ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය
ලන්ඩන් කවි 6වන වෙළුම
2021 අගෝස්තු කලාපය
එළියක් දෙන්න පන්දම අල්ලා දෙපස
වරුවක් ගියත් සිනහව මිස නැත වෙහෙස
පවසක් නොමැත දුටු විට හසරැල් සහස
බවයක් නෑර එමි දළදා හිමි පිණිස
සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna
පටුන
විල්සන් හෑගොඩ කවි -මගෙ කළු කෙල්ල
මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් විල්සන් හෑගොඩ සූරීන් හැඳින්වූවේ “පොදු ජනතාව වෙත ඡායාරූප ශිල්පය පිදූ කාව්‍යක්කාරයා” ලෙසිනි. ඡායාරූප ශිල්පියෙක් ලෙස ජාත්‍යන්තර කීර්තියක් දිනූ ඔහු 1935 දී අගනුවර තරුණ කවි සමාජය බිහි කිරීමෙහිලා පුරෝගාමීවූ පස්දෙනා ගෙන් අයෙකි. ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය පිහිටුවා ශ්‍රී ලාංකිකයනට නොමිලයේ ඡායාරූප ශිල්පය ඉගැන්වීමට මූලික වූ ඔහු ප්‍රකාශයට පත් කළ අම්බපාලී සහ මලක සුවඳ කාව්‍ය සංග්‍රහයන්හී පළවූ කවි එකතුවකි මේ.Shènyã Amarathůngé ගේ සුමධුර ගායනයෙන් ජනගත කල වගයි.
සුරලොව සුරසැප අතහැර මිහිබට
දඹදිව සුදොවුන් රජුහට පුතනුව
බිසවුන් මායා දේවිගෙ කුසතුල
පිළිසිඳ ගැනුනේ පින්සරු කුමරුන්
දසමස ගෙවලා සියපුතු ලැබුමට
මව්පියො දැකුමට දෙවිදහ යනමග
පෙරහැර සරුකල පිරිසද සමගම
දේවිය සපැමුණි ලුම්බිණි උයනට
සල්ගස අත්තක් පහතට නැමුවා
සල්මල් නෙළුමට දේවිට සිතුනා
නෙලමින් සිටියදි බිසවුන් සල්මල්
සලිතව මිහිකත පිළිගති කුමරුන්
වලඳා කිරිපිඩු සුජාතා දේවිගේ
තලියත් පාකර ගඟදිය ඉහලට
පරදා දසබල මරුවන් ගඟබඩ
ලැබුවා බුදුබව සඳනැගි යාමෙට
බෙදමින් දම්රස තුන්ලොව සැනසූ
පන්සාලිස් වසඅවසන එළඹුණු
වෙසක් පොහෝදින පුන්සඳ පෑයු
පිරිනිවුනා අපේ සම්බුදු සමිඳු........
කවිය බලන්න
වැස්ස
වැස්ස - ජපාන මහා කවි මසඔකා ෂිකි
අනුවාදය : උදයංග අමරසේකර - ප්‍රංශය
මස්සන්ගේ හිස්ගෙඩි මත
තම්මැට්ටම් වයයි
මොර සූරන
ගිම්හාන වැස්ස
මසඔකා ෂිකි (Masaoka Shiki, 1867-1902) නොහොත් මසඔකා නොබුරු යනු කීර්තිධර ජපාන කවියෙකි. ඔහු හයිකු කවියේ මහා ප්‍රාමාණිකයන් සිවුදෙනා අතරට ගැනෙයි. මේ කවියා හයිකු 25000ක් පමණ පබැඳ ඇතැයි කියැවේ. සම්ප්‍රදායික හයිකු කවියේ පැරණි මූලධර්ම පද්ධතියෙන් බැහැර නව මඟක් ගත් නිසා මසඔකා ෂිකි නුතන හයිකු කවියේ පියා ලෙස සැළකේ. ඉහත කවියට අදාළ මූලාශ්‍රය මෙසේ ය : HAIKU : ANTHOLOGIE DE LA POESIE JAPONAISE CLASSIQUE, PARIS GALLIMARD NRF , 1971, P. 78. සිතුවම පසිඳු ජපන් සිත්තරෙකු වන ඔහාරා කොසොන් (Ohara Koson,1877-1945) ගෙනි.
කවිය බලන්න
හිස් අහස
අහස මං වගෙයි මාත් ඒ් වගෙයි
ඇතිවිමක් නැතිවීමක් නැති අහසේ ඇති හිස් බව
නිම් හිම් නැත අකාලිකයි සනාතනයි
හිස් අවකාසෙන් මතුවෙන ඉර හඳ තරු
බැබළි බැබළි දිලිසෙනවා විටකදි නොපෙනී යනවා
ඒ් අනන්ත අවකාසෙන් මතුවුණු මා යම් දිනකදි
දැවැන්ත ඉර හද වාගෙම හිස් අවකාසෙම දියවී
අජරාමර බවට හැරී හිස් අවකාසෙම වෙනවා
ඒ් හිස්බවතුළ මතුවෙන සෑම දේම මායාවකි
ඇත්තක් වැනි නැත්තකි ඒ්
පරම ඇත්ත ඒ් නැත්තයි නිවන කියන්නෙත් ඊටයි
කවිය බලන්න
මව දඹදිව වන්දවන්නට නොහැකි වූ පුතෙකුගේ පශ්චාත්තාපය.
ඔෆිස් එකේ හැමදෙනාම
සතියට සැරයක් දෙවරක්
දඹදිව ගැනමයි කතාව
අම්මලා දඹදිව ගිය හැටි
අම්මලා දඹදිව යවන්න
තාත්තලා එක්කන් යනහැටි
ඒ විස්තර ගැනමයි කතාව
දඹදිව සංචාර ගැනයි
ඒවගේ මිල ගණන් ගැනයි
බුදුන් උපන් දේශය ගැන
මහ ඉහළින්මයි කතාව
මමත් ඉතින් කන්තෝරුවේ
මේ සේරම අහන් ඉඳලා
අතීතයට හිත යවනවා
දෙමව්පියන්ගේත් අපගේ
එහෙම හීන තියන්න ඇති
බුද්ධ ගයා දැක ගන්නට
අපට නොකියා හිතේ කොනක
තද කර ගෙන ඉන්නත් ඇති
දරුවන් හැටියට අපිටත්
ඒ දිනවල අඟහිඟ කම්
අතමිට සරු නෑ හරියට
සැබෑ කරන්නට හීනය
දෙමව්පියන් ගේ පිහිටෙන්
ලොකු තනතුරු හම්බ වෙලා
අතමිට යහමින් සරුවෙලා
උසස් තැනක ඉන්නා විට
අපේ අම්මලා අපිව දාලා
මේ ලෝකෙන් යන්න ගිහින්
කොහොමද අපි අම්මලාව
දඹදිව එක්කන් යන්නේ
ඒ අය ගිය ලෝකේ ඉඳන්
පින් එක් රැස් කරනවා ඇති
බුදුන් වැඩිය තැන් වඳින්න
ඉක්මනින්ම මතු දවසක
කවිය බලන්න
කුරුළු ඇසින් අතීතයට
බොහෝ කල් ගොස් මම
පැමිණියෙමි යළිත් ගම රට
නැග්ගෙමි මහගෙයි පිටුපස
තුඟු කඳු මුදුනට
දැකගනු රිසින්
හාත්පස දසුන් මන පිනවන.
ඔසවා බැලූ කල හිස
දුටුවෙමි මොනවට
සරදාකාසයේ පිහිනන
සුදු තිසර වලාකුළු රැස
සිඛි පිලක් සේ උඩින් වට
දේදුන්නක් ද ඒ මැද්දේ විය...
එසඳ දැනුණි මට
පිරී යන'යුරු මදින් මඳ
මේ සා කාලයක්
හිස්ව ගොස් තිබූ මා ළය.
අහස් නිල පාටින්ම
මා නෙතට සම්මුඛව
සිතිජ ඉම තැන තැන
මිහිදුමට දියව ශේෂවන
කඳු මුදුන් තිබුණි එක දෙක.
හරවා බැලූ සඳ
අනතුරුව හිස පහළට
දුටුවෙමි යටාවතේ
ඉර අව්ව තපිනා සපුන් වැනි
දුඹුරු පටු මාවත් ද
මරකතමිණි පැහැති කෙත්බිම ද
එබිම් කඩ මැද වීය
තවමත් නිරුපද්‍රිතව
සියවස් ගණනක් පටන්
හුදු ජන සරතැස නිවූ
ඒ ඉපැරැණි අම්බලම .
එසැණ සිහිවුණි මට
සොයාගත යුතු බව
අහස හා එදවස
පයුරුපාසන කළ
ඒ විසල් කුඹුක් ගස
අහා.....එය දිටිමි මම
කන්දෙ සිට බලන විට
කුඩාවී පෙනුණි එය
කෙන්දක් තරමට ම
එහෙත් නොදුටුවෙමි මම
එ ගස පාමුළ තිබූ
සඳක් සේ වටකුරු
ඒ කුඩා කුඹුකෙ ළිඳ
වීසිකොට සීතලම දිය ටික
ගණන් කරමින් තුනට
බියවී සීතට ගැහෙන
කුඩා මගෙ හිස මතට
"ආයුබෝ" කියා
පළමු වතුර වත්කරපු
අප්පච්චත් නෑ එතන........
කවිය බලන්න
අනේ කුමට පිපෙනවාද අහක බලන මල්
පිපෙන පිපෙන මල්- පිපී සැලෙන මල්
සුවඳ දිදී නටු අග සුළඟට නැළැවෙන මල්
බුදුන් පිදෙන මල්...
දොහොතට ගත් මල්-බුදු පතුල සිඹින මල්
සනහා සිත් මල් නිරතුරු හදේ නිදන මල්
මිලායාති මල්...
ගම සුපිපෙන මල්-හද කළඹන මල්
අනේ කුමට පිපෙනවා ද අහක බලන මල්
සිත රිදවන මල්...
වනස්පතිගෙ මල්-නෙත් නොගැටුණු මල්
පරිසර සුර දූතිකාව සිප සනහන මල්
වන තුළ පිපි මල්...
හිමව් වතක මල්-හිරුට හ`ඩන මල්
අරටු ගැසී ගිය නටු අග එතී මිදෙන මල්
සනසයි හිම මල්...
සුදෝ සුසුදු මල්-නමට පිපෙන මල්
හිරුට හොරෙන් සඳුට පිපී මියැදෙන සුදු මල්
එමල් කුමුදු මල්...
පිපෙනවා ලු මල්-ලොව සනහන මල්
අප නොදකින හරි ලස්සන දෙව්ලොව ඇති මල්
ඒ පරසතු මල්...
මගෙ හද තුළ සල්-කෝප රාගි මල්
ඉසිකෝ මෝ කෙළෙස් සපිරි ජවන්
සිතක මල්
බවුන් වඩන මල් ....!
කවිය බලන්න
සොහොයුරු ප්‍රේමය
උණුම උණු
ළපටිම ළපටි
රළුම රළු
මටසිළුටු ... සොයුරු පෙම
දෙනෙත තෙත් වූ
ඉකි බිඳ හැඬූ
තරහින් වෙලූ
නොදොඩා දෙඩූ ... සොයුරු පෙම
රළු පරළු වන්නම්
රැවුම් ගෙරවුම්
කෙළි කවට සරදම්
පළු පැලෙන බැණුම් කැන්දූ ... සොයුරු පෙම
කර වට අත යොමා
නලලට නලල තබා
ඇස් මත ඇස් හොවා
දිගු දිව කරකවා ... උසුලු පෑ සොයුරු පෙම
වයසින් මුහුකුරා
හද පතුල පීරා
හීනෙක නිදිකිරා
තෙපුලින් රැස් දරා ... තුරුල් වෙන සොයුරු පෙම
09/07/21
කවිය බලන්න
නෑගම් ඇවිදින් තංගච්චී
වට්ටි - පෙට්ටි ගෙනල්ල තල් හකුරු පිරිච්චී
දිගු - රතට - රතේ මිරිස් කරල් එහි ම වැවිච්චී
අපේකමට හැදුණු ලූණු “බොම්බෙ” නොවිච්චී
යාපනේ ඉඳන් නෑගම් ඇවිදින් තංගච්චී
මොට්ටු තියල කොන්ඩෙ ගොතල දිගට වැටිච්චී
දුර ඔට්ටු දුවල මට්ටු වෙන්න කකුල කැඩිච්චී
“කට්ටු” පුරල පියත් එක්ක රංඩු හැදිච්චී
අම්ම එක්ක තංගච්චී මෙහෙට පලච්චී
ලූනු - මිරිස් - හාල්මැස්සො කොට්ටුකෙලෙන්ගුත් ගෙනා
ඉට්ලි - වඩේ - ඉස්සො දාල කෑම වට්ටි බැඳ සිනා
දොලක් මවා - අකුරුවලට අමුණ - අමුණ දුන් මනා
සිලක් වෙලා හද පහනින් දෙවුන්දරට ආ නියා
“යාල්” කියනු වීණාවට වාදකයා “පාණම්” වෙ ය
“යාල් පානමේ” සිට තංගච්චි ආවෙ දෙවුන්දරට
“ගුත්තිල - මූසිල” වාදය එහෙත් - මෙහෙත් තිබුණු බවට
“ඉතිහාසයෙ” තිබුණත් මිතුදමක නැහැනෙ ඒ සැක-බිය
තංගච්චී නංගියෙ මේ තරමට ලොකු තෑගි ගොඩක්
දුකයි මගේ හද නුඹ ළඟ වෙච්චි මහන්සියට හුඟක්
සැනසෙච්චි අප හැමත් දෝරෙ ගලා සෙනෙහසේ ගඟක්
හිච්චි නගා ආවැයි ආදරෙත් අරන් බොහො ම දුරක්
කොළොම්පුරේ ඉඳන් රුහුණු කුමාරියේ මාතරට ම
තල්අරණේ “අඩෝවැඩිය” කොයි-පොල්අරණට ගියා ම
සම්බෝලෙයි ඇඹුල්තියල් සමඟ සිහල බත් තිබුණ ම
රස දැනේ ද “පේදුරුතුඩු” – “දෙවුන්දරින්” බත් කෑව ම
පෑනෙ මිතුරුකම හන්දා නොදැක කල්පයක් වුණාට
කාලෙ හතුරුකම හන්දා යන - එන මං නැති වුණාට
තාන-මාන නැති කරලා සෙනෙහස මෙහි ගොඩ වුණාට
ඊටත් වැඩියෙන් කැමතියි දෙවුන්දර දි හමු වුණාට
කැවුම් - කොකිස් - මුං - අලුවා-
දෝසි-දොදොල් රස තියලා
පොල්රුප්පෙට සමු දෙන දා-
මං දෙන්නං නම තියලා
මෙහෙට නාපු තාත්ත දැක-
බලා ගන්න කල් තියලා
අප එනවා නෑගම් පේදුරු-
තුඩුවට පෙම් බැඳලා!
