ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කුඩේ වැඩේ සහ ලෙඩේ

කුඩේ වැඩේ සහ ලෙඩේ

සිසිල් මාන්නප්පෙරුම - Brampton, Canada  
2021-May

සවසක ඇවිදයන විට                             දුම්රියපලට
මා ගොඩවුනා අගුපිලකට                         වැස්සකට
නොතෙමී යන්න කුඩ කබලක්          නොමැතිකොට
හූල්ලමින් උන්නා කුඩ ඇති                            අයට

මොරසූරන වැස්ස ටිකටික                    වැඩිවෙනවා
කුඩයක් නැතිව මම තනිවම                  ලතවෙනවා
මේ අතරෙදී පෙරකල පිං                      මතුවෙනවා
කුඩයක් ඇති ලඳක් මා අසලට                      එනවා

වැස්සේ දෙදෙනෙකුට තනි කුඩයෙන්            යන්න
බැරිබව කියා මා හැදුවා                          නවතින්න
එනමුත් අටේ    දුම්රිය                        අල්ලාගන්න
මට සිදුවුනා ඇගෙ ඇරයුම                      පිලිගන්න

වැස්සේ  දෙදෙනාම තනි කුඩයෙන්             යනවා
ඇඳසිටි ඇඳුම් මොහොතින් වැසි දිය        බොනවා
නොතෙමෙන්නට කියා ඇය මට          ලංවෙනවා
ලංවී විගස මල්සර    හීයක්                    දෙනවා

අකුණු ගසනවිට හරියට බයයි                   කියා
තුරුලුවුනා මට උත්තර නැතිව                   ගියා
නොසිතුව විලස ගතසිත කිතිකැවී              ගියා
පැතුවෙමි වැස්ස තව වැහැපන්          අකුණු තියා

මොරසූරන වැස්ස දිගටම                   වැස්සාය
උණුසුම් හාදු වැස්සකටත්                තෙමුනාය
අඳුරෙම ඇයව නිවසට                     ඇරලූවාය
අන්තිම දුම්රියත් මට                   මගහැරුනාය

සුන්දර හැඩකාර මා දුටු බොලඳ              ලියා
වයස දහඅටයි ටියුෂන් පංති                    ගියා
ඉඳහිට හමුවුනත් ගෙදරට හොරෙන්       මෙයා
වැහි නැති දවසටත් අපි එක කුඩේ           ගියා

වසරක් ගෙවී මහ වැස්සක ලකුණු           තියා
වැහිපොද ආ නිසා කඩයක පිලට            ගියා
අදහා ගන්න බැරිවිය මගෙ             සිකුරුලියා
වෙන තරුණයෙක් සමගින් එක කුඩේ     ගියා