ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අම්මා

අම්මා

තුසිතා සුරේකා - මීගමුව
2022-December

හිත තැලෙන තැන සුසුම් පොදි ලග නුබෙ සෙනෙහෙ මට මැවෙනවා
නුබ තරම් ප්‍රේමයේ රැගුමට සූරයෙක් නෑ දන්නවා
දූවිල්ල දහඩියද දුම් මුසු කිරි සුවදෙ හිත වෙලෙනවා
දෝර ගලනා අරුත ප්‍රේමයෙ නුබේ නාමයෙ තියෙනවා

නුබේ බත් පත අපි දැක්කෙ නෑ සගවාපු බව දන්නවා
කදුලු ගුලි නෙත් අගම ගිලලා හිනා වුන හැටි මැවෙනවා
අම්මගේ සෙනෙහසට සම කල හැකි දෙයක් ලොව හොයනවා
හිත බිදෙන හිත රිදෙන තැන් වල පිරිමදින සුව දැනෙනවා

දෑත ලය බැද මටත් නොකියම ගිය දවස සිහි මැවෙනවා
නුබව ගෙන ගිය මග තවම මට හීන් ඉකියක් ඇහෙනවා
නුබව තනි කර මලවුන්ගෙ මැද ආවාට හිත බනිනවා
කුඩා කාලේ වගේ එල්ලී නොගිය හේතුව හොයනවා

දෙසැම්බරයේ එකොලහට නුබෙ උපන් දිනයත් වැටෙනවා.
සුභ පැතුම් පෙම් හාදු ගුලි කර ස්වර්ගෙට මම එවනවා
නුබේ සෙනෙහේ දැවටි දැවැටී ආයෙ ඉන්නට පතනවා
ස්වර්ගයේ දොර මට ඇරේවිද කවද වේවිද හිතනවා.