ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය
ලන්ඩන් කවි 6වන වෙළුම
2021 ජුනි කලාපය
එදා ඉසුලූ විසල් කුඩ යට දෙතොල තබමින් මිහිරි මී විත
මෙදා නැතිවුනෙ පුරුවේ කල පවකටද ලත වෙමින් සිත සිත
බදා සිටිමින් ජීවිතය නොනිදනා නගරය විඳින මනු සත
කුඩය හැකිලූ ලෙසින් හැකිලී යනු ඇතිය දිවි නොතීසිත් නැත
සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna
පටුන
යුරෝපීය වැසියන් නිති සිතමින් පතමින් සිටින වසන්තය උදාවී ඇත. එහෙත් එය සුපුරුදු වසන්තයම නොවේ. පෙර එළිපහළියේ කෙළිදෙලෙන් සතුටු සාමීචියේ යෙදෙමින්, බොජුන් රස විඳිමින්, මධු විතෙන් සප්පායම් වෙමින් සිටි පිරිස් අද එලෙසින්ම නැත. බොහෝ දෙනෙක් එකිනෙකා කෙරෙහි සැක සංකාවෙන් දුරස්ථ භාවයෙන් කටයුතු කරණු පෙනේ. අතට අත දීම්, සිප වැළඳ ගැනීම්, සුහද ඇසුරු අද විරලය. තම තමන්ගේ කුරුබිලියෙහි සිරව සිටින්නන්හට කවදා එයින් සැනසිල්ලේ පිට වන්නට හැකිවෙයි ද? මේ ව්‍යසනය අලුත් ශිෂ්ටාචාරයක ඇරඹුමක් වේද? මෙවර කලාපයේ සිතුවම් මගින් දායකත්වය ලබාදුන් එස්.එල්.සෙනෙහෙධීර විශිෂ්ටයාණන් හට අපගේ හද පිරි ප්‍රණාමය පිරි නමමු.
දෙන්නෝ පහස ගෙට අඬගහලා දෙත්ද ??
සතුරා හරවා එවූ ඉර එළියට හසුව
වරක් අපෙ ඇහැ ගිනිකණ වැටුණෙන්
සතුරාව ලුහුබඳිනු පිණිස
රාත්‍තිරිය ම යහපති
අසල්වැසි ගැහැනුන් ඇසුරෙන්
උපයා ගත් කදිම අත්දැකීම් ඇති ඔබට
එසඳහා අමුතු අමතර පුහුණුවක්
ඇවැසි ය කියා මම නොසිතමි
මා ඉදිරියේ දී පවා යළි සීරුවෙන් නොසිටිනු
අල්ලපු ගෙයි මිනිහාට නොපෙනී
ඔහුගෙ ම පැදුර යට සැඟව සිටියා සේ
මින්පසු මිනිස් ඇහැට සපුරා අගෝචර වනු !
කවිය බලන්න
පාට පාට හීන පේන
පාට පාට හීන පේන,
පාවෙන සුදු වලාකුලක්,
වටහා ගනීද පසුකර නොයාද
මේ ජීවිතේ,
එකම මොහොත මෙයමයි
ගිනි දියවෙයි හිම ඇවිලෙයි
දෑස් බරයි කඳුලු මිදෙයි
සිතිවිලි උණුසුම්
ගයන්න හයියෙන් //
සඳක් දිලෙයි ගිනි මද්දහනේ
ගණ අඳුර මැදින් හිරු නැගෙනා
සිත් බිඳුණු හදවත් විරු හඬක් නගයි දෝ
මේ හිස්කම විතරයි ඉතිරිව ඇත්තේ
මූදු පත්ලෙ පැණි සොයනා
සමනලුනේ, වාරකන් ලඟයි
ගී ගයන්න සොයුරනේ.
ගයන්න හයියෙන්
හඬ නොනැගෙයි, හුස්ම හිරකරයි
ලෝකය සන්සුන්, සිතම නොසන්සුන්
අපේ සිතැඟි පසුකරන් සිත් මැරි මැරි යාදෝ
කාලය ගතවෙයි වෙලාව ඉවරයි //
කවිය බලන්න
වී කවිය
වරම් වරම් ඉර සඳ දෙවි
වරම් නොදී එකෙල මෙකෙල වෙති
දුම්බර කෙතෙ බණ්ඩි ගොයම්
දිලිසුණාවෙ ඕසෙට පල නැති
රන් දෑකැති නිති සැරසෙන
එල්ල කරයි අප දිහාට දැති
ණය දෙවි ගොල්ලන් නියඟෙට
වස්සනවා හීනෙන් වස පෙති
හරි අපූරු ලොරි පෙරහර
ගම්මානෙට වැදිලා නැවතුණි
විරවාගත් ගොවි පරපුර
ඉපනැල්ලේ අන්ද මන්ද වුණි
කිලෝව විසි පහට තිහට
මෝල් රජුන් යන විට කිරමිනි
සෝදා මඩ කහට හිතේ
රජ වෙන්නට අයියෝ බැරි වුණි
යල කොලකැටි බැතෙන් ලැබෙන
සල්ලි ඩිංග හැලී හැඹිලි තුළ
මහ කන්නෙදි හැංගී යයි
මඩ-කොලදා-බණ්ඩි පොහොරවල
ඒත් සහල් මුතු කැට මෙනි
කිලෝවකට අංක තුනයි මිල
අම්බරුවනි දුටුවද අර
අපව රකින උත්තමයන් රැළ!
කවිය බලන්න
උත්තම පුත්තු
වැදුවා මව් පුතුන් රහසෙ ම මගෙ ලේ බිඳු -බිඳු ව අරන්
බලාපොරොත්තුවෙ උස්-මිටිකම නොබලා සමව දරන්
කර උස් යන අත-පය ලොකු වෙනකොට නෙත්දෑලෙ තියන්
කුස පුරවා අඩු නැති “කළ-සතකට” කිරි දොවා රුවන්
පුතුන් රකින්නට පළච්ච මගෙ ගත දහිරිය වැටිච්ච
ඇතුන් වගේ කන-බොනකොට කිරි මදි බව සිත දැනිච්ච
රටුන් කතා නොම අහන්න කුඹුරු-හේන වල්ගැහිච්ච
වටින් පාත් වෙනතුරු කලුවර මගෙ දෑතින්කෙටිච්ච
උදේ-දවල්-රෑ පැල්කොටයට වී මගෙ කල ගෙවිච්ච
පදේ-පදේ අමුණා පැල් කවි කිව් මගෙ කට පිරිච්ච
කදේ බඳින්නට “බෝ” වැඩි වෙන විට මගෙ සිත හැදිච්ච
වදේ වින්ද ගියෙ නුඹලගෙ වත දැකුමෙන් ඇඟ තැලිච්ච
දුක්පත්කම හිතේ තියන් අර-පිරිමැස්මෙන්කෙරිච්ච
පොහොසත්කම හිතේ තියන් ගේ-දොර හැඩ-වැඩ දැමිච්ච
මනුස්සකම හිතේ තියන් දරු කැළ යහමඟ ගෙනිච්ච
ගුණවත්කම හිතේ තියන් ගුණ ගරුක ව උන් හැදිච්ච
සමාදානයෙන් සැම දා බෙදා-හදා කෑව - බිව්ව
පමා නොවන්නට වැඩ-කටයුතු නිසි කලට ම කෙරෙව්ව
කමා වෙලා සිතා-මතා නොකළත් වරදක් ම සෙව්ව
නමා හිස් දෙපා මව් ළ`ග කමා ඇයැද සිත පිරෙව්ව
අකුරට ගියෙ හැම දා අලස ව නොම සිට ගෙදරට වී
තරගෙට නැත කිසි දා උන් හැදුවේ යන්නට ඉගි ලී
සතරට සිත දී නිරතුරු උගතුන් වෙන්නට මතු වී
ගම-රට - ජාතිය - ආගම රැක ලක ඉන්නට බැබ ලී
ලක රණ’ඹර රකිනට නැණ දිරිය-විරිය ලැබ ගන්නයි
ලක වට දිය’ඹර රළ බි`ද රුපුන් හඹාගෙන යන්නයි
ලක මැද “එක්-සේසත්කොට” එක් ධජයක යට ඉන්නයි
ලක පිවිතුරු පුතුන් දෑත් රට වට “යදමක්” වන්නයි
මව් - පිය නම් රන්දා රට - දැයට දැයක්වෙමිනා
සව් - සිරි දුව කැන්දා නිවෙසට පහණක්වෙමිනා
පෙව්-කිරි ක`ද නිම්මා මව්-බිම රැක රජවෙමිනා
සව් - දිය නිති රන්දා මිහි කුස තුළ සැඟ වෙමිනා
ඇස හිස මස ලේ මදි තැන දිවිය ද දී සමු ගනිද්දි
බැස පසු අත් පා අහිමි ව දහස් ගණන් ගෙට ගෙනෙද්දි
රැස අතැර ව නොයා නොබිය ව ම සටනට මුහුණ දෙද්දි
එ පුතුන් හිමි මව්-පියවරු තැන-තැන ලක කඳුළු බොද්දී
මාරක සටනට වැද මිය ගිය පසු ස්මාරක හැදේවි
දාරක පෙම සිතේ තිබෙන තුරු ඒ මල් පිපේවි
ආදර දූ -පුතුන් මත්තෙ මව්-පියො සිත් තැවුල් දේවි
සාගර දළ පරදන උණු කඳුළු බිබී උන් හිඳීවි
කවිය බලන්න
ගාල්ලෙ පචගහ යට මං හිටියා නේ බොලං!
