ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඇහැළ මහේ අළු දූලි

ඇහැළ මහේ අළු දූලි

මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
2021-October

ඇසළ මහේ අළු දූලි වුණේ
අපෙ මිතුදම් නොව ඔබෙ හරදහම්
අහිමි කළා අපට උන් හිටි තැන්
ඉතිරි වුණේ ඇඳිවත විතරයි
කුමක්ද මේ ජීවිතේ
අපි කවුරුද කවුරුද මේ රටේ
පුංචි කෙනෙකි අපෙ හොඳ අප්පා
ඔහු සමසමාජ වුණත් ඇන්දෙ වෙට්ටියයි කමීසෙයි
සුදු – නම ඇන්තනි – රොක්සාමි – ඒ.ජේ. කරීම්
එක්ක එකට වාඩි උනේ – වයන්න මිහිරි නාද
ඔබ සතුටු කරන
මැන්ඩලීනයත් රැගෙන උදෙන්
ගුවන් විදුලියට ගියේ පයින්
අපි ඉස්කෝලෙ ඉගෙන ගත්තෙ දෙමළ මාධ්‍යයෙන්
සිංහල ලියන්න බෑ – කතා කරන්න පුළුවන්
බැතිමතියකි අපෙ හොඳ අම්මා
ඇසුවා භජන් ගීත නිවසේ
තෝසෙ වඩේ ඉඩ්ලි මෝරු සාම්බාරු හැමෝටම
බෙදා දුන්නා – පේළි ගෙදර – දෙමළ සිංහල
මුස්ලිම් – බෞද්ධ හින්දු – කිතුණු ඉස්ලාම්
අපි හිටියේ කළවමේ – එකට තමා අප්පා
දෙපා සතුන්ට තිරිසන් සතුන් ආවේශ වුණා එදවස
අපේ අප්පල – රොක්සාමි මාමල එක්ක
ඉන් පස්සෙ සිංහල සිංදු වාදනය කරන්න
පටිගත කරන්න සමහර යහළුවන් කැමති වුණේ
නෑනෙ පුදුමෙකට…. එහෙත්
අපේ හින්දු දෙවිවරු කී ලෙස කරුණාවෙන්
තාම වයමු අපි සංගීතේ
විඳින්න සොඳුරු ආදරය ඔබට සතුට දැනෙන
ඩිජිටල් ලෝකයට ගිහින් බලන්න – ඇන්තනීලා
රොක්සාමිලා – කරීම්ලා වාදනය කළ ඒවා
මොහිදින් බෙග් ගැයූ ඒවා
බුදුගුණත් සිංහලකමත්
තිබේ ඒවා අතර

මානව විද්‍යා අධ්‍යයනාංශය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය