ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

දෙව් ලොවකට යමු විසිතුරු

දෙව් ලොවකට යමු විසිතුරු

රාජකීය පණ්ඩිත පනාමුරේ තපස්සී හිමි - ලන්ඩනය
2022-December

සදවා නෙක ගේ විසිතුරු
සිටුවා තැනතැන නෙක තුරු
පිනවා සැම නිති සැම යුරු
බෙදවා දෙමු කර දුක දුරු

වවලා සොඳ වත්තක් තුරු
නෙළලා මල් කොළ පළතුරු
පිසලා දන්දී අමයුරු
දුරලා ලමු පව් නිරතුරු

හඳුනා දුප්පත් දූ දරු
විඳිනා දුක් මව් පියවරු
ලෙසිනා සැප දී සඳහිරු
නිතිනා පව් කරනෙමු දුරු

ලෙඩවීලා නෙක නෙක යුරු
වැතිරී ඇඳ මත උඩුකුරු
මැලවී ඇති අය ළඟ මරු
කැපවී රැක ගමු නිසියුරු

බුදුහිමි දෙසු දම පිවිතුරු
සුරකින සඟ ගණ අතිගරු
දම සමඟම දිවි ඇතිතුරු
සුරකිමු අපි වී කැපකරු

මේ ලෙස පින්කර නෙකයුරු
දෙව් ලොවකට යමු විසිතුරු
විමනක් වෙන්කර පියකරු
සතුටින් ඉමු අපි සුමිතුරු

රාජකීය පණ්ඩිත
පනාමුරේ තපස්සී හිමි
ලන්ඩන්