සංකල්පය: දයා ආනන්ද රණසිංහ
සකල මනා දෙය තිබුණත්-නැති වාදය හිතේ තියෙන
මත වාදය කෙසේ වෙතත් පැන - පැන ගන්නේ
සකල සිරින් නොපිරි රට ද-එහෙව් රටේ අප කවුරු ද
තැන-තැන පොඩි කතා බහට- හැම කන් දෙන්නේ
හිතල-මතල බොරු-බේගල්- ඇද-ඇද කට රසට තියල
ගොන් අං නැති රැළකට - කඩිමුඩියෙ කියන්නේ
බතල කටින් හිටව-හිටව-එකා-දෙන්න ඇමිණෙන තුරු
පචගහ යට පචනේරිස් - බිම සරසන්නේ
කාටත් ඈහෙන-නෑහෙන - ගානට වගෙ මුහුණ බලන්
කෝටුකෑල්ලක් අරගෙන - කොටුව අඳින්නේ
පාටත් හොඳ වගේ පේන-කෙනෙකු විලස අරිහෙළ හැඳ
තරමක වේගෙන් කට හඬ - අවදි කරන්නේ
ආවත්-නාවත් කවුරුත්-ඉන්න දොළොස්-පාළොස් දෙන
බලා නුහුරු මූණට රස - කතා කියන්නේ
මාවත් - පාරත් අවහිර - නොවන පචගහේ මුල සිට
පචනේරිස් දවසේ - කටයුතු අරඹන්නේ
මේ උදවිය හිතන්නෙ දැං-විකුණන්නට යමක් ගෙනත්
කීයට - කීයට හරි දී - මල්ල පුරෝ ගනී කියා
ඒ අදහස හිතේ තියං - හිටියට වරදකුත් නෑනෙ
මගේ අතේ කිසි ම දෙයක්- බලන්න ඔබ තියෙ ද කියා
උදේට කාලත් නෑ මං - දවල්ට කන්නේ කොහොම ද
දෙයියො-බුදුන්ගේ නාමෙන්- මට ලැබෙනව ඔබගෙ දයා
පදේට දිවි බෙරය වදින-වදින ලෙසට දෙපය තබන
අවසර මට පටන් ගන්න-දෙව්-බුදුන්ගෙ ගුණ ම ගයා
කුජ බුද රවි බෘහස්පතී-චන්ද්‍ර රාහු ශනි ද වෙතී
කොටු හිස් වී තිබෙන හතේ-ගත ලෙඩ වෙන්නේ
රවි පළවැනි තැනට නැතී-සඳු දහවල මතු ව ඇතී
දවස ම කලුකර නිති වැහි - කෝඩය දෙන්නේ
බුදගෙ දවස හොඳ පල දෙයි-කුජ කොහොමත් ඇදට හිටී
කේතුගෙ වගතුග ඇහුව ම - සුබ පල දෙන්නේ
එකී- නොකී- මෙකී- බෝම- හිරුට අයිති ග්‍රහයො දැක්ක
එහෙව් කෙනෙක් මේ සක්වල -කවුරු ද ඉන්නේ
හද්දකමට වල් පිටිසර-කොපමණ හොඳ දේ තියේ ද
නගර බැද්දෙ ඉන්නවුන්ට-පිටිසරෙන් ටිකක්
එහෙව් හද්ද කර්කශ ඉම-ඉඳල ආපු මං මේ වළ
ගෙනාවෙ ඒරොප්පෙ හැදූ- පුංචි පෙති ගොඩක්
ගමේ වැවෙන රස ගුණ පිරි-වැඩි ඖෂධ බලේ තියෙන
ගස්වල - වැල්වල සාරය - අරන් කළ වැඩක්
සුදු එව්වන් අපෙවුන්ගෙන්-ගෙන ගිය පුස්කොළ කියවල
අපේ ම බඩු අපට දෙන්න- හැදුව පොඩි දෙයක්
මං ඔය දේවල් කීවට -ගමේ වැවෙන දේ කන මට
කිව්වට පිළි නොගත්තාට -නැහැ කිසි ම ලෙඩක්
දියවැඩියා, හද කැක්කුම්, පීඩනයට රුහිර ගලන
අක්මා, වකුගඩු අමාරු-වලට හොඳ කෙමක්
ඇස් අමාරු, කන් අමාරු - හිරු රුදාව, ඇඟ රුදාව
පැනල යන්නෙ හරියට පිණි- දුටුව වගෙ ඉරක්
හැබැයි පුතෝ මේ බේතට - සෙම් අමාරු ඇඟ ඇත්නම්
නාන්න බැහැ හත් දවසක් වෙයි එය වදයක්
දුරක ඉඳන් ආපු නිසා - හිරු මූදට පනින්ට පෙර
ආපසු යන්නට ඇති - වුවමනාවට වඩා
ආපු එකේ මේ නගරෙට - මේ ඩිංගත් කියල ම - මං
ඉවර කරන්නම් පෙති ටික - ආයු වඩ-වඩා
ඒරොප්පේ සිට ආවත් - කොළොම්තොටට බැස්සත් සකි
මිලට ගන්න යන්න වෙන්නෙ- කොළඹට ම කඩා
කොළඹදි රුපියල් දහයයි - පචගහ ළඟ හරි ලාබයි
ඇත්නම් රුපියලක් - දෙන්න ලාබනේ අඩා!
දැන් නම් හරි හැන්දැවෙලා - පිටිසර ඉම දුරක නිසා
යන්නයි මං දැන් හදන්නෙ- ගන්න තවත් ඉන්නවා ද
උඩ සාක්කු-යට සාක්කු - අත පොවලා දැන් බලන්න
කීයක් ළඟ තිබුණත් මං - බේත දෙන්න ගන්නවා ද
මං දන්නව - මං දන්නව - හිත තිබුණට මුදල් නෑනෙ
ගිනි දී මං විකුණන්නේ - නැති බව දැං දන්නවා ද
අතේ තියන සත විසිපහ - පණහෙ කාසි-දහ-පහළොව
ඉවර කරල යන හින්දා තව කවුරුත් ගන්නවා ද
දවසට එක පෙත්ත ගානෙ - නින්දට පෙර මෙය ගත්ත ම
යහනෙදි පොර පිටියෙ සද්දෙ - ඇහෙයිනෙ හරි-හරි විදියට
කෝකට තෛලය වාගේ-මේ පෙත්තත් ඒ වාගේ
බෙහෙත් හතර - පහක් ගන්න- අවැසි ම නෑ පෙර විදියට
කාලෙත් ඉතුරුයි ඔහෙලගෙ-මුදලුත් ඉතුරුයි ඔහෙලගෙ
බලන්න අරගෙන මේ පෙති - මාස දෙකක් එක විදියට
ආයෙත් මේ පචගහ යට-හමු වෙමු තව බෙහෙත් සමඟ
යන්ට අවසරයි දැන් මට - ආයුබොවන් මේ සබයට!!!
