ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඇදුරුතුමියෙනි වඳිමි ඔබ පා

ඇදුරුතුමියෙනි වඳිමි ඔබ පා

එස් එල් සෙනෙහෙධීර , ලේච්වර්ත් , එක්සත් රාජධානිය
2021-November

විශ්වයේ අවසාන නිම්තෙර
මගේ නැණැසට රැගෙන එන්නට
ජීවිතේ සැඩ තීර්ථය මැද
ඉසිඹුවක් නැති සෙනෙහසේ
රුවල් ලා මා මෙතෙර ගෙන ආ
ඔබේ පායුග සිඹින්නම්
ඇදුරුතුමියනි
ඔබේ පා යුග වඳින්නම්

යව්වනේ මල් වසන්තය එළැඹි
පෙම්හසුන් පොත් අතර සැඟවී
දොම්නසේ දාහයෙන් මැලවී
මියෙන සිත්මල් දොවා පණදී
දෑස් බැඳි කඩතුරා සිඳ නිති
ආදරේ රන්දියවරෙන් නැහැවූ
ඔබේ පායුග සිඹින්නම්
ඇදුරුතුමියෙනි
ඔබේ පායුග වඳින්නම්

මේඝයේ ගිගුරුම් හඬේ නොසැලී
විසල් රළරැළි බිඳෙන සිත් සයුරේ
කාලයේ වන වදුලු මැද අඳුරේ
ජීවිතේ නිම්හිම් සොයද්දී
ඈත තරු මංලකුණු පෙන්වූ
ඔබේ පායුග සිඹින්නම්
ඇදුරුතුමියෙනි
ඔබේ පායුග වඳින්නම්

– සිතුවම කිවිදුන් විසින්