෂණ අපරාධ කිසිත් නැති
ඔබ දෙසූ අරි අටඟි මඟම නිති පිළිපදින
උපතින්ම බොදුනුවන් වූ සුදනුන් වෙසෙන
ව්‍යවස්ථාවෙනුත් බුදු දහම සුරැකුනු…”