ලිව්වේ : 10.02.2021 දා ලන්ඩන් කවි ජූනි 2021 කලාපය සඳහා
කවිය බලන්න
ආදරයේ මංගල්‍යය
දිය බිංදු මත රැන්දු පෘෂ්ඨිය ආතතිය
හිම බිංදු වට කරන් නැති කිමද කාරණය
සඳ සැංගු රාත්‍රියෙ මඳ අඳුරු වපසරිය
රං ලන්දු ලාලණිගෙ ශෘංගාරෙ දියසුලිය
සමනල්ලු පියාඹා දුර ඇත පැන ගියා
කුරුල්ලොත් කිචිබිචිය නතර කර සැඟ වුනා
සඳ කුමරි තනියෙන්ම වලාකුලු වට කලා
තනිව උන් සුකුමාලි ලාලිත්‍ය ඔප කලා
උත්තුංග දේහයෙන් මන දොලම සපුරනා
අකලංක පිවිතුරු ම ආදරය හඳුනනා
සද්ධන්ත ශෘංගාරෙ හාපුරා අමතනා
කුමරාගෙ හිත අරන් ලාලණිය ඉපිලුනා
06/05/21
කවිය බලන්න
බුදු,දම් ගුණ
නිමල සිරි ඇති
සියපතක දස්නකි
හිමි මුව මඬල රැඳි
දෙසු දම් අමා වැනි
දුර නිසල කදුවැටි
දැහැනකට සමවැදි
මෙත් බවුන් වඩමිනි
සෙත් පතයි බැතියෙනි
තුරු දරා නව පළු
මල් කැකුලු පියකරු
ඒ දිවාකර බුදූ
හිමි නමින් ලොව්තුරු
සඳ වසා මේ කුළු
ලොව කළත් ඝනදුරු
සදහම් රුවන් හිරු
දුරුකරයි මොහදුරු
කවිය බලන්න
කමටහනක්
උවැසියන්ගේ ගෝරනාඩුවෙන් මිදුනු
නොයෙකුත් (සු)ගන්ධයන්ගේ කැළැඹුනු
දුමාරයෙන් පිරීගිය සුළඟිනු මිදුනු
වෙසක් සඳින් නැහැවුනු
බෝපත් ලෙලව ලෙලවා හමන මද නල
නොලදිමි මෙවන් වෙසඟ දිනයක්
පුරාවට සිවුරු දැරූ දසක ගනනක
ශුන්‍යාගාර ගතෝවා රුක්ක මූල ගතෝවා
නොවෙද අද මගේ පන්සල මට එවන් තැනක්
එහෙත් සිසාරා සොයමි යමක්
පසු වී ඇත මැදියමත්
කඨින චීවර ලංසුවෙන්
පිං කැටේ බොල් හඬින්
දහස් ගණන් උවැසියන්
අලෝබයෙන් අද්වේෂයෙන් පිදූ ඒ පිරිකරෙන්
මැතිඳු බල කඩදාසියෙන්
මිළ සොච්චමක් ඇද දමා
ගෙනත් බෝ සමිඳු සෙවනේ
නහවා සුවඳ ගල්වා ගාල් කල
කොරෝනා බැනරය දරා සිටිනා
මුර දොරට යටින් දුම් දමා යන
සති මාස ගණන් ඉන්ධන පිපාසාවෙන්
ටුක් ටුක් හඬට කන් යොමා බලා සිටිනා
අනියත සසර දුන බවුන් වඩනට
නොදනිමි වෙනත් කමටහනක්
බෝ පතුත් ලෙලවනට සමත්
වෙසඟ සඳින් නැහැවුනු
බෝ සමිඳු සෙවන යට නිදි කිරා වැටෙනා
සුදෝ සුදුවන් ප්‍රාඩෝව ඇත
මෙසසර කරන්නට නොම තව දිගු
කුමට වෙන කමටහනක්
කවිය බලන්න
නික්මනක දුක
නොහැඩුවත් ඔබ හඬනගා
දිටිමි මිතුරිය නිහඬ කඳුලැලි
මෑණියන්ගේ නික්ම යාමෙන්
ඔබේ හදතුළ නැගෙන සෝගිනි
දහම් මග වෙත සිත් යොමා ඇති
ඔබට මා බණ කුමට කියනුද
සසර ගමනේ ඇවිද යන අපි
ඇවිත් යන්නට මෙහි පැමිණි අය
එවන් ගමනක ඔබ සමග සිට
තවත් ගමනක යෙදෙන ඇයහට
තව තවත් පින් පමුණුවන මැන
ඇගේ ඒ මග කෙටිකරන්නට
කවිය බලන්න
කියා නොමදී හැඟුම් විකසිත
දිනක් තුල අප ඇදී ගිය දුර
දරා සිතඟින් දවාලනුමැන
මදක් එකිනෙක හැඟුම් මංසල
ඇතුල දුටුවානම්
සිහින විමනේ අගුලු දොරහැර
සදාලූ පෙම් පැල්පතේ හිඳ
දකිනු බැරිනම් මිහිර රසඳුන
කුමක් කරනෙද මම්
ලොවද සයුරද අහස නිම්තෙර
ඔබට පවරා යම් දුරකසිට
කියා නොමදී හැඟුම් විකසිත
සිත් පහන්වේනම්
කවිය බලන්න
පෙම - සැලමුතු
ගැටෙත පියවි නෙත
බොඳ ව දසුන් පත
සිහිවත කලණ මිත
පෙම් මල නොවූ මුකුලිත
සලිත ව හද විල
හඬවයි තැවුල් රළ
අමුතුය මේ සොඳුරු විල්තෙර
සසල යි ඇල් පවන
මුසු ව විල් දිය හඬන
කොඳුරයි අඹපත් ද
සැමරුම් නො ඉවසන
පඳුරු ගොමු ඉම අස
වතළ තණ නිලන බිම
ගොළුය මේ හාද ගල් කුළ
ආවේග බර තෙපුල්
නිදන් කළ පෙමක වග
මව යි අබියස මා
ආතුර නුඹේ මුව
සැනසුම ද නුඹට මේ
විල් ගැඹර මැන බලන
දිනාගත් ඇගේ පෙම
මා ද නුඹදැයි නො දැන
2021.05.12
කවිය බලන්න
රෝග වාර්තාව
උණ නැගල හතලියට හිස මුදුන කරකැව්ව
මගෙත් අවසර නැතිව නෝන දොස්තර හෙව්ව
කුඹුරු වැඩ, කොටුවෙ වැඩ, කියල නොකියන එව්ව
බලෙන් වගෙ මම අරන් රෝහලට ඇරලැව්ව.
හැමදාම ලෙඩ බලන පවුලෙ දොස්තර ලව්ව
උණ බලල, ඇඟ බලල, කොලේ මොනවද ලිව්ව
තවත් මොනවද කිව්ව තේරුනේ නෑ එව්ව
රෝද පුටුවක තියල වාට්ටටුවකට යැව්ව.
කොරෝනලු හැම තැනම මටත් හැදිලලු එව්ව
ජීවිතේ මෙපමන ද පපුව ඔළුවෙන් ඇහුව
ගෑනු පිරිමිද නොදත් ගෝනිබිල්ලන් ලව්ව
කටු ගහල, බට ගහල, ඇඟේ ගිනියම නිව්ව.
හුඟ දෙනෙක් තැති ගනියි රටට දැනුනොත් මෙව්ව
නොකිය බැරි කෙටිම කෙටි පිරිස කවුරුද හෙව්ව
අතට ගෙන සාක්කුවෙ හිටපු පොඩි වැලිගොව්ව
ඇඟිලි ඇන ඇන ඌට සියලු තොරතුරු යැව්ව.
ලබැදි ලොකු පොඩි සැවොම හිස මුදුනෙ ගිනි මැව්ව
සෙත් පිරිත් උන් කිව්ව, සෙත් කවිත් මට ලිව්ව
බෝධියට කිරි හලල පහන් වැටවල් මැව්ව
නාත, ගන, කාලි, සිව, දේව මංඩල හෙව්ව.
මගේ ලඟ බැති සිතක් නැති උනත් වෙත ඔව්ව
අනේ මට ආදරේ නිසයි උන් කලෙ එව්ව
පුද ලබපු දෙවියන්ට කෝවිඩ් ද හිත ඇහුව
වැඳ වැටුන මගෙ එවුන් මගේ සුරලොව මැව්ව.
දින ගනන් රෝහලේ උඩ බලන් කල් ගෙව්ව
මගෙ රේනු මගෙ ලඟම තනි නොකර පව් ගෙව්ව
ගෝනි බිල්ලෙක් ඇවිත් දැන් සනීපයි කිව්ව
සල්ලි නම් තිබුනෙ නෑ නෝන ගොස් බිල ගෙව්ව.
කවිය බලන්න
අසිරිමත් පොසොන්
පොසොන් මහේ රැස් විහිදූ මෙපෝදා
ඇසෙයි වටින් සම්බුදු ගී ගිගුම් දී
අපිත් අරන් මල් සුවඳින් රුවින් යුත්
බුදුන් වඳින්ටා යමු සිත් නිවාලා
මිහින්තලේ මස්තකයේ සැපත් වී
දහම් දෙසා රැස් කලඹක් විදාලා
මෙලක්දිවත් ඒ රසයෙන් නැහැව්වේ
මෙවන් පොහෝ දාකදි මයි නොවේදෝ
බැඳේ තොරන් ලස්සන වූ විලාසෙන්
කියා දෙවයි ජාතක පොත් කතාවන්
පිපෙයි හදේ ඉන් බැති මල් බොහෝ සේ
වඳිම් උතුම් වූ මුනිඳුන් බැතින් මම්
අගේට දන් සැල් අරඹයි දසන්තේ
සැදෑ සිතින් යුත් මිනිසුන් විලාසේ
ලොවේ කොහේවත් වෙන නෑ දකින්ටත්
අමා නිවන් බැව් පමණයි පතන්නේ
මහන්සි වීලා නිවසේ සියල්ලන්
සදයි පහන් කූඩුද එක් වෙලා මේ
එයින් පිපේවී සමගී රුවන් මල්
මෙයයි පොසොන් දා අරුමේ සිතේවී
අපිත් සුදින් දැන් සැරසී නිවන් සිත්
යමූ රකින්ටා අට සිල් මෙපෝදා
දුරස් වුණෝතින් අදමින් කෙසේ හෝ
නිවන් පුරේටත් හැකි වෙයි ඇදෙන්ටා
("උපෙන්ද්‍රවජ්‍රා" විරිත)
02.05.2021
කවිය බලන්න
හුස්ම
කළු වලාගැබ
උඩුබිරුම් හඬ
අකුණු සර
තරඟයක අදත් නුඹ.
