ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

හෙළබස “පට්ට” ගැසීම

හෙළබස “පට්ට” ගැසීම

සිසිල් මාන්නප්පෙරුම, Brampton, කැනඩාව
2021-April

හෙළ බස හසුරුවන හැටි සමහර හෙළයින්
දුටු විට දුක දැනේ හද කකියයි නිතැතින්
මතු පරපුරට හෙළ බස රැක නොදුනහොතින්
හෙළයට බසක් නැතිවෙයි වැඩිකල් නොගොසින්

බත් උයනවා නොව “බත් ගහනවා” වෙලා
හරබර වචන දැන් ඔක්කොම මොට්ට වෙලා
හරසුන් හිස් වදන් පොකුරක් “පට්ට” වෙලා
හෙළ බස් වහර නැති හෙළයේ රටක් වෙලා

පෙම් බස් දොඩයි නම් ඇය “මල් කඩනවලූ”
උදව් ගත්තොතින් “දත් ගලවනවාලූ”
අරාවුලට හරි වචනය “කොක්කක්ලූ”
කේන්තියක් ආවිට “මල පනිනවලූ”

පියකරු යුවතියක් “පට්ටලු” කෑල්ලලු”
“ගෙඩියලු” “බඩුවක්ලු” නැත්නම් “සතෙක්මලු”
පිටගම් “පොරක්” “ප්ලග්වුනොතින්” “වලියක්ලු”
“මල පැන්නොතින්” ඉල්ලන්නෙම ” ගේමක්ලු”

“හොඳ කකුලක්” “පොරක්” විය හැක ගැටවුන්ට
“මැන්ටල්” කියයි වයසක සීයලා හට
“අවුලක් නැහැ” කියයි සමහරු හැම දෙයට
අවුලක් තිබේ හෙළ බස දත් හෙළයින්ට