1.8.21
කවිය බලන්න
සඳු එපා මගෙ ලොවට
මැවු සිහින පොද තාම තනි රකියි මගෙ හදට
ළඟ දැවටි කියු කතා සිහිව එයි දැනි පෙමට
දින ගණන් මඟ බලා සිටිමි එන තුරු පැලට
යලි දකින තුරු ඔයා මොටද පුන් සඳ මෙමටබැඳි සෙනෙහෙ බොඳ නොවෙයි සතුටකිය ලන්වීම
යලි යලිත් දකින්නට මඟ බලයි තුන්යාම
නුඹ එදා මගෙ හිතත් රැගෙන ගිය හින්දාම
ළය දවයි දරාගනු හැකිද මෙම වෙන්වීම
මටම පමණක් උරුම බවකි හද කොඳුරන්නෙ
උණු කඳුළු බිඳු ඔහේ නෙතු කොනෙහි නළියන්නෙ
අද හෙටම එයි කියා දුක තුනී කරගන්නෙ
මදනලක ඔතා එව් හාදුවයි එයදන්නෙ
ඉන්දියාවයි - කොරෝනාවයි
ඉන්දියාවේ කොරෝනා මරණ 407132 (2021-06-07) දිනට
ඉනදීය දේව මණ්ඩලයට “කොරෝනා දේවතාවියත්”
Corona Devi’: Indian priests pray for mercy from COVID ‘goddess’
Two ‘Corona Devi’ idols set up in southern city of Coimbatore in Tamil Nadu state as
the country battles a new infection surge.
In this picture taken on May 19, 2021, a priest performs prayer ritual in front of
an idol locally known as 'Corona Devi', at Kamatchipuri Adhinam
temple in Coimbatore [AFP] 27 May 2021
කවිය බලන්න
මිතුරුදමකට
දනගත්තා ඔබ එනබව
මා ඉන්නා පුරවරයට
අපෙ මිතුරෙක් මට කීවා
දවස් ගනනකට ඉස්සර
මගේ දුකේදි ඔබ ඇඩුවා
ඔබෙ දුකේදි මම සිටියා
එක බත්පත දෙකට බෙදා
අපි සතුටින් සිනාසුනා
පෙර දිනයක අපෙ මිතුදම
මගේ හිතේ ඇදිගියා
ඔබ දකින්න හිනාවෙන්න
ආසාවක් ඇතිවූවා
දින ගණනක් තිස්සේ මම
බලා සිටියා දෑස් අයා
මටත් කියා එවයි කියා
මේ පැත්තේ එනවා කියා
නොලැබෙන කියමන් ගැන මා
තව කුමකට වැලපෙන්නද
සියල්ල අනියත ලෝකේ
මිතුරු දමත් සදාකල්ද
කවිය බලන්න
මහ මඟ බුදු රුව
දෙනෝ දාහක් නිරන්තරේ
පියමං කරනා මහමඟ අයිනේ
පතල දයා ගඟ උතුරා හැලෙනා
හිමි ඔබ දකිනෙමි උදේ හවා
මා හද තුල වූ
ඔබ ගේ පිළිරුව
බිඳ හෙලුවා මම මාන සිතින්
අව් වැසි උසුලා
නොසැලී එක සේ
ලෝ තල අඳුරේ පුරහඳ සේ
හිඳිනා හිමි ගේ නෑ වෙනසක්
ගලනා කරුණා මෙත් දිය දහරින්
නිවේ නිවේ හද නිවේ නිවේ
ගිනි ඇවිලුන හිස කෙලෙස් මලින්
සැනහී සුවපත් වේ ද ඉතින්
1973
තරුණ විය මානයෙන් බුදුන්ටත් එරෙහිව
කැරලි ගසන මනසින් සිටි මම තුන්මුල්ලේ බුදු රුව ලඟින්
සරසවිය දෙසට හැරුනේ දේශන සඳහා යාමට ය
කවිය බලන්න
ජීවිතයෙ කඩඉමක සිට....
උගත්,නූගත්,උස්,පහත් කම් නොමැති ..
ජීවිතයෙ එක්තරා කඩඉමක ..
හිරවෙලා ,කොටුවෙලා දිවි ගෙවන ...
අවිනිශ්චිත මොහොතක අද වගේ..
නිමේෂයකට හිතමු ඔබ,මම..
අනියත,නොතිර බව ජීවිතයෙ ....!
පොදි බැඳන්, වස්තු සම්භාර..
වැජඹෙමින් ඉහළ තලවල ..
හැකිවේද දිනන්නට ජීවිතය ...!
මරණය පෙනෙන තෙක් මානයේ ..
රැගෙන යා හැකිවේද කිසිවක්..?
වාද ,භේද ,වෛර පසෙක ලා..
දරාගෙන දෝතින් මිනිස්කම ..
හැකිනම් හිනැහෙන්න සෙනෙහෙන්..
නුඹට ..මට...!
දිනනවා අපි ජීවිතය සත්තයි ..!!
නිරාමිස,අමිල,සතුටක සුව පහස..
දැනේවි නුඹට මට එදිනට ..
තියේවි බොහෝ දේ අපට...
රැගෙන යන්නට නිසැකවම ..
මරණය හා සමඟ සතුටින් ..!
කවිය බලන්න
අප්‍රමේය (මිනිසෙකු) මිතුරෙකු ගේ නික්ම යාම
(78 වියේ දී, 9 වන දින 2021 ජූලි )
"නභජේ පාපකෙ මිත්තේ
නභජේ පුරිසාධමේ
භජේත මිත්තේ කල්‍යාණේ
භජේත පුරිසුත්ත මේ"
"නෑවිත් යන්ට බැරිය
නොගොස් එන්ට බැරිය"
-දෙවොන්දරා සං
බකමූනෙකු 'හූම් ' ගෑ මහ රෑ යාමේ
ටෙලපෝනය හැඬුවා නිදි යහන ඉමේ
නිදි ගැට කඩ කඩා ගහ ගත්තාම කනේ
නුඹ අප හැර දමා යන්න ම ගොස් තිබුණේ
පිහිටක් ඉල්ලුව ද නැතුවද නොහිතා ම
පිහිටට අනුන්ගේ දුක ගෙන කයට තම
පෙරමුණ ගත්තු හැටි සිහිවන හැම විටම
වැළපෙයි හිඩැස යළි නුඹ නොම එන බැවින
නිලදරු රාජ සේවය උර තබා ගෙන
කළ රන් සේවයකි පඩිපත විදාරණ
ලොකු පුටු වලට ලඹ දුන් තන්වැසි නුවණ
ඒ අය දනී නුඹෙ යහගුණ කඳ වටින
තුට කළ මිහිරි ඇසි දිසි සැමරුම් ගානේ
තුරුණේ වසත් කල ගෙවු හැටි හන්තානේ
සිහිවන විට ගලා එන හදමඬල කොනේ
කඳුළක ලුණු ගතිය අප නෙතු අගට දැනේ
පසුපස හඹා යන රුපියල් සත අස්සේ
මනු ගුණ පහව යනු දැන ජන ගණ බිස්සේ
සිත ගත පුරා දැල්වෙන පණනල අස්සේ
මේ නය ඇසුරෙනු යි නුඹ කහවණු ඉස්සේ
නිවහන බැඳුම් කොටු කර තහනමක ඉරෙන්
මර බිය වෙළී ඇත මුළු රට වසංගතෙන්
ආවත් බැමි කඩාගෙන නුඹ ළඟට දුකින්
"පිස්සු ද මචං " පෙට්ටියෙ හිඳ කියයි ඉතින්
මොළකැටි එකම දූ මරු තුරුළට යාම
බිරිඳත් තුරුණු පුතු අකලේ මියැදීම
ඉවසා දරා නුඹ දිවි ගෙව් හැටි කීම
සමවෙයි ඉකුත් වතකට මුනි දෙසු දහම
දුක සැප කිරා හද ගැඹරේ පතුල මැන
දමනය කර දිවිගෙවූ මුත් සලිත මන
සෙනෙහස සතුට දුන් අඹු දරු අහිමි වුණ
නුඹව ද 'පටාචාරා' වෙස්ගත් මහණ
හවුලක මිතුරු දම බැඳගත් අත නෑර
සොඳුරුයි රස ආරකට බඳු 'ලක් පොහොර'
අලෙවිය වෙළුණු, නොවෙළුණු මනු ගුණෙහි බර
කෙලෙසක දරා ගන්නේ නුඹ නැති අඳුර
"නෑවිත් යන්ට බැරිබව හොඳහැටි දනිමී
නො ගොසින් එන්නටත් බැරි ඇති තතු දනිමී
නුඹලා සසර මග හමුවන බව දනිමී"
'චුති චිත්තය නුඹේ එයදැයි සැක කරමී'
2021/07/10
කවිය බලන්න
ඔන්ලයින් කඳුළු
කැලේ අද්දර පාළු නිවෙසක
පුංචි උන්ගේ සෝ සුසුම් මැද
කඳුළු බොයි ඈ ලොවට රහසේ
විසඳුමක් නෑ පේන මානෙක
හඬන්නට තතු මා ඇසූ කල
මවා ගත්තත් සිනා මුවඟට
හදේ පතුලේ තෙරපෙනා දුක
කඳුළු අස්සෙන් ගලයි හෙමිහිට
තනියා හෙමිහිට ගමට එනකොට
අඳුර කැපුවේ හඳයි හවහට
කොහෙද සිගිනොල් එහෙව් ගමකට
පුංචි උන් කොහෙ ඉගෙන ගන්ටද
උරුම කරුමය අතේ ගුලිකොට
ඉපදුනත් මගෙ කුසේ කරුමෙට
මේ නරාවල උරුමෙ කියලා
කොහොම මං හිත හදා ගන්ටද
එකම වයසැති එකම ලේ ඇති
පුංචි පැටවුන් හැමතැනම ඇති
ගම් නගර නැත දේශ සීමා
පුංචි උන්ගේ හීන බෝ ඇති
කවිය බලන්න
සඟමිත් සමිතියට ඔවදන්
සාහිත සයුර කළඹා මුතු පබළු ගරා
කවියන් සිටිති කවිලොව මිණි ඔටුණු දරා
නායක සමිඳු වැඩසිටි මුලසුනෙහි අරා
නමා සිරස වඳිනෙමි හද බැතින් පුරා
අදහස් බිඳක් සැම ඉදිරියෙ තැබීමට
අවසරපතා නැගිටිමි එය ගැයීමට
ඔවා මල් මිටක් සැමහට ඉසීමට
අදහස් පෙළක් නැග ආවා මෙතැන්සිට
සමිඳුන් දෙන ඔවා හැමවිට සවන් යොමා
එක්සිත් සමග තිබුනොත් හොඳ ගුණදාමා
මෙත්සිත වඩා හැමදෙන බැඳ සොයුරු පෙමා
දෙවියොත් වඳී අද ඔබලට සිරස නමා
කරදර ඇතත් ඔබ යන එන සෑම අත
වල්මත්වෙලා දුවනට ඉඩනොදෙනු සිත
තුන්දොර රැකගැනුම දහමෙහි දෙසා ඇත
විසඳාගන්ට ඇත ලැබිලා සියළු නෙත
සමාජයේ හොඳවැඩ කරනා අයට
හතරවටින් ගල්මුල් එනවා එමට
පසුබස්නට එපා බියගුල්ලන් ලෙසට
අයුක්තියට නොනැමී යනු ඉදිරියට
මේ යන ගමන නැත වරදින්නේ සැමට
බටහිර සිරිත් හොඳ දේ පමණක් ගන්ට
විළිබිය රැකෙන ඇඳුමින් ගත සරසන්ට
සිහළ සිරිත් හිස මුදුනින් පිළිගන්ට
සඟමිත් දියණිවරු එක්වී තොසිනි අද
පෙන්වා බළය කරමින් සමගියේ නඳ
යදමක පුරුක් සේ එක්කර තදින් බැඳ
සැමදා මෙලෙස සමිතිය බබළවමු සොඳ
21.12.2013
(සුධර්මා කුමාරිහාමි කිවිඳිය වසර 93 ක් ආයු වළඳා පසුගිය දා
දිවියෙන් සමු ගත්තාය. එතුමියට නිවන් සුව අත්වේවා! යි අපි
ප්‍රර්ථනා කරමු. ඇය මෙම කවි සරණියට ලියන මාවැලි
කුලතුංග කිවිඳියගේ ආදරණීය මාතාවයි. )
කවිය බලන්න
කියා ලියා තියා සුද්දා යන්න ගියා
හැකි හැම දේ මිට මොලවන් ෂෝක් කියා
ගෙනයනු බැරි රන් පොලොවක උරුම ලියා
හොඳයි නොහොද තව දේවල් දමා තියා
ඔන්න කියා නිදහස දී සුද්දා ගියා
මේක අපේ රට රැකගමු අපිම කියා
කළ යුතු හැටි නීති රීති ඇතුව ලියා
අරක මේක නොයෙක් බේද පසෙක තියා
මැතිසබේට මහත්වරුන් එදා ගියා
අපෙන් රටට යමක් දෙන්න ඕනා කියා
තමන් සතුව තිබු වතුපිටි දුන්නා ලියා
දැය දියුණට වැඩ කරලා නමත් තියා
වැදගත් ලෙස ඒ මහතුන් එලොව ගියා
කල් යනකොට අරක මේක දෙනවා කියා
යන්න දුන්නා වෙනස් කරලා නීති ලියා
මාරු වෙවී නොයෙක් වරේ ඡන්ද තියා
සුක්කානම අය නුසුදුසු අතට ගියා
අපිට මොකද රටට මොකක් වුණත් කියා
පුළුවන් හැම දේ ඒ අය ගත්තා ලියා
ණය ගත්තා ලොවෙන්ම රට උගසෙ තියා
පිරිහී දින දින විනාසෙ වෙතට ගියා
මුන්ට දුන්නොතින් මේ රට කනවා කියා
එකල හිටිය ආණ්ඩුකරු තිබුණා ලියා
හැඳින හිටිය සිදුවන දේ කලක් තියා
කියා ලියා තියා සුද්දා යන්න ගියා
කවිය බලන්න
වෘක්ෂ සිතිවිලි ...!
වනේ වසන හතුරෙකුටත්
ඒ වගේ විපත්...
අනේ නොවේවා පතනෙමි,
රිදෙනවා හදත්...
සෙනේ පපා ලඟින්ම හිටි
යාලුවෝ අදත්...
මනේ ඇඳී යනවා මගෙ,
රිදවලා හිතත්...
කඳ බඩ මහතට තිබුණා
කියා ඒ අයත්...
ඉඳ හිට බැලුවේ මා දෙස
කරලනේ පහත්...
හඳ අල්ලන්නට තරමට
උසගියේ නමුත්...
විඳවලා කැපී මුලින්ම ,
යැවුනෙ දී දුකත් ...
වියපත් වී වාරු නැතිව
ඇද වැටී නමුත්...
දිය වන කඳ පොලවට පස් වන
බැව්ද දැනත්...
බිය නැතිවම ඒ සොබාව
දර්මයම වගත්...
නියම ලෙසින් දැන ගතහොත්
එයමවේ සැපත්...
කවිය බලන්න
දියගොස දොස් සුන් කර.....!
ගෙත්තම් කල පෙම ,ආදරයෙන් තුමු , මනමත්
කර සතුටින්.....!
සිත්තම් ඇඳි ලෙද, රූ අලවා, දියගොස දොස්,
සුන් කරමින්.....!
වත්තම් කරදුන් ,සොඳුරු සිරින්පිරි 'පන්සැරලිය' වඩිමින්....!
පින්කම් සරුවිය ,යෙහෙන් නිමාකර ,සිත සොඳ කරුණාවෙන්.....!
සැපතොස වඩවන ,සැරසිලි නොමවන, බස් අසමින් පෙර මෙන් සොඳවා.....!
තිරසර සිත් ඇති, තරකර දෙසිතම ,පෙම්බර සිත් සතොසින් නලවා....!
මායම් පිරියත ,නිති රැවටිලි කර ,මිලිනව ගිය පැතුමින් පුරවා....!
සව් බරණින් සැරසීගත්, දෙව් රුව, 'අදිසි රුවකි' රැය නිදි වැරුවා....!
