ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ආදරයට ආදරෙන්..

ආදරයට ආදරෙන්..

රේණුකා සුදර්ශනී ඉලංගකෝන් - කිරිඳිවැල
2022-March

අහිමි වන්නට යමක්
නොතිබු ඒ කාලයේ
හීන වල විතරමයි
ලියවුණේ ජීවිතේ
බිඳුණු හදවතක පිරියම්
නොපෙනෙනා ලොවේ
සතුට දුර ඈත වුව
නෑ දෙනෙත් තෙත් වුණේ..

මදහසක් තුළ රැඳෙන
නිහඬ සමනල් සිහින
එකින් එක රැගෙන
කොපුලත තබමි සිඹින්නට
ආදරය ආදරෙන්
දොවා පුරවා හිතට
පුද දෙන්න මග බලන
දෑතක්ම හිමිව ඇත.

සඳ දියෙන් මල්වරව
දළු දමන ආදරේ
සැඟව ගමි රහසේම
හොවා ලය මානයේ
ජීවයෙන් සිත පුරන
මීවිත ක් මට තියේ
සැනසුමක් දැනෙන තැන
නතර විය යුතුම වේ

ඉඩෝරේ අවාරෙක
පිපුණු දූවිලි මලක
පාට සිත්තම් කරන
ජීවිතේ තෙලිතුඩක
පරව යන්නට නොදී
රැක බලන සෙනෙහස ට
නොකර සරදම් ඉතින්
හිස නමමි ඉරණමට!