තරඟ නම් බෝමැයි
දියවූ,පතුල් සලකුණැයි
දුක් ගැහැට මැද දිවූ
තණ තීරු අපමණැයි
තුරු හිත් බඳ යට
නැවතී හතිලමි
බලෙන් හිටුවා ලූ
පහර කෑ මුල් නහර
යළිදු පිරිමැද බලමි.
ගලවමි පා වැසුම
සංකා දුක් උසුල
පෑගිය නොහැක බිම්කඩ
මියයන බැවින් ඵල
එහෙත් ගැලවිය හැකිද
මේ සිර මුව වැස්ම.?
නිරතුරු මුව දොවන
සුළඟ නුඹ කුපිතව
රැගෙන යනු ! වීදි අංශුව
ලොව දනට රහසින්
පුහුණු කලෙද කවුරුන් ? මේ සරඹ..
මල් සේ විසුල.හලා හල විෂ.
නොලද මුදු එන්නත,
දරාගත යුතුය ස්වසනාලය
උරා ගතයුතුය පෙරලෙස.
තර්ජන ඇතැයි
ඝර්ජන වෙතැයි
කවරකු කීවද
අත් හල හැකිද මිනිසෙකුට ?
නිදහසේ හුස්මක සුව..
21.05.2021
කවිය බලන්න
සැලමුතු සෙනෙහස
හිරු නින්දට ගිය මොහොතක
සඳ තරු එන්නට කලියෙන්
රබර් කැලේ ගල් පොත්තත
වහං වුනේ අපි
ලොවට හොරෙන් බැඳපු සෙනේ
ගත සිත ඉල්ලූ දවසක
උනුහුමකට ගුලිවිි
හුවමාරු කලේ අපි
මතු දිනයක පෝරුව මත
ගිගුම් දෙවන බෙර හඬ මැද
කැලල් දැනී ඇදවැටෙතැයි
බියවුුයෙත් අපි
එකම බිමක උපන් නමුත්
කිසිම දිනෙක එක් නොවෙනා
කුල ගොත් බැමි බිඳලන්නට
වෙර දැරුවෙත් අපි
එක්වන්නට වරම් නැතිව
වෙන්වී ගිය අඳුරු දිනෙක
කඳුලු හදවතේ සඟවා
සිනාසුනෙත් අපි
කල්ප කාල ගතවෙනතුරු
නුඹත් මමත් නොදැක්කා ට
හිත ඇතුලෙන් ඒ සෙනෙහස
අලුත් කලෙත් අපි
අද ආයෙත් නොසිතූ ලෙස
අහම්බයෙන් හමුවු විට
හිතේ කිලුටු කහට නැතිව
කතා කලෙත් අපි
සංසාරේ හමුවන තැන්
තවත් බොහෝමයක් තියෙයි
ඒ පැතුමන් හදේ දරා
වෙන්වී යමු අපි!
කවිය බලන්න
අනාගත පැතුම
සිහින හිස මත පොදි බැඳ
තැත් නොකර ඉගිලෙන්නට
වඩ දියට බා දියට
සසල නොවන්න කිසිදා
ජීවිතය ගැට ගසන්නට නොව
සුවහසක් ජීවිත
මුවහත් කොට සුවපත් කර
පන්නරය තබන්නට
වෙහෙසෙන්න දිරියෙන්
හැර ගියත් දිවි ගමන
හැර නොයන අදිටනින්
ඉතිරි කරන්න අරුතක්
නොබලා වෙහෙස
සිතන්නට මතු පරපුරට
දිනන්නට අනාගත පැතුමන් !
කවිය බලන්න
මගේ ආගම
කුරුලනි පියාඹන නිදහසෙ නිල් අහසේ
සතුනි වෙසෙන මිහිපිට සතුටේ සුවසේ
මසුනි විඳින සුව නිල් ජලයේ පහසේ
ආගම කුමක් දැයි මට කිව මැන රහසේ
නිවන ස්වර්ගය අපාය නිරය ලෙසේ
වෙන්කර තිබේ ඔබ දහමට අනුව මෙසේ
සහතික නොමැති මුත් අදහමු වේය එසේ
නැති වුණොතින් බැරිවීවත් වෙයිද කෙසේ
පායන ඉර හඳත් තරුවක් වෙනස් නැතේ
එක වාතයයි බොන වතුරත් එකම වෙතේ
වෙනසක් නැතිව ඇට මස් ලේ එකම රතේ
ඇදැහිලි වෙනස අණුවන දැක්මකිය හිතේ
උපදින පවුල ලියවයි ආගමක් පොතේ
වෙනස සදන්නේ සිදුවන තැන උපතේ
නොසිතා බෙදී හෙලමින් තවකෙකු විපතේ
ඒ මත ගැටී යනු ඇයි බිම් යහන වෙතේ
මෙහි ආවොතින් පමණයි ගැලවෙන්නෙ පුතේ
කියනා සැමගෙ මුල් ඇදෙනා මුදල වෙතේ
යථිවර දහම් නොමිලේ දෙන කෙනෙක් නැතේ
දෙවි රූ පවා ඇත හිඟමනෙ නැතිව කැතේ
උපයා තුට්ටු දෙක වෙහෙසී බොහො දුකසේ
පුදදී රකිනමුත් පූජක කැළ සුවසේ
රකිනට මිනිස්කම නොම ගන්නා වෙහෙසේ
ප්‍රතිඵල සිටිමු විඳ ගනිමින් අද දවසේ
ගෙවමුව දිවිය යහපත කරමින් මෙලොවේ
කුහුඹුවෙකුටත් වරදක් නොවනට පොළොවේ
හැමවෙත ප්‍රේමෙයෙන් සිටියොත් තමයි ලොවේ
ලැබෙනුයෙ දිනුම මතුයම් දිනකදි එලොවේ
නවතා මිනිමැරුම කෙළෙසන ආගමෙ නාමේ
අරඹමු රකින්නට දිවි පතුරා සාමේ
මිථ්‍යාවෙන් මිදී අදහමු ආගම ධර්මේ
කිම වුව ලැබෙයි මළ පසු යහපත් උරුමේ
කවිය බලන්න
සිත්මිණි රැළි
දිරන කුණු කය සමග ගැටෙමින්
පිඹුරු සිතුවිලි දැවටෙමින් විත්
උඩට පහලට තෙරපි තෙරපී
මහරු මැදුරට පියඹමින් යයි
කෙලෙස් කුකුළන් හඬන අළුයම
මාර දූ වරු ඉර වසා යයි
රඟන අංගන කොතෙක් පාවෙද
සැණෙන් රන්මිණි වැලි දූලි වෙයි
සිතග සුළි සුළි ඇඹරෙමින් විත්
කහට පැල්ලම් හලන බිම මත
පහන් දැල්වෙන දුමින් නැගෙනා
සුවඳ නෙතු මිණි අනන්තෙට යයි
සිත් තරංගයො මවන දුන්නෙන්
රැලි පෙළක් නොබිඳෙමින් ගලමින්
සයුරු වෙරළ’ග ඉමක් නොපෙනෙන
විඩාවක දුක් නෙත් සරස යයි
කවිය බලන්න
තාත්තා නැති වෙසක් පෝය...
කොස් ගහ උඩින් නැඟ එන විට හඳ පාන
හැංගී එබෙයි එහි දියවෙන තරු රෑන
අත් තටු ගසා ඉගිලෙන මා වවුලාන
සද්දෙට නුඹේ ගැස්සෙයි දකිනා හීන
බකට් පහන් එල්ලෙයි අඹ අතු අස්සේ
අට පට්ටමත් සිරි සිරි නදකින් ගැස්සේ
බුදු රැස් වළල්ලේ එළියට තණ බිස්සේ
රඟනා කඳෝ පැණි එළි අද පසු බැස්සේ
තොරන් බලන්නට ඔබගේ සුරතෙ වෙලී
පිය නැගු අයුරු සිහිවෙයි කඳුළකම ගිලී
පුන් සඳ නැඟී ආවද නුබ කුසෙහි දිලී
අඳුරුය මගේ දිවියම නැත එළිය යලී
බුදු පහනෙහී සිල නැලැවෙන මද නලින
මුළු පරිසරය සැනැහෙයි සිසිලක් දෙමින
ඔබ නැති නිවස පාළුව තනිකම පිරුන
කොතරම් එළි ඇතද අප අඳුරෙම හෙලින
කවිය බලන්න
සසර සයුරින් එතෙර වන්නට සතට හැකි මඟ දුටු දිනේ
එතෙර වන්නට - සසර සයුරින් සතට හැකි මඟ දුටු දිනේ
හිමි පුදන්නට - වෙහෙරකට යා නො හැකි මුත් තෙල් මල් ගෙනේ
දස මරුන් හට - මඬිනු බැරි වුණු දම් සවිය සිත - ගත දැනේ
කොරෝනාවට - කුමට පැරදෙනු, තෙද බලැ’ති සිවු හෙළයිනේ?
සිඳු ගොඩට එත - පරඬැලට තණ නොමැති මුත් සුරැකෙන පිනේ
මහ මෙරට ඇත - සවිය නොසැළෙන, සැඬ සුළඟ පිපුව ද පෙනේ
හෙළ දැයට හිත - බිම නොවිකුණන - රටට ණය නැති - මිනිසුනේ
බිය අපට නැත - කොරෝනා උණ දහක් ආවත් හෙට දිනේ !
ඇති දිවැසෙ දිස - කුළුණු මෙත සිත සුගත සම්බුදු සමිඳුනේ
බැති සිහළ දෙස - යොමා බුදු නෙත වැඩ නැවත ගෙන දම් සෙනේ
ගැති කමෙහි විස - දුරැර දස අත කවා ගුණ - නැණ තෙරුවනේ
නැති සතිය හිස - පුහුදුනට හිත නිවන මඟ යළි දෙසු මැනේ !!!
කවිය බලන්න
මෝහිනි මා උමතු කළ
නසා මා
නැසෙන මෝහිනියේ
මරා මගේ නිදහස
නඟයි නුඹ අද නුඹේ ජය ටැඹ
වල දැමූ බිම මගෙ ආත්මය
උනා දිය ගෙන නිල් නුවන් ඌලෙන්
මැට් පිඩක් කර මගේ හදවත
තනයි නුඹ හිතලු නුඹේ ලෝකය හැඩකරන්නට
මිටින් ගත හැකි ඉඟ සුඟ
රන තිසරු කෙලිනා ලැම විල
බිලි කරයි මගේ රාග ගින්නට
මරා මගෙ සිත උමතු කල රුව
සදා සුව යහනක්
අපේ ලොව දිනු
නුඹේ බිළිඳුට
තවරලා ඇස නේක අංජන
සොයන්නි අද
මිලින වන වත සුපිපි සියපත
නසා මා නැසෙන මෝහිනියේ
2015 / 12 / 03 - 04
( සියළු ස්ත්‍රි පුරුෂයන් එක් ව වැස මුහුණ දෙන
සර්වකාලින ජිවන යථාර්ථය )
කවිය බලන්න
පොතේ නැති හිතේ දුක
මීදුමෙන් වැසී ගිය මූසලම
කඳුකරේ
සීතලෙන් ගල් ගැසුනු හදමඩල
කඵවරේ
ආදරෙන් ගිලන් වුනු නෙතඟ කඳුළින්
පිරේ
ජීවිතෙන් පලක් විද ගෙවුනු මේ
මන්දිරේ
රජ සැප පතා රංදෝලිය වෙන
ලෙසිනේ
මදුරා පුරෙනි පෙර දවසක නැව්
නැගුනේ
නිති දුක මිසක කිසි සතුටක් නැත
ලැබුනේ
කවි දෙපදයක පමණය සැනසුම
රැඳුනේ
දකිමින් හීන සෙංකඩගල අහස
යට
අඬමින් සිතින් එක එක රෑ ගෙවෙන
කොට
පසෙකින් හිඳන් නුඹ මගෙ දුක අහන
විට
තව ලං වුනා නුඹගේ කවි සිතම
මට
දෝලිය යකඩ රජ පහසේ
සැතපෙද්දී
ලෝදිය වගේ උණු කඳුළැල්
වැගිරෙද්දී
මා කල වරද ඔබ වෙතටම
පැවරෙද්දී
ලෝකය අහිමි වුනි ගෙල කග
සිපගද්දී
අයදින කලදි ලැබදෙන මෙන්
ජීවිතයක්
නොලැබුන විටදි සිත සනසන
ආදරයක්
ලැබදුන් ඔබට හිමිවුන මුත්
මාරකයක්
මගෙ මළගමට රජ අණ වුනි
බාධකයක්
හෙලු සෝ සුසුම් ඇත තවමත් හමන
නලේ
ගැලු උණු කඳුඵ ඇත මහවැලි ගලන
ජලේ
හද නැගි ගින්න අවුලයි තව නුවර
කැලේ
අප පෙම නොමැරේය හදවත් තුලින්
හෙළේ
කවිය බලන්න
අංඟන රංගන
තුන්පොට සේලය සීනිඟටායා
බීරලු හැට්ටය පුන්ලයටායා
සාල වනේ පිපි මල් හිසටායා
රන් සලඹේ රුව පාද කැපේයා
අංජන කුංකුම ගල්ව වතේයා
පීර වරල් පිට මැද්දෙ හෙළායා
කෝල බැලුම් වත රූ සුදිලේයා
නාරිලතා මල සේ බැබලේයා
රන් තැලි එබ්බවු මාල දිලේයා
තෝඩුද කන් පෙති මත්තට ඒයා
දෑතෙම රන් ගිරි සන් නද දේයා
පාද තබා ලලනා සබයේයා
කන්කලු සුන්දර ගීත ඇසේයා
රැස්දෙන රංගන දෑසෙ පිරේයා
මන්ද පමා නුඹ පාළු දැනේයා
අන්දව මන්දව මා පසුවේයා
තරඟවැල විරිත
බ ගණ, බ ගණ, බ ගණ, ගුරු, ගුරු
එළිසමය පාදාන්තයේ
(බ ගණය - ගුරු, ලගු, ලගු)
කවිය බලන්න
පොසොන් දා
බුදු පුද පිණිස දැල්වූ දුම් කපුරු හඳුන්
පැතිරෙන සුවඳ විහිදේ ගව ගණන යොදුන්
නිලඹර පොසොන් සඳ වී එන විටදී මුදුන්
සිහිපත් කරමු අනියත දම දෙසූ බුදුන්
හමුවන සඳෙහි දෙව්පෑතිස් නිරිඳු සඳ
කළ ඇරයුමෙන් දෙව්, බඹ, නර පිරිස මැද සුළු
සුළු ඇත් අඩිය උපමා කොට දෙසන ලද
සම්බුදු දහම අද සිරිලක තිබෙන වද ?
හිමිහිට නඟින විට පඩිපෙළ මිහින් තලේ
දෙසු දම් මිහිඳු හිමි රැව්දෙයි සවන් දැලේ
දැල්වෙන දොළොස් මහ නොනිමෙන පහන් සිලේ
එළියෙන් ගිලී කිමිදෙමි අම දහම් විලේ
කවිය බලන්න
රත්නගෙ මළගම
පැදුරක් ඇඳක් රෙද්දක් ඇත අගුව කොනේ
මිදුලෙහි පුටු පෙළට අඹ ගස් සෙවන දැනේ
සුදු කොඩි දෙකක් පොල්ගස් දෙක අතර වැනේ
කඳුලෙන් පිරුණු නෙත් මැලවුණු මුහුණු පෙනේ
සීතෝ දයේ දුක් පෙණපිඬු නගන ලෙසේ
කතෝ නිසුත් පුතු මළ සෝකයෙන් වෙසේ
"පුතෝ නුඹ නැතිව මම වෑවෙමිද කෙසේ "
ලතෝ නියක් සුළඟට පැහැදිලිව ඇසේ
මිත් නෑ පිරිස බඩ බැඳගෙන සිටිය අනේ
හිත් තිය මැණික අද මළ මිනියක්ව පෙනේ
රත් නගෙ ජීවිතයෙ තොරතුරු කියන මෙනේ
පිත් තල පහනෙ සිල ඒ මේ අතට වැනේ
අත් දෙක පපුව උඩ රැඳෙමින් ඇඟිලි බැඳ
නෙත් දෙක වැසී මුව සුදුමැලි පැහැය වැද
වත් තට පෙනෙන්නට සාලය අතර හිඳ
රත් නේ මොකද උඹ නොනැඟෙන නිදිද අද
අයි යෝ ගමේ වැසි වැඩිහිටියන්ගෙ මුවින්
සයි රෝ ගියා නමලත් ඉරණමෙහි පවින්
බුයි අප්පුගෙ පුතා පරලොව වැඩිය බැවින්
ගෙයි පින්තූර නොපිටට පෙරලුනිද සොවින්
හිඟ නැහැ සෙනග නම් හිතවත් කමට ඔබේ
ළඟ දුර නෑ මිතුරු පෙළ දෙණ අවට හෙබේ
දිග සුසුමකින් පසුවෙන අවමඟුල් සබේ
සිග රට් සුරුට්ටුත් බුලතුත් පසෙක තිබේ
මාසය කට ඉහත මා එනකොට වැද්ද
වේසය අහෝ නැවතත් කෙදිනක දෙද්ද
කාසය හැදී මළ රත්න ගෙ සිල් රෙද්ද
මේසය උඩට දැම්මේ වරදක් නැද්ද
රැස් වී සිටින පිරිසට රස බසක් නොදී
බස් නා හිරට හිස යොමුකොට රත්න නිදී
ඇස් අග කඳුළු දැක හැමගෙම වැටෙන බිඳී
වෙස් සන්තර ජාතකය දොඩමළුව ඉඳී
කවිය බලන්න
සංත්‍රාසය
සූරා ගෙන අන්සතු සකලේ
රන්මසු පොදිබැඳ සඳලුතලේ
අත් හල නොහැකි ව සුසුම් සැලේ
මරණය අබියස ලොව සසැලේ...