සදා විමන් දොර , සුදුවැලිපිට රැඳි මගෙහි , සුමුදු පිවිතුර බන්ඳා....!
පුදා මලින් හද , පුදසුන සරසා, පර මල් මලසුන බිම රන්ඳා.......!
යොදා සිනිදු තිර, වැසූ දෙවොල් දොර ,වසා දමා එළිපිට කැන්දා....!
මෙදා සිතින් කල , 'අකුසල් වැපුරුම ', අස්වනු ගොඩ නොගෙනම සින්දා.....!
2021.07.09.
කවිය බලන්න
පෙරහරක පෙළහර
පෙරහරක පෙළහර - වෛද්‍ය මනෝරි ගමගේ
හඬයි කස පෙරමුණේ පෙරහර
හදයි මගතොට එළිය පැහැසර
නැගෙයි එළිරැස අඳුර මගහැර
දැනෙයි පායා විලස දිනකර
නඟන සේ ජාතියක අඬහැර
ඇඳෙන සේ වැහි මැදක විදුසර
පාන ඒ රැඟුමකින් පෙළහර
එළි නොවෙද මුලු ඇසල පෙරහැර
නාදයට බෙර වැයෙන තාලය
පාවඩය මත තැබෙන පාදය
රාව නංවන සාදු නාදය
සියලු සතහට ගෙනේ ප්‍රීතිය
රබන් අතිනත කර කැවෙන්නේ
පංතේරු හඬ පැතිර එන්නේ
මොණර නැටුමට සිත ඇදෙන්නේ
ලී කෙලිය නෙත කන පිනන්නේ
වඩමන කරඬු දළඳා හිමි වැඩ වසන
හිමිහිට ඇදෙන ඇත් දෑලේ රුව වරුණ
නිලමේ පිනන නෙත් පින්බර දිය වඩන
එනතුරු සැවොම නෙත් දල්වා මග බලන
සිටුවා දිනක කප් ඇරඹෙන කතාවක්
කපවා කරන දිය දිනකදි නිමාවක්
අඳිනා හදක නොම අමතක රටාවක්
වළකා තිබේ නැරඹුම තව වතාවක්
කවිය බලන්න
නොදුටුවෙමි කිසිදා
නොදුටුවෙමි කිසිදා
මම නුඹ
නමුදු මම දනිමි නුඹ
මගේ සිත බව
මතක ඇති දිනයෙ සිට
මිය ඇදෙන දින තෙක්ම
නුඹ ඉන්නේ මා ළගය
නෑ කිසිත් වෙනසක්
ඉසිකෝ මානයන්
ජීවිතය පුරාම
මට කියා දුන්නෙත්
රැගෙන ආවෙත් නුඹය
විටෙක සොදුරු සිතිවිලි මවන
විටෙක විෂඝෝර සර්පයෙකු මෙන් ය
ඉර මෙන් ගිණියම් ය එසැනින් සදමෙන් සිසිලසය
සැම විටම නුඹ
තවත් මිනිසෙකු
මගෙ හද තුල මවන්නේ
මගේ රැකවරණයටය
නුඹ හරිම පුදුමය
පුදුමෙනුත් පුදුමය...
කවිය බලන්න
පාසල් මිතුදමක්
නිහඬව පංතියේ පෙර පස හිඳ ගන්නා
සැමදා එකම කොට කලිසම හැඳ උන්නා
සැම්සන් මදෙස හැරෙමින් මදහස පෙන්නා
බැලුවෙන් මිතුරුවී කුලුපග වුනි දෙන්නා
ගියත් ගමට තවමත් නුඹ නැහැ ආයේ
පාළුව දැනී යලි යලි මට සිහි වූයේ
කාමර ගාස්තුව දෙන්නත් නැහැ කීයේ
රුපියල් පනහකුත් ඉල්ලූ වග සිහිවේ
දින සති ගතවුවත් මගෙ සිත තුළට වැද
නුඹ ඉරි පනිනවා දවසම දෙමින් වද
දිරි ගෙන දිනක් නුඹ ගෙදරට යන්න සිත
තරයේ ගතිමි සිරිබෝ මගෙ මිතු සමග
බසයේ නැගී මග දුර ගෙවලා සවස
අප පා ගමන් ගමන් ගොස් සැතපුම් ගනන් දුර
අවසන වැවක් පසු කර ගොස් ගැමි ළඳක
විමසුවෙ නුඹේ නම් ගම් කියලා ඇයට
නුඹේ නම ඇසු සැණින් දෑතම තබා හිස
ගෙදරට යන පාර කීයේ දුකින් බර
පිය නගනා විටදි අඩි පාරේ නිබඳ
දැක මැටි ගැසූ පැල මා නෙත් කළේ බොඳ
ගෙපිළට ගොඩවෙලා ඒ ගතවූ මොහොතේ
ඉකිගසමින් ඇයව අප තුරුලට ගත්තේ
වේවැල් කැඩුනු පුටුවේ මා ඉඳගත්තේ
නුඹ වැලළූ සොහොන දිස්වුනි පිටිපස්සේ
ඇඳිරිය ගලා එද්දී ඇය ගසා ගොත
කියනා වදන් හඳුනා ගත නොහී මට
වැව මැද තිබී නුඹ මළ කඳ ගෙනා වග
ඇසුනත් සිතේ ගිළුනිද දිවි පිදූවේද
කවිය බලන්න
රේල් පාර මමයි පහස විඳින උඩරට මැණිකෙ ගේ
රේල් පාර මමයි
පහස විඳින උඩරට මැණිකෙ ගේ
ඇගෙ ගමන හරි අගේ
නෙත් කොණින් බලා
පිටුපා යයි රුහුණු කුමාරී
අත්වනා සමු ගනිමි
රතු එළි වැටට මුවාවී
පිච්ච මල් ඉසීවි යාල්දේවි
සෙමින් සිනාසී
කොච්චරකල් සිටියත් ඈ
අහලකට නොඒවී
ගායනය; විශාරද එඩ්වඩ් ජයකොඩි
සංගීතය; ආචාර්ය රෝහණ වීරසිංහ
(නුදුරේ දී නිකුත් වීමට නියමිතයි)
කවිය බලන්න
මගෙ කළු කෙල්ල
හමුවන නොයෙක් දේ සඟවා පපුව මැද
පෙන්වයි නැවත එහි තොරතුරු අසල හිඳ
මට ඔබ නැතිව ජීවත්විය නොහැක ලඳ
ඔබගේ ඇසුර ඉහළම සොම්නසකි අද
බොරු කළ නොහැක දැක ගත්දේ ඔබගෙ නෙතේ
සටහන පැහැදිළිව පෙන්වයි පුරුදු පතේ
එල්ලී මගේ උරපිට පා නඟන අතේ
ලක්දිව පුරා අපි ඇවිදිමු බොළඳ කතේ
අනුරාපුරේ ගල් කණුවක් අතර වැටී
පපුවට තුරුළු වී නිමවන තුරුම පටී
රන්මැලි සෑය පැත්තට ඇහැ ගහපු හැටී
අමතක නොවන්නට මගෙ මතකයෙහි සීටී
දළදා මැදුර ළඟ බිහිදොර ඉදිරි පිට
පියකරු දැකුම දැක ගන්නට තුරුළු කොට
මා ඔබ ඇහේ පිය පට කිති කවන විට
කෙඳිරූ අයුරු මතකද හුරතලිය තිට
මගෙ හිතවතුන් හට මා තරමටම සෙනේ
දක්වයි ඔබත් නිතරම ඇහැ ගැසුණු තැනේ
කළු කෙල්ලකට මේ තරමට කෙළෙහි ගුණේ
මට පුදුමයක් මෙනි කොහොමද පුරුදු වුණේ
බිහිසුණු දැකුම් දුටු විට බිය නොගෙන ළෙහී
පවසයි දුටුව ලෙස මුළු තොරතුරම එහී
පින්කම් පොළද ඉරිදා පොළ සිපිරි ගෙහී
වෙනසක් නොමැති ඔබ නංවයි සිනහ වැසී
මල්වතු උයන් වතු මැද ගං ඉවුරු වටේ
මගතොට ගෙදර දොර ඔබ මා සමඟ ගැටේ
මායා සිහින මේ ලස්සන සිහල රටේ
දුටුවිට පලිඟු ඇස තුළ ඉඟි විදුලි කෙටේ
ඇස කිති කවන විටදී පෙම් සහරාව
නංවන 'කරක්' යනුවෙන් ඉමිහිරි රාව
මගෙ කළු කෙල්ල කවුරුද මේ මිහිරාව
අනිකක් නොවේ මා අත ඇති කැමරාව
කවිය බලන්න
අපූරු දඬුවම
හොදි, ඉඳුල් ගෑවුනු, ලිපේ
දැලි පාට රෙද්දෙන් ම පිහිදලා
සබන් දාලා අත හේදුවේ
ඒ කාලෙ කොහෙද "කිචන් ටවල්ස්"
තිබුනත් අත්පිස්නාවක් මේසයේ
ඉඳ හිට දිය පොදක් දැකපු,
පුරුද්දක් වුනා පිසින්නට
දෑත දොර රෙද්දෙන්
ඒ කාලෙ කොහෙද "පේපර් සර්වියට්"
හපුටු ලේන්සු හෝදලා
තුනට හතරට නවලා
ආයෙමත් පාවිච්චි කලා කාලය ක්
ඒ කාලෙ කොහෙද " ෆේස් වයිප්ස්"
කොච්චර (නො)දියුණු ද මිනිස්සු
වැසිකිළි ගිහින් හෝදන්න තරම්
ඒ කාලෙ කොහෙද "ටොයිලට් පේපර්ස්"
ඔය තාලෙට (වි)පරිනාමය වෙච්ච
"සින්ග්ල් යූස් ඩිස්පොසිබ්ල්" පරපුරට
ලැබුනු අපූරු තෑග්ගක්
ඇල්කොහොල් පෙඟිච්ච "හෑන්ඩ්ස් වයිප්ස්"
වේලිලා අත හමයන්න!
මේ කාලෙ කොහෙද වෙලාවක්
සබන් දාල අත් හෝදන්න ???
July.2021
කවිය බලන්න
වෘකයන් අතර නග්නව
බුකන්වල්ඩ් මරු භූමියේ
මාරක විදුලි වැට අතරින්
කුඩා පාද තබමින් යන
මිනිස් දරු පැටව මේ අසව
මනුෂ්‍යත්වය පහ කළ
ඒ සාපලත් කාලයේ
යුදෙව්වෙකු වීම නිසා
මරණයේ ඉරණම් ලැබූ
මිලියන ගනනක් අතර
නුඹද එක් අසරණ වූ ජීවියෙකි
ජැන්කොව්ස්කිගේ සූට්කේසය
තම මුළු විශ්වය කරගත්
කුඩා මිනිස ගුලිවී නිදනු
කිසි හඞක් නොනගනු
වටේටම ඉව කර කර යන
එස් එස් වෘකයන් ගෙන්
බේරී ජීවත්වී ඉන්නට නම්
නුඹගේ මව හා පියා
සොයුරු සොහොයුරියන්
ජීවිත වලට සමුදී
දුමක් වී චිමිනිය තුලින්
ගිය අයුරු නොදුටුවත්
හුදකලා වූ මේ ලෝකයේ
නුඹට සෙවන දෙන්නට
නුඹ වැනිම අසරණ වූ
බඩසයින් පෙලෙන
මිනිසුන් ස්වල්පයක්
සිටින බව දන්නේද
වධයට ලක් කළත්
කිසිවෙකු හෙළි නොකලේය
නුඹව සැඟවූ ස්ථානය
මේ බුකන්වල්ඩ් මරු භූමියේ
තෝරාගති ඔවුන් මරණය
පුද කොට නුඹට ජීවිතය
යම් දිනෙක අනාගතයේ
මිනිසා මිනිසාට වෛර කරන
මිනිසා මිනිසා මරා දමන
වියරු භීම කාලය අවසන් වූ දිනයක
පා තබනු පුත නිදහස වෙත
නුඹගේ කුඩා පාද තබමින්
කවිය බලන්න
Hiroshima
Dawn breaks in the land of the rising sun
A nation awakes, blind to the horror yet to come
This lush, green and lovely city where the Sakura blooms,
soon wreathed in flame, spewing black smoke fumes.
That beautiful summer morning: sixth August nineteen forty-five.
Flesh hanging loose, like a people cursed,
Driven to sewers to quench their thirst,
Soot and grit rose with radiation high,
“Black rain” from hell poured down from the sky.
Smoke obscuring sun: sixth August nineteen forty-five.
A mushroom cloud engulfed the city,
The river running red with human debris.
Babes in arms, students in uni,
All extinguished in a moment’s fury,
Millions of lives lost: sixth August nineteen forty-five.
A wristwatch here, a tricycle there
Charred mementoes cherished with care,
Now, decades on, the effects still hard to bear
“Never to be forgotten”; the message is clear.
The relics of that day: sixth August nineteen forty-five.
This eternal flame will waver never,
Till nuclear weapons are banished forever
Let all men learn the lesson here told,
How weapons within seconds strike bodies cold.
Violence without measure: sixth August nineteen forty-five.
The Western powers should bow with shame,
For toying with fate; playing that divine game,
What right had they to inflict upon a brother
An atrocity so great it made the world shudder?
Men playing God: sixth August nineteen forty-five.
Emotions high; I could hardly bear
To those lives lost; a silent prayer,
“Sayonara” - as I take my leave
Of generations who continue to grieve.
That tragic day: sixth August nineteen forty-five.
හිරෝශීමා - වෛද්‍ය රසීකා ජයතුංග - එක්සත් රාජධානිය
ලොව වෙන කාටත් පළමුව හිරු නගිනා ජපන් රටේ
අරුණ රැසින් පිබිදී ගත්, පාසැල් යන ළපටි ළමුන්
මව් තුරුලේ සැනසීලා, කිරි උරනා අත දරුවන්
එක මොහොතින් විනාශ විය
සකුරා මල් පිපෙන රටේ, හය වෙනිදා නිකිණි මසේ
හතුවක් වැනි වලාකුලක් , අඟුරු පිරුන කළු වැස්සක්
දැවෙන බුරන සැර ගින්නක්, ගලා හැලෙන ලේ සයුරක්
ජීවිත හැම බිලි ගැන්මක්, නොමැකෙන ලෙස අපේ සිතේ
සිතුවම් වී ඇදී තිබේ
සකුරා මල් පිපෙන රටේ, හය වෙනිදා නිකිණි මසේ
හම, මස්, ඇට කඩා හැලෙන, ඉවසුම් නැති වේදනාව
පිපාසාව සංසිදවන, දිය බිදකුදු නැත සොයන්න
වැසිකිලි වල ජල පානය, වෙත රොක්වුනි හැකි උදවිය
සකුරා මල් පිපෙන රටේ, හය වෙනිදා නිකිණි මසේ
අදහන්නට නොහැකි දරුණු, ඉවසන්නට නොහැකි කරුණු
උහුලන්නට නොහැකි කදුළු,සිතා ගන්න නොහැකි අඳුරු
උදා උනේ රටට සොදුරු
සකුරා මල් පිපෙන රටේ, හය වෙනිදා නිකිණි මසේ
දහසක් ජීවිත අදහස්, මොහොතින් සුනු විසුනු උනේ
බටහිර බලයට මේ ලෙස, සහෝදරයො වනසන්නට
දේව බලය දුන්නෙ කවුද?
ලෝකයාට මේ පාඩම, සදහට වෙන් නැති අමතක
සකුරා මල් පිපෙන රටේ, හය වෙනිදා නිකිණි මසේ
නොසැලෙන ඒ පහන් එළිය,ලොව ආයුද තහනම තෙක්
සදාකල්හි දැල්වෙයි එහි.
වසර ගනන් විදවන මේ, වැසියන් ගෙන් මම සමුගමි.
කදුලින් බර හදවතකින්, සයොනාරා මම පැතුවෙමි.
සකුරා මල් පිපෙන රටේ, හය වෙනිදා නිකිණි මසේ
කවිය බලන්න
නමක් දෙන්න මා සුමිතුර
චූන් වෙලා පාන් බුදින
පීකරයෙන් මාලු කියන
වස විස දා කෑම කවන
ගොවි මහතුන් පාරෙ නිදන
අරුමෝසම් සමාජයට
නමක් දෙන්න මා සුමිතුර
උගතුන් මැලි වෙලා හිදින
ගොම රිටි මතු වී උඩ එන
දිය රෙද්දෙන් බෙල්ල කපල
සිනා සිසී මුණ පොවන
මිනිසුන්ටත් නමක් දෙන්න
එන්න පෙරට මා සුමිතුර
යට ගස් තල තලා නටන
හොරෙන්ම අතු කඩා දමන
වියලි පොළව දෙසම බලා
සැනසෙන මහ ගස් වලටත්
කදුලු සලන පැලවලටත්
නමක් දෙන්න එන්න මිතුර
කෝප දැල්ලෙ ගිණි පන්දම්
දිය යට අවුළුවා නටන
රැස් කරමින් උගුල් අවුල්
වටු දැල් කප කපා දමන
වැද්දො ඉන්න සමාජයට
නමක් තියේවිද සුමිතුර
කොසොල් රජුන් දුටුව සිහින
දෙවිදත් නොදුටුව මොක්පුර
මනුස්සකම් මැරී වැටෙන
වල් බිහි වුන කැලෑ රොදක්
කවි පිහියෙන් කැපුව කියා
සැනසුම ළඟ එයිද මිතුර...
කවිය බලන්න
තනි මව
මාලහතේ කඹේ ගොතා
මගෙ ගෙලබැඳ රබන් ගසා
දුනුහීතල ඔබෙ දෑසේ
සැඟවී සිටි රහස වසා
තකහනියෙම යන්න ගියේ
සතුටින් නිදුකින් ඉන්නද
කියන්න බඹරෝ
ගැබ්බර වී බිරිඳක වී
මවුපදවිය ලැබගත් දා
ඔබෙ කිරිකැටි මට ඇහෙන්න ඇඬුවා නෙව
මට හිතුනා මගෙ බඹරෝ
අඬාදොඩා වැලපෙන්නට
මහමේරුව හෙලවෙන්නට
තනිකරලට වරළ ගොතා
තනිමාලය ගෙල සරසා
පුංචිඑකා උකුලෙ තියං
තනිවුනදා මගේම ලොව
සිහිණෙන් ගෑ සුවඳක හඬ
මුලු ලොවට ඇහේ !
කවිය බලන්න
ආදරණිය බිරිඳට
සුන්දර අතීතයක්
තිබුනා අපටත්
නිමේෂයකින්
සියල්ල බොඳවිය
අද ඔබ රෝහලේ උඩුකුරුව
හරස් වුණිය දෛවය අපට
පින් කලා මදිවෙලා වත්ද
ඔබ ඔතැන මා මෙතැන
දෛවයේ සරදම වෙලාගෙන
ගතකළ කාලය සිතට වද දෙයි
මං අතරමං උනාද
ගීයක් ගයනවා මිස
නැත මට සතුටක්
ගිටාරය ඔබමවී මා වෙලාගෙන
මට දෙයි සැපක් ඔබමෙන්
පුතා සරසවියේ දස්කම් පායි
අපට සතුට දුන් ඔහු සමග
නැවත හමුවෙමු අපි
සංසාරයේ යම් දිනෙක
කවිය බලන්න
පියුමි, ගිනි ගත් විලක්කුව
පියුමි හංසමාලි
තනි වෙච්ච ඇතින්න,
ගිනි තියල මුළු රටකට
නුඹ,
කෑ ගහල ඇඬුවෙ රහසෙම,
කිරිගරුඬ රූපෙට
කෙළ හැළුව මේ නරි රැල,
කියද්දී තළු මර මරා ,
වින්ඳ හැටි නුඹ ගාව කම්සැප,
අනේ මුං පිරිමි ද ?
ඇත්තටම,
දුකයි නංගියෙ උඹ ගැන....
තනිවෙච්ච අම්ම කෙනෙකුට
උදව්වටමයි,
පොරකන්නෙ කැණහිල් රැල
නීතියේ දෙවගන,
ඔය
තරාදිය දාපං කො බල්ලට
තනිවෙච්ච හැම ගෑණි ම
මං දැක්කෙ සුරගනක් විදියට
සිංහ වෙස් ගත් කැණහිල්ලු,
දෙස් දෙන්නේ ම ,
කෙළෙසන්න වර ;
මේ වෙසගන..
කතරගම රූමතිය ව
නිරුවත් කලේ ගස් බැඳ
දුටුවා ද ඇගෙ නිරුවත..?
දුටුවෙ කැණහිල්,
දස බල්ලන්ගෙ හෙළු කොට..
අප්‍රාණ පිරිමි ලිගු කොට,
පෝලිමට ඇති,
පියුමිගේ දොර ළග,
ඒත්,
ගරු මහතුනේ දැනගන්
තනි ගෑණියෙක්,
කියන්නෙම .
ගිනිගත්ත විලක්කුවකට .
( හුදු කවියක් ම පමණි. දේශපාලනයෙන් තොරයි. ) 21/06/06.
කවිය බලන්න
යසෝදරාවතේ සිත්ගත් කවි
පිරිසිදු එරන් කඩුවක් සුරතට ගනිතී
පිරි මැද කේස ධාතුව අහසට අරිතී
සිරි කුළ උතුම් සක්දෙව් ධාතුව ගනිතී
පිරිකර පළමු කොට දුන්නේ සහම්පතී
කවිය බලන්න
මියෙන්නත් මට නුඹව ඇවැසිය...
වැටි වැටී දණ ගා ඇවිද්දිත්
මල් පිපුණු මාවතක යද්දිත්
කටුක මඟ පියවර තබද්දිත්
නුඹේ සුළැඟිලි පහස ඇවැසිය....
ජීවිතයේ සැප සතුට ලඟදිත්
විඳින දුක් කම්කටොළු ලඟදිත්
පැතූ පැතුමන් බොඳව යද්දිත්
නුඹේ දයාබර සවිය ඇවැසිය.....
මගේ දිවිමඟ සරු කරන තුරු
හෙලානෙක දුක් සුසුම් නිරතුරු
මගෙන් දුටු හීන හැබෑ වනතුරු
නුඹේ ආශිර්වාද ඇවැසිය ......
පරපුරක පෙළහර දකිනතුරු
සිඟිති පා පොඩි යුග සිඹිනතුරු
නුඹේ පැතුමන් ඉටුකරන තුරු
පියාණනි මට නුඹව ඇවැසිය.....
19-07-21
කවිය බලන්න
ඇසළ පෙරහැර
ඇහැළ මලින් බරවී ඇත වැව වටම
පිළිගන්නට වැනිය පෙරහැර අද හෙටම
එළියට නොයා හිරවී සිටියත් ගෙටම
පෙරහැර ගෙනෙන අසිරිය ඇත සිත යටම
කෝව්ඩ් ලොවපුරා පැතිරෙන බව ඇත්තයි
රැළි පිට රැළි නඟා එන මාදිලි රොත්තයි
පසුබැස පුරුදුනැති අපි හැමටම දස්සයි
මෙවරත් ඇසළ පෙරහර එනවා සත්තයි
පෙර රජදවස සිට පැවැතුන ඇසළ මහේ
සිරි දළදා වඩම්මන මහ මඟුල රැහේ
නෙක වෙස් අරන් නවතන්නට නිතර පහේ
සමතෙකු මෙතෙක් ජයගෙන සිටියාද කොහේ
සැනකෙළි සිරින් නොගියත් මං සිසාරා
සියලුම සිරිත් අඩු නොකරම පුරාලා
ඇතුලත මළුව නෙක ශ්‍රී යෙන් වෙලාලා
මෙවරත් නුවර පෙරහැර එයි දිලීලා
ලොව කොයිතරම් දිව්වත් ඉදිරියට වැරෙන්
අප පොහොසත්ය අගනා හෙළ සිරිත් සරින්
සිරි දන්තදා හිමි වඩවා බැතිවු සිතින්
දිවිහිමියෙන්ම සුරකිමු පෙර සිරිත නිතින්
රෝ බිය සමග නොයෙකුත් බාධා ඇත්තේ
ඒ සැම දරන්නට සවිබළ අඩු නැත්තේ
මරණය රැඟුම් දුන්නත් සිට එළිපත්තේ
නොසැලී හිඳින්නට බුදු මඟමය ඇත්තේ
කවිය බලන්න
දෙමාපිය පැතුම
ජීවිතේ සැන්දෑ සමේ
තනි වී ගෙවනා
මහලු නිවාසේ
දෙමාපියනි ඔබ
සිහිණෙන් දුටුවේ
දරුවන් පමණිද ?
බිහි කල දා සිට
නොකා නොබී දුක්
විඳිමින් හඬමින්
උන්ගේ සුව සැදු
ඔබට පහල වූ
නිධානයද මේ
ඔබ රජ වූ දින
අමතක වූවත්
මේ ඉරණම ඒ
ලෙසටම ඔබටත්
නොවේව යන්නයි
පැතුම අපේ පුත ♥️
කවිය බලන්න
අඳුරු පිළිකුල් හෙටක්
සුන්දරම ළමාවිය
සිප්සතර මතකයන්
ඇළ දොළේ
කඩ පිළේ
පන්සලේ වැව් බිමේ
පළමු පෙම
ගම් පියස
මේ සියලු බීජයන්
යටි සිතේ තැන්පත්ව
කවියකට නගන්නට
සිතට බලකරනමුත්
එකගසිත් එකගකර
නොහැක එය කරන්නට
දුපතට වන විපත
රිදුම්දේ හදවතට
නීතියට වන ගැහැට
කෙලෙස ඉවසාගම්ද?
විනිසුරන් නඩු අසා
පෝරකය වෙත යැවුණු
දුදනන්ව ඉන් මුදා
පියාබන්නට යවන
අවිනීත නිරිදුන්ට
ප්‍රශස්තිය හිමිකරන
හිස් දනන්ගේ හඩින්
සවන වියපත්වීය
ලේ මසින් දිවි පුදා
උතුම් මව් රට රැක්ක
පොලොවයට සැතපෙනා
අපගේම සොහොයුරන්
කොටස්කර විකුනනා
මව්රටේ විපත දැක
සිතනු ඇත අහෝ අප
ඇයි අපේ පණ පුදා
රැකදුන්නෙ අපේ රට?
හඩනු ඇත පොලොවයට
සුවදවත් මල් කැකුළු
දුදනන්ට මසවුලක්
ලෙස ගැනෙන දුපතක
අදුරු පිළිකුල් හෙටක
කෙලෙස කවි ලියන්නද
කවිය බලන්න
හුදකලාව
අඳුරෙහි ම තෙමි තෙමී
නන්නාදුනන ඉසව්වක සිට
හීත හුළඟක පැටලි
තුරුපතක්
දිය සීරැති ගඩොල'තර
හුදකලා කාමරයක
වීදුරු කවුළුව මතට පාව
ලියන මේසයකට බර ව
නග්න සිතුවිල්ලකට අකුරු අමුණන
ඉඳුණු රෝමැති දෑතක්
වරක් නිහඬව බලා
කහ එළියට විනිවිදින
තුරුපතක බෙදුම් රේඛා
ඉදිරිපස බිත්තියෙ
සිතුවමක් සේ මැවෙන
සුදු මල් රාමුවට කොටු වුණ
මදහාසය අස
සතපා උපැස් යුවළ
බල්බය නිවා දමන
කවිය බලන්න
අප්‍රායෝගික යෝගියෙක්
මේ වැසි සීතෙහි
ඔතැන තනිවම
කිමද ළදුනි?
නොතෙමී
එන්න මේ
උණුසුම් පොරෝනය යටට.
හිස තෙක්ම වසාගෙන
දෑගුලක් හෝ දුරින් සිට
අප හුස්ම වැටෙන හැටි
පරයනු පිණිස මෙන් එකිනෙකා
අසමින් සාවධානව
භාවනාවක යෙදෙන්නට
කවිය බලන්න
කුරුල්ලන් ගැන නිහඬ කතාවක්
දෑස් අඳ, වියපත් කුරුල්ලා
ඉවට දෝ ඉඟිල විත්
හැපී සුදු බිත්තියේ
වැටුණේය සිහි සුන්ව
අද්දමින් බෙහෙත්තෙල් ගැල්වූ දෙපා
හෙමිහිට ඇවිද ආ ඇය
බලා හිඳ කම්පාවෙන්
කොඳුරනු ඇසෙයි
“අනේ පව්”
අසන්නට සිතුණද
නොඅසමි ඇගෙන්
‘මතකද මේ විහඟතෙම
පෙරදින නිතිපතා අවුත්
අප ගෙමිදුලෙහි
මිහිරි ගී ගැයූ හැටි?’
කවිය බලන්න
ගමන
බලයි හාත්පස, සොයනු වස් පැන් පොදක්,
නිවන්නට වෙහෙස මොහොතක්,
තනිව දිගු ගමන් ගිය මගියා.පසු කරත වන පියස,
දකී ගෙපැලක්, ගම්මානයේ ඉම.
පැල්පතකි එය.
මහලු හිමිකරු අසුන් ගෙන බිම
හිදී තනිවම.
‘දිය හැකිද දිය බිදක්?
නිවන්නට දැඩි පවස’.
නිවුනු සඳ පවස
දිය බිදෙන්, ලද මහල්ලාගෙන්,
බලයි වටපිට මගියා.
ගෙයක් මුත් මෙය, නොමැත කිසිවක්,
පුටුවක්, ඇදක්වත්.
විමතියට පත් හේ, අසයි මහල්ලාගෙන්,
‘කිව මැනව මට, කොයිද ඇඳ පුටු?
කොයිද සලු පිළි?
වෙනත් වස්තුව මෙතෙක් රැස් කළ?’
මොහොතකට නිහඩය මහල්ලා.
එක් වරක් හුස්මක් ගනී ඔහු.
‘කියග මගිය,
කෝ තොප සතු ඇද, පුටු?
‘හා! නොවෙම්ද? මම් මගියෙකු,
එකලාව සරනා’
කියයි ඔහු විමතියෙන්.
‘දැන ගනු තොප මගිය,
මමද මගියෙක්මි.
සරනා එකලාව’.
නිම කරමින් දෙබස,
යෑමට තව ටික දුරක්,
දිගු සසර ගමනේ තනිවම,
පියා ගනී දෑස් මහල්ලා.
සෝමබන්ධු කොඩිකාර
මෙත් සිතින්.
මවක වන් සොයුරියට...
දුලාලන සඳ වතේ වත්සුණු අළුරැඳුණා
කුමාරිය වෙලා දුම්ගෙය තුළ දිලුණා
මුලාවෙලා මින්දද හී බිම හැළුණා
අනේ සොයුරු පෙමකට තන කිරිි එරුණා
රස කළේ බත ම දිය කර කදුළු ඇහේ...
හැඩ කළේ කළාලය නුඹ සිතුවමින් අපේ..
බඳ වටේ ඔතා ගෙන සවි රළපනාවේ ..
වැව වුණා බිඳින්නට රැළි මුලාවේ..
