ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පබවතිය නොවෙමි

පබවතිය නොවෙමි

ඉනෝකා සමරවික්‍රම
2021-August

කුස කුමරු නොවේ නුඹ
මා පතා දුක් වින්ද…
පබවති නොවෙමි මම
රන් රුවක් හා සදිසි…

හිරුට පෙර අවදිවන
දහක් වැඩපල කරන
බස් රියේ එල්ලිලා
වැඩට යන හවස එන
එන ගමන් කඩේ යන
බඩු මල්ල අරන් එන…

රෙදි කන්ද හෝඳමින්
වරු ගණන් ගතකරන
දන් උයන දන් බෙදන
මල් වවන වල් නෙලන..

රැවුම් ගෙරවුම් පවා
හිනාවෙන් ඉවසගෙන
විටෙක කඳුළුත් හෙළන
දුක දුකම හදාරණ…

දහක් නෙත් ඇති මඟක
තවත් නෙත් දෙකක් වෙමි
ගව් ගණන් සිහින වල
ජීවිතය සොයා යන…