හොඳ සිහියෙන් හුස්මක් යදිනා
දහසක් දෙන දුටුවෙමි හඬනා
මොහොතක් ඉන්නට දිවි රැකෙනා
සහසක් දේ කලමුත් නැසුනා...
කෙනෙකුට වෙනසක් නොවන ලෙසේ
සැමට ම පෙර පින් පව් විලසේ
පිලිගත නොහැකි නමුත් සතොසේ
මොහොත පැමින කල යා යුතු වේ..
21/05/21
කවිය බලන්න
අස්ථිර ජීවිතය
අරුණලු රැස් කිරණ මැදින්
විහගුන් ගී හඩ අතරින්,
හිමිදිරියේ උදා එළිය ....
නව දවසක් එකලු කරයි .
සැදෑ අදුර පැතිරෙන විට
හිරු අවරට ගොස් එදවස
අදුරු ලොවක ගිලී යාම
වලක්වන්න හැකි කාටද?
ලස්සන මල් කැකුළු කිනිති
බිගුන් රාගයෙන් මත් කර
සුවද විහිදුවමින් දසත
විකසිත වෙයි. අනේක වර
ඒ කුසුමම ටික දිනකින්
අතු අග සිට බිම පතිතව
මුකුලිත වී පරවී යනු
වලක්වන්න හැකි කාටද?
දිනකට දස දහස් වරක්
සුසිනිදු සුදු වැලි තලාවේ
ගොඩට ගලන මුතු පෙණ රැලි
ගල් පර වල වැදී නැසී
තණ අග රැදි පිණි බිඳු මෙන්
සුදෝ සුදට නැගි ජල කද
වැල්ල මතම වියලි යාම
වලක්වන්න හැකි කාටද?
දෙහදක ආදර විමනක
මල් පල හට ගත් සමයක
කුළුදුල් නව ජීවිතයක්
කැකුලක් ලෙස උපත ලබයි.
ඒ දිවියම ටික කලකින්
ලේ, මස්, ඇට දිරා ගොසින්
මෙලොවින් සමු ගැන්ම වුනත්
වලක්වන්න හැකි කාටද?
යුගයෙන් යුගයට නොදැවී
නොමියෙන එක සොදුරු රහස
දස දහසක් බොදු ජීවිත
මෙත් සිසිලෙන් ඔකද කරන
අප හද තුල සුවදවත්ව
විකසිත වී දිලෙන මිහිරි
නිර්මල බුදු දහම් කුසුම
වැලද ගනිමි සදාකල්හි.
සම්මා සම්බුදු පියන්ගේ
ඔවදන් මාවතේ යමින්
අස්ථිර මේ ජීවිතයේ
ස්ථිර එක අමා දහර
සදාකල්හි ආලෝකය
ඔබේ නුවන් හෙළි කර දුනි.
සමිදුනි ඔබෙ පා අභියස
මා හද බැති කැකුළු කුසුම්!
වලක්වන්න නොහැකි සිද්ධි
නවත්වන්න නොහැකි කරුණු
තත්පරයෙන් තත්පරයට
විපර්යාස වෙන ලෝකෙක
අස්ථිර ජීවිත ගමනේ
කරදර බාධක හමුවේ
නොසැලී නොබියව සිටීම
බොදු අප හට අරුමයක්ද?
කවිය බලන්න
ඔබ ද මම ද පිටුපෑවේ පෙර සසර
හද ගිනිගනී මතකය පිරි මුහුණුවර
හැරදා ගියේ හිත
නො හොඳින් එකෑවර
ඔබ ද මම ද පිටුපෑවේ පෙර සසර
ඒ තරමට ඉඩ තියෙනව පෙර අපර
කීකරු අකීකරු පැවතුම් පොරවගෙන
එකෙක් කියන දේ අනෙකා නො අසමින
තරුවක් දුරට දුටුවත් ඉන් නො සැලෙමින
මලක් වගෙයි ඈ යනවිට දුර ගමන
නො ගැඹුරු මුහුද දුර ඈතට නැගෙනහිර
නිරුවත් සිරුරු ලුණු වතුරට මුවාකර
හඳුනාගත් මොහොත තෙතබරිතව මුහුණුවර
දන්නේ මමයි උඹ නැහැ මේ අතුපතර
ලෙහෙසියි අතීතය දැං එය ඉවර නිසා
මම තනියම ඔබ යන්නම ගියපු නිසා
කොහොම කියමි ඇහුවෙ ඇයි මලක් නිසා
පිපුනේ පරවුනේ ඒ මල්වල සිරිත නිසා
කවිය බලන්න
නපුරු කාලය
මේ මිහිරි මල් සුවඳ
ඉවරයක් නැති කුරුලු ගී නද
ගලා යන ගඟ දිය කඳ
මතක් කරනවා ඔබ මට
වසන්තය මිදුලට ආවට
මලක් නොපිපුණි ඔබේ තුරු හිස
ඒ එකම එක වරදට
තියුණු සැතකින් වෙන් කළා අප
මල් පිරිවැරූ ගසකින්
මලක් ඉල්ලා පළන්ඳා හිස
රැක ගනු නොහැකි විය මට
මගේ ආදර කොළ පිරුණු ගස
පතොක් කටු මත පිණි බිඳු
මල් වගෙයි ඇයි නොපෙනුනේ මට
ඔබව රැක ගනු බැරි වු වරදට
මේ කඳුළු හොඳටෝම මදි මට
වෙන් වුන නිසා අප
නැවතුනේ නෑ ලෝකය
ඉපල් නටු අග පළන්ඳන්නට
මල් අරුංගල් දිලෙයි දස අත
ඉතින් මා සොඳුරිය
ඔබ මට හිමි වු එදවස
පැමිණේ පොසොන් මස
නැවත යයි මට කඳුළු ඉස ඉස
කවිය බලන්න
දරු සෙනෙහස
රුදුරු මිනිසුන් සිටින මෙලොවට
උපතින්ම බිය වුනෙමි මම
පිළිසිඳගත්දා මා කිරි කැටි පුතුන්
ඉකිබිඳ හැඬුවා මතකයි හුදු ආරංචියට
සිතුවා වැරදියි හැඟුනා මට
දුටුවිට කිරිකැටි මුහුණු පොඩි
ආශීර්වාද ලැබුවා මා මව් පදවියට
දුන්නා පුතුන් මට නව ජීවනයක්
හාපුරාකියා පාසල් ගියදා පුතුන්
මගෙන් ගිළිහී ගියාදැයි ලොබ සිතුනා මට
විවේකයේදී මා වෙත දුව විත් ඉඹ ගත්තා මගේ කුස
දැනුනා ඔවුනට එය සුපුරුදු නිවහන බව
සය අවුරුදු නිහඬතාවය බිඳිමින්
නැගණිය මතු උනා -බලාසිටි තෑග්ග ඇයයි
නිවස එකම සැණකෙළියක් කල ඔවුන්
ආදරය දයාව කරුණාව හඳුන්වා දුන්නා පවුලටම
මව් පදවිය ලද දුව දුන්නා මට මිණිබිරියක්
හුරු බුහුටියි ඇය මාගේ ප්‍රාණයයි
මා දුටු විට ඇගේ සිනහව කෙළිලොල් බව
පාලනය කර ගන්නට බැරි ඈ ඒ මේ අත දුවයි
කවිය බලන්න
කෝවිඩ් මැද ගෙදර වෙසක්
තවම නිල් අහස්කුස
වෙසක් සඳ දිලෙනවා
සමු අරන් යන්න පෙර
ඇස් කොණින් බලනවා
බල බලා හිනාවී
සුසුම් වැල් ගොතනවා
වළා කළුලෑල්ලේ
මොනවදෝ ලියනවා
"වෙසක් සැරසිලි නිතොර
වෙසඟ දා පුරන්නේ
තුරඟ තරගයක් මෙනි
එයිනි හිත පිරෙන්නේ
හුදෙකලා වී මෙවර
තම සිතම විඳින්නේ
ඒ නිරාමිස සතුට
කොයිබින්ද ලැබෙන්නේ"
කවිය බලන්න
යක්කු එළවනු ලැබේ..
තද ඉරි ඇන්දම
පපුව මත
නොදැනීම ඇලවෙයි
සිරුර මත
සන්නි දහ අටම
නැටුවත්
යන්නෙ නැති
යක්කු ඉන්නව
හුස්ම මත...