පන්හිඳේ තැවරුවේ බුදුගුණයි ආසිරී..
සංහිඳේ ගැළපුවේ දේව යාදිනි බැරී
පැන්බිඳේ පිරෙව්වේ මසවුළුය රස පිරී..
රන්කඳේ පෙවූවේ නුඹ අපට මව්කිරි
කවිය බලන්න
හාවා සහ ඉබ්බාගේ ලංකා තරඟය.
හාවෙක් කන්තලේ ගොවිජනපදය කැලේ
නිතරම කියෙව්වේ හා- ඉබි රේස් බොලේ්
ගත්තා තීරණේ පොත ගිනි තියල කැලේ
තරගෙට අඞ ගැහුවා ඉබ්බට ඉන්න ඇලේ
ඉබ්බා දිනුවේ හැමදා පිටරට දේසේ
පරදවා සත්තකින් මේ සිංහල දේසේ
කටමැත දොඩන හාවා කියනව මෙලසේ
අලුත් පොතක ලියවෙයි මා වීරයෙකු ලෙසේ.
තරඟය පවත්වන දිනයත් උදාවුනා
ඉරිදා පොලට ගොවි ජනයත් ලඟා වෙනා
හාවා යන්නා දුව පැන පැන වේගයෙනා
සුපුරුදු ගමනෙ ඉබ්බා එන්නා හෙමින්නා
බයිසිකලේ සිමියොන්ගේ කබල් වෙලා
පොලට ගියේ එලවලු විකුණන්න බලා
මද්දහනේ එද්දී යලි ගෙදර බලා
දැක්කා ඉබ්බා ගාටනවා ඉදිරි බලා.
මයියොක්කයි ඉබි මස් රස නොවෙද කියා
සිමියොන් සෙමින් අල්ලාගෙන හොඳයි මෙයා
ලැගේජයේ බැඳ හිස පසු පසට තියා
ඉබ්බා විපරමෙන් හාවත් කොහේද කියා
බෙලෙක් හඞට හාවත් ස්ලෝ වුනා වගේ
ඉබ්බා පසුකලා ජය කනු මොහොතෙ අගේ
කිව්වා මෙලෙස දික් කරමින් බෙල්ල උගේ
ගියත් මසට වෙන්නේ නෑ සෙකන්ඩ් සගේ
කවිය බලන්න
සතුටු කඳුළු
පරතෙර ශිල්ප සයුරේ කිමිදී පතුල
අරගෙන මැණික් හිස පළඳා ගෙන කිරුළ
කර ඇඳි කාල ලෝගුව දුටු විට පතළ
සිර කර ගන්න බැරිවුණි සතුටක කඳුළ
මුඳුනට යනු පිණිස මා පසුකර දිනෙක
මුදු අත් පහුරු පටලා වෙර ඇති තැනෙක
බුදු ගේ මලක් තියනා අයුරින් මෙළෙක
පිදුවෙමි ඉහළ අත්තක දිලෙනා ලෙසක
අද මේ දැනෙන සතුටේ හසරැලි මුහුණ
සදහට එළිය වෙනු ඇත ඔබ දිවි අරණ
හොඳ හා නරක දත් මිනිසෙකු ඇති බැවින
අද මගෙ පණ ගියත් මට සතුටුයි පුතුන
18/07/21
Colchester
කවිය බලන්න
ලෝවැඩ සඟරාවේ සිත්ගත් කවි
ගඟ යන ඇත් කුණ ඉඳ මස් රසටා
සිඳු මැද වැද වැනසුණු මෙන් කපුටා
ලද ඉසුරෙහි ලොබ නොහළොත් තොපටා
බව සයුරෙන් ගමන් නැත ගොඩටා
ගඟෙහි පාවී යන්නා වූ මළ ඇත් කුණ උඩ හිඳ රසයට ලොල් ව එහි මස් කමින් ගිය කපුටු තෙම, ඒ ඇත්
කුණත් සමඟ ම මහා මුහුදට වැටී විනාශ වූයේ යම් සේ ද, එමෙන් ම මේ ලැබුණු සම්පත් කෙරෙහි
ආශාව වැඩි කළ හොත් තොපටත් සංසාර සාගරයෙන් එගොඩ වෙන්ට නො ලැබේ.
කවිය බලන්න
සුභාෂිතයේ සිත්ගත් කවි
සසොබන මහතුනට වත් නොමඳ ගරුතර
දින දින පුරුදු වීමෙන් කෙරෙති අනදර
නොමඳින සුවඳ විහිදෙන සොඳ සඳුන් දර
හිමවන වෙසෙන වැදි අඟනෝ කෙරෙති දර
බෙහෙවින් ගරු කළ යුතු ඉතා යහපත් මහතුන්ට වුවද දිනපතා
වූ පුරුද්ද නිසා අනාදර කෙරෙති. අතිශයින් සුවඳ පැතිරෙන්නා වූ
හොඳ සඳුන් අරටු හිමාල වනයෙහි වාසය කරණ වැදි කාන්තාවෝ
දර පිණිස ගනිති .
කවිය බලන්න
යශෝදරාට........
කිව්වොත් යනව කියලා ඔබ අතහැරලා
යන්නට පමා වෙයි කියලා මම සිතලා
කිව්වෙම නැතිව හිමිහිට නුඹේ හිස සිබලා
ගියා ඉතින් බව කතරේ සැප සොයලා
යශෝදරා දේවිය නුඹ මගෙ වීලා
සිටියා සෑම බවයෙම සවියක් දීලා
දිරියට සවිය අද දිනයෙත් ඔබ දීලා
අවසන් බවය අපි සොයමුද වෙහෙසීලා
සැමදින හඬන්'නැති මම ගිය බව සිතලා
දරුවා තුරුළු කර කවි ගෙත්තම් ගොතලා
සැනසුම සතුට මා හට හිමි වෙයි කියලා
වගුරා තුටු කඳුළු හිනැහෙන්'නැති මැවිලා
හැම තැන සොයන මිනිසුන් අත යශෝදරා
බිහි වී සිටියෙ මේ පොළවේ අතැඟි දරා
කාලය ගියත් අද දිනයෙත් යශෝදරා
ඉන්නවා එමට පිළිගන් නෑ සිතෙන් දරා
කවිය බලන්න
2020 පාපන්දු තරඟයට පසු
පන්දුව කූඩුව පරයා යනවා!
කොඩි ගැලවෙනවා, කඳුලු හැලෙනවා,
ජය හඬ පරදා, වෙර මතුවෙනවා,
සතුටක් වෙනුවට අහිතක් එනවා,
රූප වාහිනිය යුධ බිම වෙනවා,
තර්ක විතර්කය සවෙනෙ වැටෙනවා,
එඩිතර පිලිරූ මඩින් වැසෙනවා,
ජානය, මව් බිම දොසින් පිරෙනවා,
තරඟෙන් ඉවතට තල්ලු කෙරෙනවා!
පාපන්දුව කසලටම ඇදෙනවා!
මුහුදින් එතරක සිනහ නැඟෙනවා,
ජය දද, කිතුගොස් වලින් පිරෙනවා,
රස මුසු භෝජන තුටින් බුදිනවා,
මුලු රට මහ සැනකෙලියක් වෙනවා,
දිනුමට පැසසුම් ලොවින් ලැබෙනවා,
ජය ජය සදහට තියෙයි සිතෙනවා,
තරඟය දිවි රැකුමක්සේ වෙනවා,
පාපන්දුව ඉහළටම ඇදෙනවා!
ජය ජය නොම ජය මෙසේ විඳිනවා,
මේ ලොව රඟමඩලකසේ වෙනවා,
සියලුම දේ ලොව වෙනස්ම වෙනවා,
සිතමින් දුක සැප සමව විඳිනවා!
බුදු පද සිහිකර දිවිය ගෙවෙනවා,
තරගය සිහිනය සේම පෙනෙනවා,
ජය ජය නොම ජය බින්දුව වෙනවා
නිරමුසු සුවයක් මෙසේ ලැබනවා!
කවිය බලන්න
ඩිස්පෙන්සරි සෝමේ
මාවක් ඔය අසළ ඉර බහිනා යාමේ
නමගිය පෙරන්නා ‘ඩිස්පැන්සරි සෝමේ’
හවසට බේත දෙන හින්දා ලැබු නාමේ
කවදාවත් හොරක් නැත කළ වෙළඳාමේ
පින්කම්වලට ඉහළ ම ලන්සුව ලැබුණි
හන්දියෙ ගෙවල් හත අටකට සෙත සැදුණි
පොලිසියෙ මහත්තුරු හිත හොඳ බව පෙනුණි
තොරණෙත් කූඩුවෙත් නිතර ම නම ඇහුණි
ගැහුවත් උගුරට ම එනතුරු ‘වෙලේ සුදා’
ඔහු නෑ විකිණුවේ අනිකට කචල් දදා
ඉරිදා ඉස්කෝලෙ ගියහ ම දරුවො එදා
ලද නින්දාව රිදුණ ලු හදවතට සදා
පන්සල් ගොසින් ලොකු හාමුදුරුවො ළඟට
පින් දී කියපු දේ තව රැව් දෙයි කනට
“හාමුදුරුවනි මං යන්නං යම ලොවට
පොඩි උන් එවන්න ද ඉරිදට පන්සලට?"
තිබුණත් නැතත් කෙනෙකුගෙ හදවතේ තෙත
ලෝ දම ඉදිරියේ පියැවිය යුතු ය නෙත
මිනිසුන් ඥාති වෙන්නේ ඇති නිසයි රත
කළ හොඳ මිසක කිසිවක් පැවතුණේ නැත
2021/07/09
කවිය බලන්න
වයසක අලියා
කස පුපුරන හඬ ඇහෙන විට පෙරහැර එන බව දන්නවා
පෙරහැර එන විට අලි ඉන්නා බවද දන්නවා
අලි බලන්න පෙරහැර බලනවා
පෙරහැර බලන විට අලි පේනවා
ටික ටික අලි දැන් වඳවී යනවා
කැලා වල අලි දැන් ගම් වලට වඩිනවා
ගම්වල හිටි අලි දැන් ටෙලිෆෝන් පස්සේ දුවනවා
එකින් නොකී අලි ගහනය අඩු වෙලා තියනවා
අලි රැකීම සැමගේ යුතුකම බව දන්නවා
වන සංරක්ෂණය කල යුතු බව පේනවා
අලි නැති වුනේ - කලේ කවුරුද බව රට්ටෝ දන්නවා
අලි වඳවීමේ වග ලඟ ලඟ දීම දැනෙනවා
අලින්ට කතා කරන්න බැරි බව දන්නවා
එත් සමහර අලි දැන් ටෙලිෆෝන් එකෙන් කතා කරනවා
බොහෝ අලි දරුණු ආයුධ වලින් නැති කරනවා
තවත් අලි කාටත් නොකියම කැලා වදිනවා
මහලු නායක අලි රැල දාලා නොයන බව පේනවා
තරුණ අලි නායකයන් වෙන්ඩ හීන මවනවා
තරුණ මහළු අලි එක මග නොයන බව පේනවා
එය අලි වද වීමට බලපානවා
කවිය බලන්න
ඇය ..ඇය.මය..
සමාජය රඟහල කි..
එහි.. රඟන අය අතර..
ඇයද එක් දිරි කතකි
නොසෙල්වී... සිනාසෙන
ජීවිතය.. සුන්දරයි..
මා මුවින් ගිලිහුණෙන්...
සැණෙන් ..ඇය බැලූ මදෙස
විසල් වූ ..දෙනෙතකින්..
යළිදු ..හිස් බැලුම් ලා ..
සිනාසුනි මුව අයා..
බොඳව ගිය කඳුළු බිඳ
නෙතු දෑලේ ... වියලුණෙන් ..
රුදුරු රෝ බිය.. ක.. දුක
හැඳින.. පෙර දන්.. දුන්නු
ඇගේ රූ සිරු මහිම..
අහිමි කර ගත්තාට...
දුක වසා සිනාසෙන ..
එවන් සුන්දර කතුන්..
හැඟුම් තුළ.. රැඳි සුසුම්..
කිසිවෙකුත් හඳුනා ද.....
අනියතයි සියලු දෙය ..
ඇය හැඳින සිටියාට ..
බුද්ධියෙන් දිනුව . මුදු.
ජීවිතේ නො යදී. ද..
සිනිඳු..සලු ගත වසා..
මවන..රූ..සිරි රටා..
ඇසුවේද ඉකි..නොලන.
ඇගේ ..සුමිහිරි.. ..කතා ..
සසරේ කළ මහ.. පව..ක.
දුකෙන් ඇය පෙලන්නැති
සිනහවෙන්.නිරතුරුව.
ඇගේ දුක් වහන්නැති.
සවියක්ව..දිරිදෙන්න..
සිනහවට ...එක්වන්න
ඇය.ට. ඇය.ලෙස දකින..
හෙටක්..සුන්දර වන්න...
කවිය බලන්න
ජීවක වෙමි
සත් වසක් ගෙවූයෙමි
ජීවක වන අටියෙන්
අවසන් පිරික්සුමක්
අරුමයක් විය හැකිද
ඔසු නොවිය හැකි ගසක්
සොයාගනු රිසියෙන්ම
දෙවසරක් වෙහෙසුනෙමි
තියුණු නුවණැස යොමා
සැරූයෙමි මහ වනය
අනෝරා වැහි වැටෙන
සයුරු ගංගා දියේ
වරු ගණන් කිමිදුනෙමි
විසඳුම් නොදේ නම්
කිමද දැනුමේ පලය
මානයද මකුළු දැළ
බිඳ දැමිය යුතු එයද
සොබාදම විස්මිතය
දැණුමෙන් දිණිය නොහැකි
පසක් විය ඒ දහම
පිරික්සුම නිම කරමි
2021 ජූලි
කවිය බලන්න
සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා
සාගරයේ දිය
ලුණු රස වූයේ
දුක වෙනුවෙන්
හැඬු
අසරණයින්ගේ
කඳුළු දියවෙලයි
මුහුද අඬනවා
අපට ඇහෙනවා
රළ ගොන්නක් විත්
වෙරළේ හැපෙනවා
නොකියූ කතාවක්
වැළි මත ලියලා
කියවන්නට පෙර
යළි එය මැකිළා
කැස්බෑවුන් හා
දඟ ඩොල්ෆින්ලා
සතුන් වුවත් උන්
හට ඇති අයිතිය
ගැන දොඩමළු වෙමු
දිවිහිමියෙන් ඒ
අයිතිය සුරකිමු
ගොඩබිම සිට අපි මුහුද බලා ඉමු
පොළොව උලා කෑ
උන්ම පෙරට විත්
දැයේ තරුණ පෙළ
පරලොව යැවූ විට
හිත් පිත් නැති මිනිසුන් හැඬු වේ නැතිමුත්
වෙරළේ හැපි හැපි මුහුදත් ඇඬුවා.
