ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නිවාඩු

නිවාඩු

නයෝමි අමරසිංහ
2024-February

අනවරත ගමනක
හිරු
නැග බැස යද්දි
කලබල දවස් එක දිගට
ගෙවෙනවා..
ඒත්
හිරු එක තැනම ගිනි ගනිමින් තිබුණා ..
අපි ඒ ගින්න වටා කැරකි කැරකි දුවල…

අර සෞරග්‍රහ මණ්ඩලයෙ කතා ඇතුළෙ
උපග්‍රහයන් ගණින්න
පුතු මහත් වෑයමක..

“ලබල තියෙන ග්‍රහය එච්චර හොද නෑ ”
ඇය අදත් දුවන්නෙ මගෙ කේන්දරේ බලව ගන්න..

පෑ තැටියට වඩා වේගයෙන්
මගෙ ඊ සී ජී එක දුවනවා
ඩොක්ට බර කල්පනාවක..

“ඔයාගෙ ලීව් ඉවරයි” ඔපීසියෙන්
කතා කරනවා..
පරිගණක තිර එක පෙළට
ඔන් ඕෆ් වෙවී
ඇඟිලි සලකුණු තිබ්බ දිගටම..

හවස ඉස්ටේෂමේ බැස්සෙ
කමිස බොත්තම් පවා නැතිව..
කළුවරත් ඔලොක්කුවට හිනා වුණාද මන්ද..

අහස සිඹින අර කඳු වළල්ලටත්
නෙළුම් කුළුණ අත වැනුවලු..
හෙට පෝයටවත් ටිකක් නිදා ගන්න හිතුව මං..
අම්ම පන්සලේ බණක් කියවන්න ඕනලු..

අනේ, පුතේ අපි
ලස්සන නිවාඩු නිකේතනයක..
දවසක..
ලොකු නිවාඩුවකට යමු..
බලන්න තැනක්
ඔය ගූගල් මැප් එකෙන්..

Photo; Daoudi Aissa