ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඒ ගොඩබිම දැන් හිස් ය

ඒ ගොඩබිම දැන් හිස් ය

කනිෂ්ක මහේන්ද්‍ර විජයරත්න - ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
2021-October

තැරැව්කාර සුළඟට බයේ
සෙයිලෝන් සාගර පූජාසනයට
පරවෙන්නට එන නෞකා කුසුමකි

වානේ පෙට්ටි හදවතක මළ කෑ
ප්‍රේමනීය ඇමරිකානු හීනය
බර්මියුඩා ඇස් අද්දරකවත් නොරන්දා
දුර කතර ගෙවා එයි කරුමය
ඇවිත් ගින්නට පනියි පතිනිය

මියෙන ප්‍රේමයෙ රුහිරු
පොවයි සමුදුරු වැසියන්ට
වසර ගණනකට සෑහෙන
ඔවුන් ගැන මතක් කර යන්නට
කැස්බෑ නියෝජිතයන් එයි
හැම දා ම වාගේ ගොඩබිමට

ඒ ගොඩබිම දැන් හිස් ය
ක්ෂුද්‍ර ජීවී ප්‍රහාරයකට අසු ව
අවුරුදු ගණනකට පෙර
එහි වැසියෝ මළෝ ය

අදත් යන කල අයිනකින් දූපතේ
යාන්තමට ඇසෙයි දෝංකාරේ
මුදලට පොර බැඳි වැසියා
කුලයට පොර බැඳි වැසියා
ජාතියට පොර බැඳි වැසියා
අවසන
මරාගත් හැටි
දීපයෙන් පිට වෙන්න