මහ මුහුදත්
ලස්සන ජීවිතයක්
කඳුළුවලින් පිරි
කතා එකතුවක්
ඒ කඳුළේ ලුණු
රස එක්වීලා
මුහුදට අපි
ආදරය කරනවා
මුහුදත් අපහට
තව ළංවෙනවා
කාලය රළපතරට
මුසු වෙනවා
සුසුම් වැල් ද ඒ
අතරට එක් වෙනවා
සාගර පතුලෙන්
එන ඔය කඳුලැලි
ගලා ගියාදෙන්
දෝරේ යන ලෙස
ඒත් නගෝ තව එක කඳුළක් වත්
රැකගන්
කුසගින්නේ මියැදෙන්නන්
වෙණුවෙන්
04.07.21
කවිය බලන්න
අපචාරය හා දඬුවම
ගිහි පැවිදි වෙද ධනය අත රැඳි
නොමිනිසුනට බිලි වුනි දැරිවියක්
සපුරමින් උන් සළෙලු මනදොළ
අලෙවි කෙරුවා ඇයව ඇගෙ මව
ඉදෙන්නට පෙර රස පිරුනු පල
වවුල් රෑනක් හප කරන ලෙස
පොහොට්ටුව මැලවුණා අකලට
මලක් වන්නට ඉඩක් නොලබා
නීතියෙන් ගැලවීම උදෙසා
බෙලහීන සළෙලුන්ය පැවසේ
රැගෙන කග දෙවඟන සුරත රැඳි
සිඳිය යුතුමය ඒ පිරිමි කම
11/07/2021
කවිය බලන්න
ඇසළ මාංචු සහ සජීවී විකාශන
මොකටද හැබෑවට
පාවඩ මගෙ පයට
මේ එකම එක දවසට
හැමදාම මඩ විතරක්ම පෑගෙන මට
"පෙනේද කඳුළු කැට
ඔය පෙරහැරේ යන සතුටට"
ඇස් ලොකු මහත්කර කීවාට
රන්සිවිය බැදපු රෑනට
හිරවෙලා මගෙ ඉලඇට
කඳුළු ගැළුවේ උහුලලම
බැරි කොට
"සංවර ගමන උපාසක තාලෙට"
තළු මරයි තරගෙට
ඒත් හතර ගාතෙම කුදලලා එක මිටියට
කැපෙනවා යදමට
රතු මසත් මතුකොට
අන්තිමේ මළුවේ
දණ ගහනකොට
හොඬ ඉස්සුවේ අහසට
හෙන්ඩුවෙන් ඇනුම්කෑ රිදුමට
අප්පුඩි ගැහුවෙ සාදු කිව්වෙ ඇයි
පිංවත් මහතුනේ
මගේ ඒ රිදුමට කෙඳිරියට
එක දිගට
ඇහැල හඳපානේ
මට උනේ ඔන්න ඔයටික
උන් අට්ටාල බැඳගෙන
කී තරමක්ම කීවෙ
මුසාවාද ගල් පැලෙන තරමට
කවිය බලන්න
අලුත් දවසක්
වෙල් ඉපනැල්ලේ පිපුණු මල්
හසරැල්ලේ
තුසර බිංදු සිනහ පාන නව
අරුණැල්ලේ
සුව මද රැල්ලේ තනිව සිත
සැනසිල්ලේ
රඟයි සුපිපි මල් සමඟින් ගී
ඕවිල්ලේ
ගංතෙර පිපි දහසක් මල් සිනහ
නඟන්නේ
සියොත් නදයි සවන් තුලට මිහිර
සදන්නේ
ටිකිරි සිනා රැල්ලක හඬ දුරට
ඇසෙන්නේ
සිහින හැඟුම් හදවත් තුල මිහිර
මවන්නේ.
රැයෙහි තිමිර පට අතරින් ලොවට එබෙන හිරු
නිල්වන් තුරු ලිය කෙත් වතු පුබුදු කරන හිරු
රැයෙක සිහින මල් පුබුදා සුවඳ සලන හිරු
කඳු යායේ ඈත ඉඳන් ගමට වඩින් හිරු.
කවිය බලන්න
ඉසුරුමුණි පෙම්වතිය අමතමි
නොසැලෙනා සෙල් ප්‍රේමයේ...
වරම් ලද නුඹ ප්‍රේමියේ....
ඉසුරුමුණි පෙම්වතිය අමතමි..
දරාගත් මහ ප්‍රේමයේ....
මුදුම මල්පෙති වගේ ඇතිරුණු පෙම් හැඟුම් හදවත අරා..
ගල්ගැහුණු හද පතුල හාරමි සොයන්නට හැඟුමන් නුරා...
ජීවිතේ කෙටි දුරයි ආවේ
සොඳුරු හැඟුමන් සිත දරා
නොසැලුනේ ප්‍රේමය නොවෙයි මං මගේ හදවත ගල් කරා...
සෙල් රුවක ඇති අචල ප්‍රේමය විඳින්නට හදවත් අරා
නුඹයි ලොව පිංවන්ත සොදුරිය උකුල මත හිඳ දිවිතුරා..
නුඹෙ රුවට පණ පොවන්නට මට වරම් ලදුවොත් සිත දරා...
ඉවතලමි නුඹෙ සතුට ඇත්තේ ගලක් වී හිඳිනා තුරා...
කවිය බලන්න
මගෙ රන්කඳ දිස්නෙ දේවි කැටපත් පවුරේ
සීගිරි ගිරි සීගිරි ගිරි සීගිරි ළඳුනේ
පුන් පියයුරු පුන් පියයුරු කැටයම මත්තේ
හද ගින්දර හද ගින්දර කාට පෙනෙන්නේ
මං ආදර පෙම්මාදර හිත ගිනි ගන්නේ
සීගිරි රජ සීගිරි රජ සිහගිරි මුදුනේ
රන් අබරණ රන් සලු ඇඳ රන් හිරු විලසේ
නුඹ දුටු සඳ නුඹ සකිසද මැකුනත් මතකේ
මගෙ රන් කඳ දිස්නෙ දේවි කැටපත් පවුරේ
මා නෙලු මල මා නෙලු මල රජ පුබුදාදෝ
මුකුලිත කර මුකුලිත කර ඈ මියයාදෝ
තවත් කුමට තවත් කුමට කලපව් මදිදෝ
මගේ නෙළුම මට යහතින් දේද නිරින්දෝ
මරා පියත් මරා තැවුණු කසුන් නිරින්දෝ
හඩා හඩා බියෙන් ම දෝ සැඟවුණෙ පවුරේ
බමන මතින් සිහිවිකලව සිරි යහනාවේ
අහෝ කුමට සුසිරි ළදුන් සිතුවම් සෑහේ
කවිය බලන්න
ලෝකෝපකාරයේ සිත්ගත් කවි
ගුරු නිරිඳු මිතුරන්
ලිය ලිය මවු මේ කීවන්
තම මවු ලෙස සිතා
පවතිත් නැණැති සුදනෝ
නුවණැති සුදනෝ ගුරුවරුන් ද, රජ තුමා ද, මිතුරන් ද, භාර්යාව ද ,
තම භාර්යාවගේ මව ද යන සියලු දෙනා තම මවු ලෙස සිතා
කටයුතු කරති.
කවිය බලන්න
Dawn and dusk
She was a spring's morning.....
Her black and white blossoms
Made the red roses ashamed
Her face was the only synonym for twilight
In a southern beach...
Her deep silence was my slaughter house...
Burning, stabbing, bleeding within...
Her words and smile were the habitat...
For my contemplation...
Dreams...fantasy. Solitude...
I' to her....
A man from a godforsaken city in
Medieval age...
She' to me...
The clone of the Venus...
Like the beetle to the fire...
Not her beauty enticed me...
But her outplaying wits...
You’d say...
It's forgiving. Precious...unconditional...
I’d say...
It was devastating, suicidal, and insane
I was an autumn's eve.....
01/07/2021
කවිය බලන්න
සැලළිහිණි සංදේශයේ සිත්ගත් කවි
පොහොසද්දන ඇති තුනුරුවන බැති පෙමා
මුළුවද්දන සුරපුර පිරි සිරින් සැමා
ජයවද්දන කෙරුමෙන් සුසැදු තම නමා
ජයවද්දන පුරවර දනු මිතුරු තුමා
උතුම් මිතුර, ත්‍රිවිධ රත්නය ගැන බැතියෙන්, ප්‍රේමයෙන් යුක්ත වූ, ඉතා පොහොසත්,
ධනවත් ජනයා වාසය කරන්නා වූ, පිරී පැතිරී පවතින සියළු සැපතින් දෙව් ලොව
පසු බස්සන්නා වූ, නොඑසේනම් මුල්ලකට තල්ලු කරන්නා වූ, ජය වර්ධනය කිරීමෙන්
තමා ගේ නාමය උසස් කළා වූ මෙය ජයවර්ධන පුරය බව දැන ගනු.
කවිය බලන්න
වයිරෝ !
ඇතත් මට සිව් මිනිස් දරුවන් රකින්නට දී මසවුලූ
නුඹත් දරුවෙකි උපන් තිරිසන් භවේ උසුරන බස ගොලූ
කළත් සැරවැර විටෙක කෙවිටෙන් තලා නංවා ගත පලූ
පෙරත් භවයක එක්ව කළ පව් අරන් යමු බැඳ කද මලු
මගේ දුක් පොදි නුඹේ කරමත තබද්දී සැමදා උදේ
නැගේ කඳුලක් නෙතට වයිරෝ සිහිව නුඹ විඳිනා වදේ
වගේ වගකුත් නැතිව කරබා අදී බර බාගෙත් තදේ
නැගේ මිණිගෙඩි නාද මග දිග දෙවා ගමනට නිසි පදේ
සසර මග අප මුණගැහෙන්නේ පෙරත් අප හමුවූ නිසයි
පවර මුනිඳුන් දෙසූ ලෙස ඒ මගේ කෙළවර බෝ දුරයි
අතර මග මනුලොව උපන්නත් නිරය දෙව්ලොව උරුම වෙයි
මෙවර නුඹ ඔය අදින බර පෙර ගෙනගියේ මගෙ උරමතයි
ලදොත් මිනිසත් බවක් පමණයි කුසල් වැඩුමට ලැබෙන්නේ
නැතොත් කළ පින් කෙළෙසකද යළි මිනිස් භවයක් ලබන්නේ
නුඹත් ඔය පව් ගෙවා මතු මනුලොවේ යළි ඉපැදියන්නේ
අපිත් නිමවමු සසර මග මෙත් බුදුන් අගසව් ලෙසින්නේ
කවිය බලන්න
මිහින්තලා කදු මුදුනින්
මිහින්තලා කඳු මුදුනින් සදහම් ගඟ ගලනවා
පොසොන් සරා සඳ එළියෙන් අනු බුදු හිමි වඩිනවා
මුවන් හඹා දුවපු රජුන් පන්ච ශීල රකිනවා
එවන් රටක් අදටත් අපි සිහිනෙන්වත් පතනවා
ප්‍රාන ඝාත මුසාවාද බුදු වදනින් සිදෙනවා
තුනුරුවන්ගේ ගුණ මහිමෙන් සැම සිත් සත නිවෙනවා
අඹ වනයේ ඵල දරලා සුවද දසත හමනවා
එවන් රටක් නැවතත් අපි සිහිනෙන්වත් පතනවා
ගුණ සුවඳින් පිරුණු බිමේ මහ රහතුන් වඩිනවා
සිසිල් සුළන් පවන් සලා සදහම් ගුණ බෙදනවා
බන මඩුවල සාදු නාද නිරතුරුවම ඇසෙනවා
එතුම් රටක් නැවතත් අපි සිහිනෙන්වත් පතනවා
කවිය බලන්න
පබවතිය නොවෙමි
කුස කුමරු නොවේ නුඹ
මා පතා දුක් වින්ද...
පබවති නොවෙමි මම
රන් රුවක් හා සදිසි...
හිරුට පෙර අවදිවන
දහක් වැඩපල කරන
බස් රියේ එල්ලිලා
වැඩට යන හවස එන
එන ගමන් කඩේ යන
බඩු මල්ල අරන් එන...
රෙදි කන්ද හෝඳමින්
වරු ගණන් ගතකරන
දන් උයන දන් බෙදන
මල් වවන වල් නෙලන..
රැවුම් ගෙරවුම් පවා
හිනාවෙන් ඉවසගෙන
විටෙක කඳුළුත් හෙළන
දුක දුකම හදාරණ...
දහක් නෙත් ඇති මඟක
තවත් නෙත් දෙකක් වෙමි
ගව් ගණන් සිහින වල
ජීවිතය සොයා යන...
කවිය බලන්න
එය එසේ විය යුතු !
එහෙමත් ම දවසක
කොළඹ සිල් ගන්න හවසක
තුම්මුල්ලෙ ශ්‍රී විහාරෙන්
නාන් සුවඳක් නොආ යුතු ..
"තාම සාම්බාරුවට ආස ඇති "
මතක මෙනුපත් නොපෑ යුතු ..
බගතලේ පාරට හරවද්දි
චිලියානු කවියෙකුගෙ තුසිතය ,
කවියෙන් ම මත් වුණ දෙව්දුව !
ආයෙ ඒ වග වාසගම්
අහන කවුරුත් නැති වග
නෙරූඩත් දැන ගත යුතු
පුරුද්දට වගේ ඉස්සර
පපුව හූරන හැන්දෑ'ග
"ආරාධනා"වෙන් නන්දට,
අමරදේවට, වික්ටර්ට
එන්න තහනම් කළ යුතු
නෝන වාට්ටුවේ වැඩ අතර
කියවද්දි ලියද්දි නම,ගම
වැරදිලා හරි පොඩි එකෙකුට
"අසෙනිය" වගේ නමක් නම්
නොවිය යුතු නොදැක යුතු
" අසෙනිය කියන්නෙ ඇත්තම
මලකට නෙවෙයි හැඟුමට"
"පූජාර්හ" කියන අරුතට,
සරච්චන්ද්‍ර තමයි ප්‍රේමය
සම කෙරුවෙ අසෙනිය මලකට "
ආන් එතනදි මතකයෙ
සියළු පරිපථ බිඳ වැටිය යුතු !
කවිය බලන්න
හැකි නම් නවතින්න නුඹ ලඟ....
ලවන් යුග නිවා
සැඟව යන අන්දකාරයේ
සෙවනැලි මතින්
දකින්නට පාරමී පුරයි
සිරියාව අරුණැල්ලේ
ඇසේ නම් සවන් පත් මත
රඟපාන විහඟ ගීතය
තුඩින් තුඩ රොන් උරන
සමනල කොදෙව්ව
හිමීට වැදේ නම්
සෙව්වන්දි සුවද මුසු නල පහස
පිනි මුතු පලස මත
නිදැල්ලේ සරන්නට
තුරු ලයට වාරු වී
ලිය වැලේ තුරුල්ලේ
සැනසෙන්න මොහොතකට
රගන්නට සිලිලාර උණුසුමේ
නිති ලැබෙන සීතල පරයවා
මව් ඇකයට එහා ගිය
පිය රජිදු තුරුල්ලට ගුලි වෙන්න
පාට පාට සළු මතින් රූටන්න
යලි ඇවිත් සිප ගන්න
අනන්තය
දැක ගන්න ඇහැරුණු
පියුම් පෙති
නැටවෙන්න දග කරන
රැලි මතින්
ගංගාවේ
පීනන්න සේරු හා තරගයට
ගිලී නොපෙනී යන්න ඇසුරකට
මුමුනන්න අලුත් පෙම් කතාවක්
දේදුන්න මත ඉදන්
සිත් අහස පුරාවට
විදින්නට දෙනෙත් දොවමින්
සොදුරු බව
තෙමෙන්නට
වස්සාන පොද වැස්සට
නවතින්න හැකිනම්
නුබ ලග
දෑස් නොපියා
නොනිදා
දවසකට ......
කවිය බලන්න
අප්පච්චීට පැනවූ සංචරන සීමා
පොඩි එවුන් හාමතේ උන්නු තැන තැන නිදී
දෙන්නවත් කැඳ පොදක් හාල් ඇටයක් නැතී
උන්ගෙ කුස පිට අතර පරතරය හරි පොඩී
අනේ කොටුවට යන්න හැකි උනොත් මට ඇතී
පොඩි එකා වේලිච්ච තන පුඩුව අදිනකොට
මහ එකී අඩනවා කිරි එරෙන්නැති දුකට
කොහෙ එරෙන්නද කිරක් හිස් බඩෙන් තන් වලට
මගෙ නහර ඉරාගෙන දුවනවා උන්ගෙ දුක.
