ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නුගේගොඩ සුනිල් ආරියරත්න

නුගේගොඩ සුනිල් ආරියරත්න

මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි
2023-July

ඒ 1994 වසර. අවුරුදු තුනකට කලින් 1991 උසස් පෙළ කරපු අපි ජපුරට ආවෙ 94 දි. සිංහල භාෂාව උපාධියට හැදෑරීමේ අපේක්ෂාව ඒ වන විටත් මට තිබුණා. පළමු වසරෙ බශා එකේ (බණ්ඩාරනායක ශාලාව) අපි 502ක් සිංහල කළා. ශාස්ත්‍ර පීඨයේ ජනප්‍රිය ම විෂය සිංහල වෙන්න ඇති. සුනිල් ආරියරත්න ඇතුළු ඒ වටිනා මිනිස්සු දැක ගැනීමත් හීනයක්,ආශාවක් අපට. ‘පවන’ අහලා ‘මත් වෙලා’ හිටියෙ. දවසක් සර් නූතන සිංහල කවිය උගන්වන අතරෙ කිව්වා, ‘අපේ සරසවියෙ කවි ලියන අය නිර්මාණ බාර දෙන්න. සිළුමිණ පත්තරේට කවි පිටුවක් කරන්න ඉඩක් තියෙනවා’ කියලා. අපට ඉතිං ඒ මදෑ. හැරුණු තැපෑලෙන් දුන්නා කවි. මෙන්න පළ වුණා ‘ෆුල් පේජ්’. ‘ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කවි’ එහෙම යි හෙඩිම. සුනිල් ශාන්ත ඒ. සෙනෙවිරත්න නමින් මගේ කවියක් එතන තිබුණා. ඒ අතරෙ අප කලින් අසා තිබුණු කවීන්ගෙ නම් දැක ගත්තා. මහින්ද කුමාර දළුපොත, වසන්ත බණ්ඩාර දුක්ගන්නාරාළ, ජගත් ගාමිණී මාවතගම, කේ.පී.ඩබ්. ප්‍රියන්ත ජයලත්, රූපහ සුමනජෝති හිමි, තිලක් පුෂ්පකුමාර වගේ ජ්‍යේෂ්ඨයන්ගේ හා ශ්‍රියා වසන්ති කළුපහන, ධර්මසිරි ගුණවර්ධන වගේ සමකාලීනයන්ගේ කවි එතන තිබුණා. පස්සෙ තමයි දැනගත්තෙ නිලාර් එන්. කාසිම්, සමිනාදන් විමල් වගේ කවීනුත් සිංහල කරන ජ්‍යේෂ්ඨයන් කියලා. ඒ විතරක් ද? අද මුළු ශිෂ්‍ය ව්‍යාපාරය ම සිය විරුසමරු ගීය ලෙස ගයන ‘ළපළු අගින් පිණි පබළු කඳුළු සලනා’ කවිය ලීවෙ එතන හිටි තිලක් පුෂ්පකුමාර කියලා.

ටික දවසකට පස්සේ සුනිල් සර් අර මහ පංතියේ දි ඇහුවා ‘කවුද සුනිල් ශාන්ත සෙනෙවිරත්න? එයාගේ කවි හොඳයි’ කියලා. මට ඉතිං දීපංකර විවරණ ලැබුණා වගෙයි. එදා ම සුනිල් සර් මුණ ගැහුණා. බොමින් හිටිය තේ එකෙන් භාගයක් දුන්නා. ඉන් පස්සේ මම සිංහල සංගමය කරන කාලෙ ගොඩක් සමීප වුණා. ‘ඔයාගෙ නම හරි යන්නෙ නැහැනෙ මේ කවි වැඩේට. අපි හිනිදුම සුනිල් සෙනෙවි කියලා දාමු’. එහෙම යි ඒක වුණේ. ඊට කාලෙකට පස්සේ තමයි මම දන්නෙ, නුගේගොඩ සුනිල් ආරියරත්න හා තෙල්ලඹුරේ රත්න ශ්‍රී විජේසිංහ කියලා දෙන්නෙකුත් ඉඳලා තියෙනවා කියලා. ඒ නම් වෙනස් කිරීම බලපෑවා අවසන් වසර නිබන්ධයට එච්.එම්. කුඩලිගම නම් කොළඹ කවියා ගැන ලියන්න තෝරා ගන්න.

අපි බිහිවැඩ චාරිකා ගියා. දැන් අපි ලෝකාන්තෙ තැන්නෙ යනවා. මමයි මගේ පෙම්වතිය අනුෂා සේනාධීරයි ඉස්සරහින් යනවා. සුනිල් සර් කෑ ගහනවා. ‘සුනිල් …අපිට ඕගොල්ලො චුට්ටක්වත් පේන්නෙ නෑ. මේ ලොකූ මීදුමක්. පේනවා කියලා හිතන්න ඕනෙ නෑ’. හරි සුන්දර සරල ගති තිබුණා එතුමාට. එදා හක්ගල දි ගත්ත පින්තූරය මෙතන පළ කරනවා.

අපි සරසවියෙන් පිට වුණා. රස්සා නැ. සර්ගේ ලියුම් කෑල්ලක් අරන් විදුලි සෝපානයෙන් තරු එෆ්.එම් වෙත ගියා. හමු වුණේ ස්වර්ණ ගුණවර්ධන. ‘මේ ලියුම රැගෙන එන්නේ අපේ දීප්තිමත් සිසුවෙක්..’ එයා එහෙම ලියලා තිබුණා.

මං අයදුම් කළා සබරගමු සරසවියට ගුරුවරයෙකු වෙන්න. නිර්දේශ දෙකක් ඕනෙ පිළිගත් අයගෙන්. දම්මික ගංගානාත් දිසානායක හා සුනිල් ආරියරත්න දෙපළ තමයි ඒවා දුන්නෙ. රැකියාව ලැබුණා. මං නැවතුනා බෙලිහුල්ඔය ‘පර්ල් ඉන්’ හෝටලේ තාවකාලික ව. එතන ඉඳන් ලිව්වා සුනිල් සර්ට ‘ඈත ඉඳ ඔබ බලා සිටින්නේ-නැත ඔබ වන් ගුරුවරු හමු වන්නේ’ කියලා තුති පුදලා ලියුමක්. සර් ගැන ගෝලයන්ට, ඇසුරු කළ අයට විවාදාපන්න අදහස් තියෙනවා. මටත් තියෙනවා විවේචන. ඒත්, ඒ අපේ ගුරුතුමා. මගේ හැටිසොබා තීරණය වෙන්න බලපාපු වටිනා මිනිසුන්ගෙන් කෙනෙක්. දීර්ඝායු වේවා සුනිල් සර්.