ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ජංගම වහල්ලු

ජංගම වහල්ලු

සුනිල් පෙරේරා - ලින්කන්ෂයර් - එංගලන්තය
2023-August

කන්න ගියත් ඇහැ ඒකට
බොන්න ගියත් ඇහැ ඒකට
වැඩට ගියත් ඇහැ ඒකට
කොහේ ගියත් ඇහැ ඒකට

කෑම පිඟානේ ලඟින්ම
බීම වීදුරුවෙ ලඟින්ම
ලිපිගොනු අස්සේ ලඟින්ම
කොහෙ හිටියත් අත ලඟින්ම

ඇස් පෙනුනට පේන්නෙ නෑ
කන් ඇහුනට ඇහෙන්නෙ නෑ
ඉන්නෙ කොහෙද දන්නේ නෑ
කය විතරයි හිත ළඟ නෑ

ඇඟිල්ලකින් පිහදාලා
ඇඟිලි දෙකෙන් ලොකු කරලා
ඇඟිලි තුඩින් තව කොටලා
ජංගමේට වහල් වෙලා