අහු මුල්ලෙ තිබුණු දේ දුන්න උන්ටම කන්න
වේල් ගණනාවක්ම බිවුවෙ වතුරයි කහට
බැරි උනත් පාගන්න ගොඩක් දුර පාපැදිය
ඉවසන්න බැහැ උන්ගෙ මූණු ටික දැක්කහම.
අනේ බුදු රාළහමි හිතක් පපුවක් නැද්ද
මගේ දුක දැනෙන්නට නුඹට දරුවෙක් නැද්ද
ඔය තරම් එහේ මෙහෙ දුවන වාහන අතර
මටත් කොටුවට යන්න සමා අවසර නැද්ද .
කවිය බලන්න
මා පිය වන්දනා
මී වද වලම රස මී වද වලම එතූ
ඔක්කොම එක්ක බඩගින්නත් සැපයි සිතූ
හිරු සඳු වගේ ජීවිතයෙහි එළිය පැතූ
ජීවතු චිරං ජීවතු ! පීතු - මාතූ
කවිය බලන්න
සමුනොගත් පියාණන්ට
කොහේ සිට එන්නේද කොහේ අපි යන්නේද
නොදැන දුර මගක් අප පැමිණියා
සතර මං හංදියේ ගිමන් හරිනා විටදි
අප අතැර වෙන මගක ඔබ ගියා
දුෂ්කරයි පැමිණි මග නමුත් එය බොහො කෙටියි
යායුතුයි දිගු මගක් අප කියා
වදන් තෙපලුවේ නැත දසුන් සිහියේ තබා
බැඳුනු අත්වැල අතැර ඔබ ගියා
බැඳී පුරුක් සවි නැතිව එකින් එක ගිලිහෙද්දී
දෙකොපුලම සිසිල් වේගෙන ගියා
නෙත් වැසුනු පටලයන් මා සඟව ගනිද්දී
නෙතු අගම ඔබව බොඳවී ගියා
නිවී ගොස් පහන්සිල එය නොදැනුනා නොවේ
සොඳුරු මතකයන් මා ලඟ තියා
හදේ ගැඹුරුම තැනක ඔබ ලැගුම් ගෙන හිඳී
දැනෙන්නේ සිහිනයක්මයි කියා
මලානික හිරු බසී ඔබ නොඑන බව දනී
සිටිමි මංසන්දියේ නෙතු අයා
වාරු නැතිමුත් දෙපා සවිය ගෙන යායුතුයි
මා හැරෙන මග එදිරියෙනි සොයා
කවිය බලන්න
මහ පොළව
තැළුනු පොඩිවුනු සිත්වල
ගින්නේ උපන් වියරුව
මහ පොළව කී වරක්
ලේ වලින් තෙමුවා ද
ලේ වලට වන්දියක්
නො ඉල්ලා නිදි වැදී
ගොවි බිම ද හැර දමා
විය ගහට නගුලට ද
සමුදෙමින් ලතැවුලෙන්
උරුමයකි! දිළිඳුකම
අරුමයකි සිතන හැටි
තද කරන් මහ පොළව
මහ මැදුරු නැගෙන විට
වැව් පොකුණු ඇල දොල ද
ඉරි තලා විවර කර
මහ පොළව තැවෙන හැටි
රිදෙන හැටි කියනවා
අඳුරු මහ වනය තුළ
හිරු එළිය දකින තුරු
ළපටි පැළ දළු දමා
සීරුවට හැදෙනවා
නිහඬව සිටින කටු පදුරක නිසැකවම
රතු මල් පිපෙන දිනයක් ගැන සිතමි මම
ලේ වල පැහැය හදුනන මිනිසෙකුගෙ ලැම
එදිනට කියනු ඇත මේ මා දිනූ බිම
කවිය බලන්න
අසරණ කළ මිහි මවුන්
කැළි කසළ දම දමා
මිහි මවුන් ලෙඩ කළා
හති වැටුණු ඇගේ හද
පෑරුවා...
සතුන් හට සෙවන දුන්
ගහකොළ ද සිඳ දමා
රිදවුවා මිහි මවුන්
හැඬවුවා...
නිල් දියෙන් එළිය වුණු
ගංගා ද ඇළ දොළ ද
සිඳී ගොස් මිහිතලය
වැනසුනා...
සොඳුරු සුව දසුන් මැවු
පරිසරය අඳුරු කර
දනන් සිත් සේ සුවෙන්
වැජඹුනා...
පණ අදින මිහි මවුන්
ජීවිතය අයදිමින්
තව තවත් සියලු දේ
ඉවසුවා...
කවිය බලන්න
අනේ ටීචර්… කියන්න නම් එපා ....
(ඇසූ පුවතක් ඇසුරින්)
"...කරුණා හරි වැඩේ නේ
ඊයේ මට වුනේ
බස් එකෙන් බැස්සහමයි දැක්කේ
හෑන්ඩ් බෑග් එක කපලා
බැලින්නම් පර්ස් එක නැහැ...."
දයා මිස් කරුණා මිස්ට එහෙම කියනවා
ගුරු කාමරය අතු ගගා හිටිය කමලාට ඇහුනා
පර්ස් එකේ පාට - හැඩය - තිබ්බ සල්ලි - මේ ඔක්කොම විස්තර
කරුණා මිස් කියාගෙන කියාගෙන යනවා
"පොකට් ගහන එවුන්ගේ අත් කැඩෙන්න ඕනෙ අනේ..."
කරුණා මිස් දයා මිස්ගේ දුක බෙදා ගන්නවා
පහුවදා ඉස්කෝලේ ආව කමලා
ගුරු කාමරයට ඔලුව දාලා බැලුවා
දයා මිස් පත්තරේ කියවනවා - සිනි බදු වංචා කතන්දරේ
ඇය විතරයි තාම ඇවිත් ඉන්නේ
කමල, මිස් ලඟට කිට්ටු වෙලා
පොඩි වුනු පුංචි කඩදාසි බෑග් එකෙන්
යමක් අරන් ටීචර්ට දික් කලා
"...කොහෙන්ද මේක හම්බ වුනේ...?
කියන්න කමලා කොහෙන්ද මේක හම්බවුනේ....?
ප්‍රශ්න වැලයි - දයා මිස්ගේ ඇස් උඩගිහින්
"අනේ ටීචර් ......
පර්ස් එකේ සල්ලි නම් තිබ්බේ නෑ.......
පර්ස් එක විතරයි හම්බවුනේ.....
තාත්තගේ මල්ලේ තිබිලා....
හොඳ වෙලාවට විසිකරලා නැහැ.....
"තාත්තා තාම කසිප්පු වලට හිරේ නේද ...?
"නැහැ ටීචර් ....ගියමාසේ ගෙදර ආවා....
සමාවක් හම්බවුනෙත් නැහැනේ .
අවුරුදු තුනම කුඩුවේ තමයි හිටියේ......
ආයෙත් ජොනි මාමට කසිප්පු අදින්න බැහැ කියලා ...
අලුත් රස්සාවකට දැන් යනවා ....."
" අනේ ටීචර් කාටවත්ම මේවගක් ...
කියන්න නම් එපා .... තාත්තව ආයෙත් හිරේ දාවි...."
07ජුලි 2021
වර්ජිත ගුරුවරයෙකුගේ කවිය
ආලවඩන බස් කීවත් අවිචාරේ
රාලලාට පොදු ජන දුක නොම තේරේ
බාල ළමාවරු ගෙන යන හරි පාරේ
කාලකන්නි ගුරුවරු අද මහ පාරේ
දුස් පිලිවෙතින් දෙස බස රැස නසන්ටද
ඇස් දෙක වසා ගෙන නොබලා සිටින්ටද
යුක්තිය දහම වැලලෙන්නට හරින්ටද
සිප්කිරි දුන්නෙ මේ වගෙ අමනයන්ටද
දෙසට බසට ආදරයෙන් සැලකීම
රටට ඇවැසි හොඳ දරුවන් සැකසීම
අපට තිබෙන පොදු ජාතික වගකීම
හිතට දුකයි මේ විදිහට සැලකීම
ඉසිවරු ලෙසින් සමහරු වැදි බණ දෙසති
මැතිවරු උඩඟු වී අහසේ සැරි සරති
ගරු සරුකමක් මුන් ළග ගෑවිලත් නැති
රජවරු උනත් ගුරුවරු ළඟ හිස නමති
කිවිපති අප්පුහාමි
කවිය බලන්න
කවියක් නොව
මජර සමාජ ක්‍රමයක නැති බැරිකම විසින්
ළමා මෙහෙකාර සේවයට ඇද දැමූ
අපේම දියණියකගේ අවාසනාවන්ත කථාව
අයිය, අක්කා, නංගි සහ මම...
එකම කාමරෙ ගුලිවෙලා
හිටියෙ වත්තේ පුංචි ලැයිමක
කෙළිදෙළෙන් නිති තුටුවෙලා...
නොදැනුනත් දුක හිතට කවදත්
කුසට නම් බඩගින්න දැනුණා..
වත්තෙ තේ ගස්, කඳු, පීලි ළඟ
තිබුනෙ හිත් පොඩි නැවතිලා...
අම්ම අප්පා සීත උදයෙම
බංගලාවේ වැඩට යනවා...
අයියා දවසක..මම අනිත් දින
නංගි, මල්ලී බලාගන්නට
නොගොස් පාසැල් ගෙදර ඉඳලා
සියලු වැඩපල කරනවා...
දිරපු වහලෙන් රෑට අහසේ
පුංචි තරු කැට පේනවා...
වැස්ස ආවොත් පොළවෙ ගොම මැටි
දිය වෙලා මඩ ගලනවා...
උහුලන්න බැරි හීතලට අපි
තුරුළු වී කවි කියනවා..
"කඩේ ණය පොත පිරිල කියලා
මුදලාලි බඩු දුන්නෙ නැහැ අද
බලනු මැන දෙවියනේ නෙත හැර
නොකා නිදියන මගේ පොඩි වුන් "
අම්මා අහසට හූල්ලන කොට
අනේ මගෙ හිත අඬනවා...
මටත් රහසින් කඳුළු බිඳු බිඳු
ඇස් කොනෙන් බිම හැලෙනවා....
ගත්ත ණය ටික නැවත ඉල්ලන්
යක්ෂයින් හැමදාම එනකොට...
තාත්තා අසරණව ඔවුනට
අපේ දුක ගැන කියනවා...
ගහලා යාවිද..උන් තාත්තට??...
පුංචි අපි ටික මේසයේ යට
බයෙන් හැංගී ඉන්නවා...
කවුද මාමා කෙනෙක් දවසක...
තාත්තා හමු වෙන්න ඇවිදින්
අම්මා සමගින් තිදෙනා රහසින්
මොනවදෝ මුමුණනවා ඇහුනා....
අපේ අම්මා ඒ කථාවට
හරිම අකමැති බවක් දැනුනා....
ලංවෙලා මම හොරෙන් ඇහුවා
මොනවදෝ ඒ කථා වෙන්නේ...
" ලොකු වැඩක් නැහැ ඒ ගෙදර නම්
මහ මිනිස්සුත් හරි හොඳයි ..
පුංචි බේබි.. සමග සෙල්ලම්
කරන්නයි දරුවෙක් හොයන්නේ
කෙල්ල ඉස්කෝලෙක යවන්නට
ඒ මහත්තුරු කැමත්තත් දෙයි ..
මාසෙකට විසි දාහ ගානේ
උඹලටත් ඒ අය ගෙවයි ..."
මාස දෙක තුන ගෙවී යනකොට
පුළුවනිනෙ අපෙ ණය ගෙවන්නට..
කෙල්ල ආපහු ගේමු එතකොට
තාත්තා දුකකින් කියයි .
අරුංගලයක් පුංචි කෙල්ලගෙ
කන් දෙකට අරගෙන දාන්නට...
දරු පැටව් හට රහට වේලක්
දෙකක් දවසට කන්න දෙන්නට....
හීන ලෝකෙක තනිවෙලා ඔහු
තවත් මොනවද කියනවා.....
පපුව පැලිලා මැරෙන්නට වගෙ
දුකින් මගෙ හිත දැවෙනවා...
නංගි , මල්ලී , අයිය වෙනුවෙන්
මොනව හරි මම කරනවා.....
කොළඹ යන්නට දවස ආවා
මාමා සමගින් රෙදි පොදිය ගෙන
බස් එකට මම ගොඩ උනා...
මගේ වයසේ පුංචි දරුවෝ
වත්තෙ පාසැල වෙතට යනවා...
කෙළි දෙළෙන් අපි නටපු කඳු වැටී
වේගයෙන් පසු කරන් යනවා...
ආයේ කවදා මෙහේ එන්නද
පුංචි මගෙ හිත අඬනවා.....
තාප්පෙන් වට වෙච්ච ගෙදරක
මාව තියලා සල්ලි අරගෙන...
මාමා කියනා මිනිහා හනිකට
නොකියා යන බව ගියානේ මට...
අනේ ඒ ගෙයි කිසිම දවසක
පොඩි එකෙක් මම නැහැනේ දැක්කේ...
උදේ ඉඳලා දවස තිස්සෙම
ගෙදර වැඩ ඉවරයක් නැහැනේ...
මේසේ පිරිලා කෑම තිබුනට
පුංචි තැටියක දාපු බත් ටික
මාළු නැති හොදි බිඳක් සමගින්
විතරමයි මට කන්න දුන්නේ....
රැවුම්, ගැරහුම් ගුටි පහර මිස
"මිනිස්කම" මට නැහැනෙ දැනුනේ....
ගෙදර එළියේ රෑට කළුවර
කාමරෙක මා දාල වැහුවා..
අනේ මට හරි බයක් දැනුනත්
දුක කියන්නට අම්මා නැහැනේ...
දෙවියෝ නැහැ මගෙ දුක අහන්නේ
අනේ ඇයි මට මෙහෙම වෙන්නේ????
දිනක් දවසක මහ රැයක මැද
කවුද දොර ළඟ එළියේ ඉඳගෙන
අගුළ අරිනවා තේරුනා මට....
කවුද මේ රෑ...මොකද එන්නේ ......
එදා සිට මම කිසිම දවසක
දැක්කෙ නෑ ආලෝකයක්...
ජීවිතේ මගෙ වසාගත් මහ
අඳුරු මූසල මස් කඳන් මිස.....
භූමිතෙල් හා ගිනි පුපුරු සිරුරට
වැටුනෙ කොහොමද මමද නොදනිමි..
නොමැත මට වෙන ලෝකයක් යළි
සමාවුව මගෙ අම්මෙ මා හට
සමාවුව මගෙ අප්පා මා හට
අයියෙ මල්ලී හමුවෙමුය අපි
කවද හෝ යළි මේ බවය තුල
ගින්දරෙන් මේ තරම් විගසින්
මනස පිරි තිබු කුයිල පිළිකුල
සුසුම් සෝ දුක් සන්තාපයන්
දැවී යයි මා දැන සිටියෙ නෑ ............
කවිය බලන්න
සහකාරියක්
දත් බොල්ලෑ මිති ලැම කෙස් ගැසුනු බොකූ
කෙසඟ සිරුර නිදිබර ඇස් දෙකන් ලොකූ
ලස්සන හදවතක් ඔසවන දෙපා වකූ
සතු ඇය දෙවඟනකි මට මගෙ තනිය මැකූ
කවිය බලන්න
කැකුළු මලට ඔවදනක්....