කතාවටදෝ
දන්නෙ නෑ
ඇඟේ රිද්මෙද
දැනෙන් නෑ
මොකක් වූවද
වහ වැටුන තැන
දන්නෙ නෑ හිත
දන්නෙ නෑ
මොකක් කිව්වත්
වැහිලා ඉවරයි
වස් වැටුන ඒ
යක්ෂයා මත...
බාර පුද පඬුරු
දෙන්නම්
කවියෙ මන්තර
බැඳල දෙන්නම්
මේ යකාගෙන්
ගලවගන්නට
වස් වැදුන තැන
හොයල දෙන්නම්
පහතරට තොවිලුත්
නටන්නම්
බෝදි පූජා
කවි කියන්නම්
වහ වැටුන තැන
ඇත්ත කිව්වොත්
අම්මපල්ලා
එළව දෙන්නම්...
කවිය බලන්න
අත් හැරීම
මලත් අතහැර නොයමි දිවුරා
බදාගෙන හිටියාට මල් කෙමි...
හීන් පිනි වැස්සටත් වෙන් වෙයි
ස්ව කැමැත්තෙන්,
ඇතැම් මල් පෙති...
කවිය බලන්න
දූපතේ නීතිය
ලන්දේසි,පෘතුගීසි
අන්තිමට ඉංග්‍රීසි
මිදීගත්, මුදාගත්
දුපතේ වැසියන්ට
විඳවීම් හැරුනුකොට
සැනසීම උරුමනැත
නීතියක් නැතිරටක
චාරයක් නැති විටෙක
චරිත මතුවේ විකට
විකල්පය විලසකට
කුළු පහරකින් තදින්
කළුගලක් බිඳින ලෙස
පඩිපෙලක, බිත්තියක
වද්දවා රුදු ලෙසට
යුවතියකගේ හිසක්
කඩාබිඳ විසුනුකර
කැබලි හැටහතරකට
පෝරකය වෙතයැවූ
රුදුරු, ධනවත්, උමතු
වධකයා වෙතට ගොස්
ලන්සුවක් හෙට්ටුකොට
වටාපත කරකවා
සිසිල් සුළඟකුත් විද
අසපුවෙන් රජගෙදර
සතරකන් මන්ත්‍රණය
රජුට වැඩියෙන් බරක්
සඟුට ඉන් හරිඅඩක්
රන්කාසි බෙදෙනලෙස
ලබාගත් අත්සනින්
වධකයා නිදහස්ය
අසරණය උසාවිය
නොපෙනෙනා ලෙස කිසිත්
දෑස් බැඳ අගුළුලා
සමබරව අතක රැඳි
රන් රුවන් තරාදිය
වැලපුනා මහහඩින්
පිරුණුකය වසා සිටි
සළුපටද බිම වැටී
නිරුවතින් විලිබියෙන්
ඇය හඬයි ශෝකයෙන්
ඇඳිවතට පමණක්ම
උරුමකම් හිමි අහිමි
වියළි රළු රතු බිමේ
අහිමිවූ බිම්කඩේ
ගුණ අගුණ දකින්නට
කුසගින්න දරාගෙන
දරුවන්ද වඩාගෙන
ගියපිරිස සැපෙන් අඩු
පිරිසටම වැටුණි නඩු
පහරදී, පුළුස්සා
දරුවන්ද, මහඋන්ද
අටදෙනෙක් බෙලිකපා
මැරූ නිල වධකයන්
නීතිපොත අනුගතව
පෝරකය වෙතයැවුණු
කළුචරිත සියල්ලන්
සුදුචරිත විලසකට
රජ අනින් නිදහස්ව
පියාඹා යන රටක
හෙටදවස කෙලෙසකට
උදාවේවිද අපට?
වයරයක් තුලින් එන
හඩට බියපත් ලෙසට
බියගුලුව ලෙස නිවට
නිගරුකොට තුලාවට
වැදු මව් පදවියට
හැදූ පිය නාමයට
නිගාවක් නොවන්නට
උපන් මේ දේශයට
නමක් පවතින ලෙසට
තීන්දුව, තීරණය
දුන් දිනක ඔබ රටට
නොමැතිදින ඔබෙ සුසුම්
විනිසුරාණෙනි! උතුම්
කනත්තේ සොහොන් මැද
ඔබෙ සොහොන බැබලේවි!
සොහොනලත් පොලව මත
ස්වභාව ධර්මයේ
සියලු හදවත්වලින්
සුවදමල් පිබිදේවි!!!
කවිය බලන්න
පරාජයේ සතුට
පැටිකල ඉගැන්වීමි
ඔහුට
මව්බිමේ දිග පළල,
කඳු, හෙල්, ගංඟා ගැන
තේ, පොල්, රබර් ගැන
පැමිණ ගැටවරවිය අද්දරට
උගෙන මහා විශ්වයේ තතු
නඟයි පැන එක පිට එක
තර්කයෙන් මා හෙළන්නට රිසි ව
පිළිගනිමි මගේ බැරිකම
කොතරම් සතුටක් ද
මේ පැරදුම
මුනුබුරාට
කවිය බලන්න
වදන් කවි පොතේ සිත්ගත් කවි
අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා
වල කොළ බිම අතුට නිදි නොලැබ දුක් තකා
කල් ගිය රෙදි වරැළි ඇඳ දැලි කුණෙන් වකා
ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා
කවිය බලන්න
අවසන් විග්‍රහය
හිනැහුනු මතක තිබුනත් දේදුනු පාට
හඞනට තියෙන සමුදුර පවසමි කාට
සුහදන් වෙන්ව හිස්ලොව තනිවූ දාට
හිරු නොදකී සඳ මත සැදි ආවාට
අරුතක් සොයා සැරිසැරුවත් කල් බෝම
දිවියේ අද්දරට ආවේ නොදැනීම
ඉසුරු සොයා නොනිවුන සිත පෑරීම
තවෙකකු හස දැකුම විය එක සැනසීම
හැමදා නියං පින්නෙන් නෑ දුරුවෙන්නේ
විඳිනා කලට මී රස නෑ සිහිවෙන්නේ
නටනා විටයි දිය නුවනැස පෑදෙන්නේ
කල හොඳ පමනි මතුදා මලගම් එන්නේ
කවිය බලන්න
මිතුරනේ ඒ නිරෝධායනය කළ මිතුරාය
කපා අඹ ගෙඩියක් විලස බුහුටිව
නෙල්ලි ගෙඩියද
බෙදා හද බැතියෙන සම ලෙස
මිතුරු කන්දටද පා මුලට ද
සුව ලැබුව මිතුරාය...
බිරිය දූ දරු පමණක් නොදුන්
වෙසතුරුය..
පරෝපාකාරයෙන් හිත බැඳුණ..
ම්තුරනේ නුඹලාගෙ ලඟ රැඳුන
නිරෝධායනය කළ අද..
සැකෙවින සැකයෙන..
කුටුම්බයෙ සුසුමින් පවන් සැලුනා මිසක
ඇඟිලි කීයද තට්ටු කෙරුවේ ඒ හිත් දොරට..
සෙල්පෝන් සිනා කෙළි කවටකම්
විෂබීජ හරණයව ගොලු විණිද?
හඩකින පවා ඇදෙති ය බියෙන වෛරස..
ඇද දැමුවෙද මිතු දම පයිසෙට..
සැගවිණිද "සකිසඳ" සඳ..
නුඹ ව අනුපූරක ව
කතා නම් ඇත දසතම..
නුඹ රැඳුණු,
ආව ගිය තැන් ගණින..
පාවා දෙන සන් කරන..
පාප මිතුරකු ලෙසින ගොනු කරන
බලන් ඒ සොඳුරු මිතුරු කැළ..
රෝග කාරක පවා නැතිවද හමුව
දීග දෙන සමගින ඒ දායාද
ලෝබ නැතිවම
මිතුරනේ නිරෝධායනය කළ මිතුරාය
ඒ..
සැකවින් ම සැකයෙන....
නෙල්ලි ගෙඩියෙද කවා නෙක මිතු රස
කන්දටද පා මුලටද බෙදූ සම ලෙස
සිපිරි ගෙට යැවූ නුඹලාම
රෝග කාරක පවා නොමැතිව හමුව.
කවිය බලන්න
ග්‍රාමාරක්ෂක
නිදන් හොරු ඉවකරන ,
කන්ද උඩ ලෙන් වෙහෙර,
මුරකරන නිදිවරන ,
තුරුණු සෙබළෙකි ,
ග්‍රාමාරක්ෂක නමැති .
තළයි මදුරුවෙකු නළලත ,
සපයි විට නිදිමතට .
ගිනි අවිය,
වාරුවී,
මුරගලට .
ගැළවූ පාවහන් මත ,
ගුළිවී නිදනා බළලෙකි ,
ඈත වනගැබ තැනෙක ,
නිවෙන, දිළෙනා එළියකි .
