ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඇහැරුනා නේද දැන් මල්ලියේ කුඹු කන්?

ඇහැරුනා නේද දැන් මල්ලියේ කුඹු කන්?

වෛද්‍ය වරුණ ජයසිංහ - එක්සත් රාජධානිය
2022-May

ඇහැරුනා නේද දැන්
මල්ලියේ කුඹු කන්?

ලොව ම පෙරළන්න හැකි ශක්තියක් තියාගෙන
සුර අසුර මන් බිඳින රණ ගොසත් නිවාගෙන
අත් පහර, ඇත් පහර, සීනු හඬ දරාගෙන
ලොවම යටිකුරු වෙද්දි හිටියා උඹ නිදාගෙන

මගෙ දෙකන, නහය සිඳි නිරි සතුන් සොයන්නට
රාවණා ගියේ නම් යුක්තියම රකින්නට
තම තරම අමතකව, සීතාව කප්පමට
ගෙන එද්දි උඹ හිටියෙ නෑ වරද කියන්නට

එදා සිට අනීතිය, වියවුල ම පැතිරෙද්දි
වලිග ඇවුලුනු වඳුරො ලංකාව ගිනි ලද්දි
කාක්කන් රොක් වෙද්දි, නිදන් ගැබ හිස් වෙද්දි
අනේ උඹ සැතපුනා නොදැක මේ වෙන සිද්දි

ඇහැ ඇරුණු එක හොඳයි පහුවෙලා හරි උඹට
උඹෙ හයිය මහ මෙරක්, යමන් පෙරටුව අපට
අයියලා තම තමන්ගේ සටන් කරනකොට
උඹ තමයි මලේ, දැන් ඉන්නෙ රට රකින්නට

රාවණාගේ සටන තමන් හිස රැකගන්න
විභීෂණ හදයි ඔහු එළවලා රජ වෙන්න
උන් නොපැකිළෙයි අපව වඳුරන්ට බිලි දෙන්න
අමාරුයි පිටුපසින් එන කිණිසි වලකන්න!

පසුබිම : රාවණ, විභීෂණ, සුපර්ණකා හා කුම්භකර්ණ (කුඹුකන්) සහෝදර සහෝදරියෝ වූහ. මොවුන් අතරින් ඉතාම බල සම්පන්න රණ ශූරයා වූ කුඹුකන්, ශාපයක් නිසා වසරේ වැඩි කාලයක් සිටියේ නිදාගෙන ය. සුපර්ණකාට රාම හා ලක්ෂ්මන් වද දීම, යුද්ධයේ මූලාරම්භය විය.