නෙක පාට සුවද මල් පිපී ඇති උයනේ
ඒ පැහැය නිසාමයි ලොව එළිය කෙරුනේ
රොන්අරන්හොර හොරෙන්ඉගිල්ලෙන බිඟුනේ
තැලුණු මල් පෙති වලට අගය නැත ලැබුනේ
ඉගිල්ලී හැරදමා රොන් ඉරූ මල් කැකුළු
ඉවත ලූ බඔරුන්ගේ දැන් නොමැත මුකුළු
ඉගිලෙන්න ඉඩ නොදී වැසූ කල දොර අගුළු
බාඳුරාවක් විලස ලොව දකියි ඒ කැකුළු
පාට මල් පිපුනාට අතු අතර මුදුනේ
කාට නම් කියන්නද හුදෙකලා අරනේ
රැට තරු දිලුනාට සඳ වටා ගුවනේ
පාට තරුවට වඩා හඳ තමයි දිලුනේ
වන වදුලේ නිදහසේ වැඩෙන මල් පදුරු
සෙයිලමේ මැටි බදුනේ පැල කරත් කවුරු
නාටු වූ කොළ මිසක නොවේ මල් සොඳුරු
පිපුණු මල් සුවදමුත් තැලුනු පසුනැතසොඳුරු
බඔරුන්ට පැණි නොදී උන්ගේ ගී අසාපන්
මලක ඇති අගය ගැන බඔරුන්ට කියාපන්
මල් පෙත්තේ පාට නොව සුවඳ ගැන සිතාපන්
කටු අකුල් මත වුනත් නුඹ යසට පිපීයන්
කවිය බලන්න
සමන්මලී
අතීතයේ මා දුටු ඒ සමන්මලී
තවමත් මා ලඟම දැවටෙයි සිතෙන් බැඳී.
ඇය නොසිටියානම් දුක් සැප බෙදන් සකී.
මගෙ දූ පුතුන් නැහැ මා ලඟ හදෙන් බැඳී.
එන්නට කියා අඬ ගැහුවම යන්න කියා,
බැරිවෙයි කියන්නට එන්නට බැහැය කියා,
කාටත් උරුම ඒ ගමනට යන්න කියා ,
යන්නේ මගේ මතකය ඔබ ලඟම තියා.
ගියොත් ඒ ගමන කාටත් නොකියාම ,
සමඟිව ඉන්න හිටියා වගෙ හැමදාම.
අම්මා මහා වෘක්ෂයකිය අතු දාන
පුතේ දුවේ හෙවනක් වෙයි හැමදාට.
කවිය බලන්න
මධුවිත!!!
තමාට තමා කවුදැයි අමතක කෙරෙන.......
ලැඡ්ඡ භය හිරිඔතප් සත පහකට මායිම් නොකෙරෙන.......
මවක්, සහෝදරීයක්, බිරිදක්, දියණියක්, මිණිබිරියක්
සිටින බව අමතක කෙරෙන.....
බොරැවට, වංචාවට, පරැෂවචන වලට
උඩගෙඩි දෙන ........
කිසි දිනක දැක නොමැති සල්ලාල හැසිරීම්
රග දක්වන........
කාලයක් පුරා ගොඩනගා ගත් පෞරැෂය
සුනු විසුනු කෙරෙන.......
තමාටත් සිය පවුලටත් උන් හිටි තැන් නැතිකර දමන......
තමාට තමාවත් නැත්තටම නැතිකර දමන......
අමුතුම පානයකි .....මධුවිත!!!
කවිය බලන්න
තාත්තා මමයි ඔයාගේ
මගේ නමින් ඇගේ කුසෙන්,
ලොවට එන පුතේ
දිවිය මගේ සඳ විමනකි
සුන්දරයි සිතේ
මගේ රුවින් ඇගේ කිරෙන්
වැඩෙන මා පුතේ
මගේ දිවියෙ
රන් අසිපත ඔබයි
රන් පුතේ
පුතේ ඔයා මගේ හදේ
මිහිරිම පැතුමක්
සදා අඳුර අපේ දිවියෙ
දුරු කළ පහණක්
ප්‍රීතිය සැනසුම ගෙන දුන්
සිසිල් පැන් පොදක්
දිවිය අපේ පූර්ණ කල
සුන්දර දසුනක්
දුවේ ඔයා මගේ හදේ
සිහින කුමාරී
ජීවිතයම නැවුම් කරන
සුමුදු කුමාරී
නිවසත් දිවියත් එළි කල
මගෙ දූ කුමරී
ඔයා සමඟ දුවේ දිවිය
මට හරි මිහිරී
පැතුම් පතා පෙරුම් පුරා
ජීවය ලැබ දුන්
දිවිය පුරා එනතුරු ඔබ මඟ බලාන උන්
සෙනේ ගඟක් ඔබ නිසාම
හදවතේ උපන්
තාත්තා මමයි ඔයාගේ
ජීවිතයම දුන්
කිරි නොවුනාට රතු ලෙය
මගෙ බොන්න උරා
බිහි නොකළාට කුසයෙන්
මගෙ පුතේ ඔයා
ඉසුලුවේ නැතිවාට
දසමස කුසේ දරා
මමයි ඔයා බිහි කෙරුවේ පියා වෙලා,,
කවිය බලන්න
දෑවැද්ද
සිලක් පෙම් තිර පහන් දැල්ලු
විලක් ලෙස සිසිලසක් පෙන්නූ
සිතක් තෙත් කර මිලක් ඉල්ලූ
මලක් මම දෙබරෙකුට ලංවූ
හිතක් නැති මුදලක්ද ලන්දු
බිලක් ලියමින් හුයෙන් බැන්දු
ලියක් නොව ශේෂයක බින්දු
දුකක් සිත යට සිනහ සින්දු
මලක් ලං කර සුවඳ බැන්දු
කලක් කඩුපුල් රැයක කැන්දු
ඉඩක් සොය බාදුරා ඉන්දු
නුඹත් බඹරෙක් බඹත් ඇන්දූ
7/2021
කවිය බලන්න
මල් මල් මල් මල් මල්
සුන්දර මල් විකසිත වෙද්දී
සුවඳ හමනවා දසත පුරා
එක එක පාටින් පිපෙනා මල් තුල
එකම සුවඳ නොමවෙයි දැනෙනා
ආගම දහමට
මගුලට මරණෙට
හැම කෙනෙකුම හට සරණ වෙනා
එක එක මිලකට විකිණෙන මල් ගැන
සමහරු පබඳී අමුතු කතා
ගමෙි පිපෙන මල්
නගරෙ පිපෙන මල්
කැලයෙත් වන මල් පූදිනවා
මිලක් නොමැති මල්
අමිල සොඳුරු මල්
කෝකත් පිපිලා පර වෙනවා
කවිය බලන්න
තව ඇසේ මට
දෙපා අඩපණ මහළු ගල්පර
සයුරෙ අසිරිය තවම විඳ විඳ
අසා එහි දුක් අඳෝනා ස්වර
කඳුළු වගුරයි යටින් දිය කඳ
කැකුළු ගල් මල් ඇස් පියාගෙන
බියෙන් පැමිණෙන තක්සලාවට
එහා පුරයේ පාසි බැඳි තැන
තිබුණි මුතු මල් ගිලින මෝ කට
පසුම්බිය හෙමි හෙමින් සොලවා
රන් කාසි පා දුගී මසුනට
දියෙහි ඇඳි ඉරි ගලව ගලවා
හුවමාරුවක යෙදෙයි හැමවිට
දිය නහර නිර්වින්දනය කර
කාම ආතුර නපුරු සතුනට
අදත් බිලි වී සොවින් ගී සර
ගයන ගල්පර තව ඇසේ මට...
කවිය බලන්න
ස්පර්ශයේ අපූරුව
ස්පර්ශ කරන්නට හැකි නම්
සිතුවිල්ලෙන් සිතුවිල්ල
කියා දෙයි නුඹට
ඇතිවෙන නැතිවෙන සැටි
සිතිවිල්ලෙන් සිතිවිල්ල.
ස්පර්ශ කරන්නට හැකි නම්
කඩි මුඩියේ ඇඟිලි තුඩු මත
ගැටෙන ශරීරය නොව ආත්මය
දැනේවි නුඹට
රාගයේ සහ ආදරයේ
වෙනසේ අපුරැව.
ස්පර්ශ කරන්නට හැකි නම්
මවගේ දෙපතුල නොව හදවත
දැනේවි නුඹට
ඇයට සමකල හැකි කිසිවක්
තුන්ලොවෙහි නොමැති බව.
කවිය බලන්න
ගුත්තිල කාව්‍යයේ සිත්ගත් කවි
සුරත ඔහු යුදයට
සුරත ලෙළදෙන කගපට
සුරත මිස යුග දිට
සුරත නම් කොඳ රුපඹුවන් හට
යුදයට යොමුවුන රජුගේ දකුණතෙහි කඩුව ලෙළ දෙන විට
සතුරු අඹුවන් ගේ නෙත් දෙකෙහි තද රතු පාට මිස කාම
සේවනයක් නම් වේ ද?
කවිය බලන්න
බර
තැබෑරුම් ළඟ කඩල ගොටුවල
හංදි ගානේ වඩේ මලුවල
බස්හෝල්ට් වල අඹ ටේස්ට් වල
ගානකට හරි ලුණු රහට ඇති.....
දේවාල ළඟ පිච්ච මල් උඩ
හොස්පිටල් වල ක්ලිනික් පොත් උඩ
ඉරි තැලී ගිය හේන් බිම් උඩ
හීන් පිණිකැට මෙන් වැටී ඇති.....
හිස්ව ගිය මැටි කැට බිත්ති මත
වාටි පලුදුවු ගවොම් පොඩිමත
විස්සෙ පනහේ සීයෙ කොළ මත
මල් රටා ලෙස පැල්ලම් ව ඇති
ගින්දරින් ඉපදී ගිනියම් ව
කතා දහසක් වසාගෙන තෙත් ව
කලාකරුවන් දහසකට මවු වු -
"කඳුළු" පොළොවට කොහොම බර ඇත්ද?
කවිය බලන්න
අනිත්‍ය ය
කිතුල් රෑනක් සදිසි වරලස
යුවතියක යවුවන වියේ
මානවකයකු ගේ නිරන්තර
රැදෙන සිත් මානස විලේ
පහන් වෙනතුරු සිහිනයක් වී
පිපෙන සියපත් මලක් සේ රෑ
සුවඳ විහිදයි හදවතේ
තිසර ලැම රන හංස යුවලේ
අකීකරු බව දකින නයනේ
ඇස් පියන් නොසලමින්
ඇති නැති නමුදු ඈ ළඟ
හුදෙකලා වූ සෑම මොහොතක
බවුන් වඩනා කුමරුනේ
රාග උණු දිය පොදින් තෙත්වූ
හදෙහි විකසිත රත් මලින්
පුළුලුකුල රන් කෙන්ඩියක් වන්
නෙරි පොටින් ඉඟ යටින් දිස්වූ
සළු පටින් සගවා තබා ගත්
නමුදු දෑසින් නුදුටුවත් නිසි
සරන සිත් විල නොතිත් ආසා
මතින් මත්වෙති තරුණයෝ
විය ඉකුත් වී දශක හත අට
දිරාපත් වූ පසුව සියොළඟ
අතුරුදන් වූ නීල වරලස
නෙරා වැටි පියයුරු කණාටුව
වියළි දෙබලක් වන් පුලුල්තල
දකින සඳ නෙත් ඉමෙන් මිදෙනා
තරුණ වැඩිහිටි බාල සත් දන
අහෝ කෙදිනක අනිස බව ලොව
දකිත් දැයි කිවහැකිද කාහට
9.7.2021
කවිය බලන්න
මිතුදම නිසා අහිමි වූ ප්‍රථම ප්‍රේමය
සොඳුරු පාසල් කාලයේ යහළුවන්
සිටියත් මා ලඟින්
නොමැති විට ඔබ දැනුන පාළුව
තනිව විඳගත්තා සිතින්
මිතුරු ඇසුරේ ඔබත් සමගින්
ගෙවුන කාලය සිත් තොසින්
කෙලෙස අමතක කරන්නද මම
තාම අමතක නෑ ඉතින්
ලබාගන්නට දැනුම අමතර
හවස පන්තියකට ගියා
ඔයත් සමගින් ගියපු සැම දින
සිතට සතුටක් ඇතිවුනා
හිතේ තිබු ආදරය තව තව
ඔබ කෙරේ මගෙ වැඩිවුනා
මතක් වී අපි යහළුවන් බව අනේ
මුව මගෙ ගොළු වුනා
දවස් ගෙවිලා සොදුරු පාසල්
කාලයත් අපෙ නිමවුනා
යහළුවන් හැම හිතේ සතුටින්
ආදරෙන් වෙන් වී ගියා
හිතේ තිබු ආදරය සඟවා
සිනාවෙන් මුව සරසලා
වෙන්වුනා මම ඔබෙන් ආයෙත්
දිනක හමුවේයැයි සිතා
එකම බසයේ එකම අසුනේ
එකම ලඟ ඉදගෙන එදා
හිතේ ඇති ආදරය කීමට
බැරුව සිත මගෙ ලතවුනා
ඔබේ හිත තුල තිබුන සෙනෙහස
පැවසුවේ නම් මට එදා
ඔබේ දිවියට අත්වැලක් වී
ඉන්න තිබුනා සෑමදා
කවදා හෝ ඔබ මගේ සෙනෙහස
සොයාගෙන ඒ යැයි සිතා
දින ගණන් කර බලා සිටියා
හදේ පැතුමන් පුරවලා
අතැර ඔබ මා ඇගේ සෙනෙහස
පැතුව බව දැනගත් එදා
දරාගන්නට බැරුව ඒ දුක
කදුළු සැලුවා රැය පුරා.
කවිය බලන්න
සරසවි යන දියණියට
විසල් අහසේ ඉගිල යන්නට
කාලයයි කදිමයි
තුරුණු පිරිපුන් ජවය අරගෙන
දුරට පියඹන්නයි ....
සුදු සඳක මුදු මොලොක් රැස් සේ
එළිය පතුරන්නයි
සිනාසීගෙන හෙමින් ඇවිදින්
වැඩි දුරක් යන්නයි .....
උගත් ගුණ දම් සිරිත් මල්දම්
ලෙසින් පළදන්නයි
ඔබේ ගමනට සියළු බාධක
දුරුව හැඩ වෙන්නයි ......
කවිය බලන්න
සරණාගත තාරුණ්‍යය
හිරු නොබසින ලොව අධිරාජ්‍යයට
පියමන් කෙරුවේ හිරිමල් වයසේ
දහසක් අරමුණු පොදි බැදගෙන මා
දිව රෑ වෙහෙසුනෙ අරගල අස්සේ
ආගන්තුකයෙක් ලෙස දිවි ගෙවමින් මා
සිටියත් සුන්දර දෙසකට වී අද
ලැබුනත් යහමින් පවුම් පිට පවුම්
කිසියම් අඩුවක් හිත පාරනවා
නොදැනිම ජීවිතෙ ගෙවී දශකයක්
මව් රට යන්නට හිත කකියනවා
ගියහොත් ආයෙත් මෙහෙ එන්නට බෑ
කොහෙ එන්නද අම්මේ සුදු නෝනව දාලා
කවිය බලන්න
🗙











































































