ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

රාජසිංහ Go Home

රාජසිංහ Go Home

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ - කොල්චෙස්ටර් - එංගලන්තය
2022-June

රාජසිංහ Go Home

කන්ද උඩරට කන්දසාමිව
පන්නලා සිහසුන රකින්නයි
වින්ද දුක් අඩුපාඩු නිමකර
තුටින් සෙංකඩගල තියන්නයි

රජා විඳි රජ වාසලේ සැප
සියළු රට වැසියන්ට දෙන්නයි
සදා වින කළ පවුල් බළඇණි
නැවත සියරට යවා ගන්නයි

වැසුණු කම්හල් සුසුම් දුම් රොටු
වලින් රටතොට අඳුරු වෙන්නයි
පැසුණු අදහස් දරන හදවත්
එවන් ගිනි මැද දැවී යන්නයි

පල්ලි පන්සල් එතෙර බළ මුළු
එක්ව මහ රජු කොන් කරන්නයි
කැරලි මතයට නොනැමෙනා බස්
කාර් දේපළ ගිනි තියන්නයි

බලන් සිරිලක වටේ කැරකෙන
ඒරොප්පෙ ඒජන්ත රෑනයි
වහන් වී රජතුමා සිටියත්
අසුබ පෙරමග ලකුණු මෝරයි