ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

“ගලන ගඟකි ජීවිතේ” කියාදුන් ඔබ ගී මතුරකි අති රමණී

“ගලන ගඟකි ජීවිතේ” කියාදුන් ඔබ ගී මතුරකි අති රමණී

කෞශල්‍යා ජයලත්
2023-December

“දෙදහස් පන්සිය වසරක්” තිස්සේ “රට කරවන්න”ට පැමිණි නඩේ
අප “යදමින් බැඳ විලංගු ලා” බව “නිදහස් බයිලා” නැඟූ හඬේ
හිමිකාරිය ඔබ “රුවල් ඉරී ගිය නෞකා” නිදි බිඳි වියරු සැඩේ
“උරය පලා සැතකින් එක රතු පැහැ රුහිරු ගලනයුරු” ගැයූ හඬේ

“හන්තාන අඩවියේ මැදුරු කුළුණු”තර ඔබේ ගීත රැව් දී ඇසුණී
“පෙරමුණ ගත් වරදට වෙඩි සැර කෑ” සොයුරන් නාමෙන් පෙළගැසුණී
“සුළං කපොල්ලේ” සැඬ “පවන”ක්තර පවා ඔබේ තෙත හද ගැයුණී
“සම්මා සම්බුදු අම්මාවරු ම ය” දරුවන්ගේ දුක් කඳ හැඳිනී

“රන් කෙන්දෙන් බැඳ” “හද විල කලඹන පෙම් ජල රේඛා” මැකි සොවිනී
“ළසොවින් හඬනා”හද තත් අතරේ “දෙවියන් දුන් පඬුරක්” වෙසිනී
“ආදරයේ වේදනාව” දුරැරා “ජීවිතය ම කවියක්”ලෙසිනී
“ගලන ගඟකි ජීවිතේ” කියා දුන් ඔබ ගී මතුරකි අති රමණී

“සැඳෑ කළුවර” ම හද දවනා සඳ “තරු ද නිදන මහ රෑ” නිදමී
“ඔබයි රම්‍ය සඳ කිරණ” “රෑට ඉහ ඉද්දර කොඳුරන කවි” අම මී
“යමුණා ගං තෙර තමළු ලතා සෙවණේ” සතපා හද දුක් සිඳිමී
“අරලිය ලන්දට හද පායන කොට” ඔබෙන් නිවී සඳ සේ නැඟෙමී

“පූජාසනයේ හිඳුවන ලොවමයි ඔබට එරෙහි වී නැගිටින්නේ”
“උඩඟු ලියන් හිස සරසනු” නොරිසිනි “මලට රේණු” මුතු හිමිවන්නේ
“නිවැරදි කරනට බැරි රජු නෙරපනු” ගැයූ ඔබේ හඬ රැව්දෙන්නේ
“ඉහලින් වියැළුණු ගම් බිම්” නිවමින් වසිනා වැසි ඔබ ගී වැන්නේ

ඔබ ගැන වැණුමට “දහක් දේ තිබේ වදනින් කීමට බැරිව වැසී”
“අහස සේ ම ඔබ අනන්ත” පැහැති ය, ” කුරුටු ගෑ ගීත” දසත වසී
“ඔබයි නවාතැන් පොළ” ජීවිතයේ “වන්දනාව” සැනසූ සුහසී
අසූ වසට තව සහස් වසක් නිදුකින් වැජඹේවා ! මවුනි සිසී