ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මතක වස්තුවක්

මතක වස්තුවක්

නිශ්ශංක දිද්දෙණිය
2022-February

එකමත් එක දවසක් දා
නානතොට ම සුවඳ කරන්
දිය කඳුරේ වූ විකසිත
නාරිලතා මල ගෝමර
කැකුළු දසන් – නුරා නුවන්
තරඟ දෙමින් පෑ සිනාව
ළා රත්පැහැ දෙතොල් විදා
මතක තිරෙන් එබී බලයි
නෙත් කැල්මෙන් කතා කරන
සබන් පහස දෙන ඩිංගට
හංස පැටව් හුරතල් කර
ඇඟේ හැඩට වූ අවනත
නිතඹ පෙඟුණු මල්චීත්තෙ
රඹ කඳ පරදා ඇළුණූ
දෙවොටර තව තව හැඩ වූ
මල් කැකුලී – රණ මොනරී
අතුරුදහන් වූවා සේ
ටික දොහකින්
නෙත ගැටුණේ නෑ නුඹ රුව
නාන තොටේ – කටුකුටුවෙන්
සිදාදියේ මහ වලව්වෙ
මුළුතැන් ගෙයි බර අදින්න
නුඹ කැන්දන් ගිය බව මිස
කාසි පනම් සිල්ලරේට

********************************

එකමත් එක දවසක් දා
රැවුල ඉදුණු, කෙස්ස පැහුණු
කථින පිංකමේ දායක
කළු අප්පොගෙ වලව්වත්තෙ
ඈත කොනේ ළිං බාල්කෙ
වතුර පනිට්ටුව වෙනුවට
එල්ලීගෙන නුඹ සිටියේ
ගෙල ඇලකර – නෙත් විවරව
මොනර රැහේ පිල් කලඹට
නිගා දෙවන කෙස්ස විදා

**********************************
නුඹේ බඹසර උදුර ගත්තු
කළු අප්පෝ සුදු කර දුන්
හාමුගෙ මර සළා වැටුම
නුඹ වටකර කැරකුනි දෝ
ළිං ගැට්ටේ එබිකම් කර
ගම්මු ඇවිත් කොකං පෑවෙ
පොලිස් දූතයන් ඉවලූ
නාරිලතා මල ගෝමර
මුකුලිත වූ වග විභාගෙ
කරවන හැටි ඇස් ඇරගෙන
නීතියෙ දෙවඟන වැඩලා
යුක්තිය පසිඳනා මහිම …..