ඒ ඔහු දිළිඳු පැල,
බිරිඳ හා පුතු නිදන.
වැව දෙසින් හමා එන,
සීත උදුවප් සුළග ,
මොනවදෝ මුමුණමින් ,
ගිරි සිරස සිපගනී.
ඈනුමකි ඉන්පසුව ,
සිනාවකි ඔහු මුවග ,
පෙර දිනෙක,රෑ මැදෙක,
බිරිය ළංවී මිමිණු,
පෙම් බසක්
යළි සිහිව..
කවිය බලන්න
ඔලිඳ කෙළි සහ ඩොලර් $ කෙළි
ඔලිඳ තිබෙන්නේ කොයි කොයි දේසේ
ඔලිඳ තිබෙන්නේ බංගලි දේසේ
ගෙනත් සදන්නේ කොයි කොයි දේසේ
ගෙනත් සදන්නේ සිංහල දේසේ
ඩොලර් $ තිබෙන්නේ කොයි කොයි දේසේ
ඩොලර් $ තිබෙන්නේ බංගලි දේසේ
ගෙනත් සදන්නේ කොයි කොයි දේසේ
ගෙනත් සදන්නේ සිංහල දේසේ
අනේ කුහුඹුවනේ තොපිටත් රජෙක් ඇත්තේ
කවිය බලන්න
වෙසක් සඳ
කොතෙක් මඟ දිග යොදුන්
මහ වන වදුළු අතරින්
අතර වග වලසුන්
යමක් සොයනා අටියෙන්
අයෙකු යනවා අදිටනින් - දුටිමි සඳ රැස් අතරින්
රැයද මහ දහවල ද
වන වදුල ගිරි ශිඛර
ගං නිම්න සුදු වැල්ලෙ
වැතිර හිඳිනවා දුටිමි
එකලාව
යමක් සොයනා අයුරින්
පියාගත් දෙනෙතින්
මුදු දෙනෙත් හරිමින්
වරෙක ඇද වැටෙමින්
කුමක් සොයනු ද මෙලෙසින්
කොතෙක් දුටුව ද තවුසන්
භද්‍ර යෞවනයේ සිටින
මෙවැන්නකු නොදුටුවෙමි මම්
කළුවර ගල් ගුහාවක
වැතිර සිටිනා විටදි
හෙලූයෙමි සඳ කිරණ
පතිත වන්නට සිරුර
සඳ කැන් පරදවා
සද රැසින් ඔප උනා
ඔබේ ඡවි වර්ණය - රන් කඳක් සේ දිලුණා
ඔබ කවර තවුසෙක් ද
ඇදහිය නොහැකි විය මා හට
මහ වනස්පති මුල
මහ රෑ මැදියමේ
කුස තණ පත් අසුන මත
ඔබ හිදිනවා දිටිමි - පියා ගත් දෙනෙතින්
මහා පරාක්‍රමයෙන් - ඔබ නොසෙල්වී
අසුන් ගත් කළ
සිදු වූ ඒ අසිරිය
ඇදහිය නොහැක මා හට
මහ පොළොව ගුගුරා - හෙන හඬ ද වගුරා
බුදු රැස් ද උතුරා ශාන්තිය පතුරා
බුදු රජකු - තුන් ලොවට වැඩියා
මාරයා කිපුනා
අවි ආයුධත් රැගෙනා
පිරිවර සමගිනා
නිසල බුදු හිමි දෙසට ඇදුණා
දුණු ඊතල වරුසා වට - හිමි පා මුල මල් පෙති විය
මරු විසි කළ ආයුධ සැම - කැරකෙන වා සුළියක් විය
ගිනි පන්දම් විසි කළ විට - රන්වන් වරුසාවක් විය
මහ කළු ගල් කැට විසිරී - මිණි කැට සේ සැම හැඩ විය
කිසි දිනෙක කිසිවකුත්
නොදුටු ඒ අසිරිය
වලාකුළු මෑත් කොට
විශ්මිතව දැක ගන්ට
භාග්‍ය ලත්
ඒ වෙසක් සඳ මමයි
ඒ අසිරිමත් රැයෙහි
සදෙව් ලොව එළියෙන් මගේ සඳ රැස මැකුණා
මුළු වනේ රැය පුරා දහවල ද හැඟුණා
දුටු විගස බුදු රුවක් මහ බඹුට හැඬුණා
මහ වනේ මහ රැයේ සත් පියුම් පිපුණා
සතර වරම් දෙවි රජුන්
මහ තෙදැති දෙවිවරුන්
මහ බලැති මහ බඹුන්
අලුත උපන් බුදුන් හට
පෙරළි පෙරළී වැඳි අයුරු
දුටුවේ මමයි පළමුව
ඒ වෙසක් සඳ මමයි.
කවිය බලන්න
ජීවන මෙහෙවර
වසන්තය අවසන් ය,
ගිම්හානය ද ගොසිනි.
එළඹ ඇත්තේ නොදැන,
ශීත සෘතුවයි අදුරු.
ගයන්නට සිතා සිටි,
ගීය තව ගැයුවෙ නැත.
සුසර කරණා ලෙසින්,
වීනාවෙ තත් සොදින්,
බොහෝ කල් ගෙවී ඇත.
වහා ගයනුය ගීය.
හඩ දුබල වන්න පෙර,
අසන්නන් සවන් යුග,
බිහිරි වනු පෙරාතුව.
LIFE’S MISSION - Somabandhu Kodikara
The spring is over,
Summer too is gone.
‘Tis the winter,
Dark, cold, dreary.
The song,
Is yet unsung.
Waste not time,
Tightening,
Loosening,
Stretching,
The strings of the instrument
It’s time to sing the song.
While the voice is still not weak
And the listeners not yet deaf.
කවිය බලන්න
කේයස් මැතිඳු වෙත
ගොඩ මඩ සරුසාර නැත ඵල බරව නැත
ගම මැද ගලන ඟග වස විස පිරී ඇත
දරුවන් නැතිව පාසැල් තනිවෙලා ඇත
කෝවිඩ් නිසා කඩ මණ්ඩිය වසා ඇත
ගොඩකර වෙල් යාය මන්දිර හැදුවාට
ලස්සන මල් පිපෙන්නේ දැකුමට කාට
කටුරොද ගමේ හැඩ දැන් මෙහි නැතුවාට
කැළෑපාලුවන් වැජඹෙයි යස රඟට
දෙගුරුන් නමැද වැඩ ඇරඹුවෙ ඒ කාලේ
පොත පත බලන්නේ මොකටද අපි රාළේ
ජංගම දුරකථන ඇත නොයෙකුත් තාලේ
ඉගෙනුම මොටද පදිනව අපි ත්‍රී වීලේ
කේයස් මැතිඳු දුටු ලස්සන ගම්මානේ
අද නම් දකින්නට කොහෙවත් නැතුවානේ
නෙක නෙක තොරොම්බල් ඇස ගැටෙනා මානේ
පින් මදි අපිත් දුවනව බැරි බැරි ගානේ
19.12.2020
කවිය බලන්න
ඒ නුඹයි අප්පච්චි
රිවි රැසින් විඩපත්ව
රෑ පාන නිදි නැතිව
අපේ දිවි ගොඩ නැගුවෙ
ඒ නුඹයි අප්පච්චි
සරතැසින් ගොඩ නැගුව
කිසි දෙයක් මට නැතත්
කම් නැතැයි හිණැහුනේ
ඒ නුඹයි අප්පච්චි
හොඳම දේ විතරක්ම
දහස් ගණනින් කළත්
පොඩ්ඩටත් දොස් ඇහුවෙ
ඒ නුඹයි අප්පච්චි
ලොවක් ඉදිරියෙ වුවත්
මහමෙරක් ඉවසුවත්
හන්ගාම ඇස් තෙමුනෙ
ඒ නුඹෙයි අප්පච්චි
දිවි මගින් වියපත්ව
ගතේ සවි නොරැඳුනත්
සිතේ දිරි නොසිඳුනේ
ඒ නුඹෙයි අප්පච්චි
කවිය බලන්න
සැගවුණු සඳ හාවා
සැඟවුනා වෙසක් සඳ
සුලි සුලං වැහි වලා යට
කොටුවුනා අපි යලිත්
ගෙදර බිත්ති හතරට
පැතිරුණා කොරෝනාව
මුලු රට පුරාවට
රැකගන්න පරාණය
යදිනවා සියලු දෙවියන් හට.
වසන්ත සැණකෙළියේ
කුමරියන් පිරිවරා ගෙන
වට වන්දනාවේ ගියේ
කරපු පින් මදි හන්ද ද
මදිවුනා හෝටල් රටේ
විනෝදය බෙදා දෙන්නට
සැමරුවේ ජයට අවුරුදු
කොරෝනා මරනින්දෙ හිතාගෙන.
වැහුවේ ඉස්තාලේ
අස්පයා ගිය පසුදාක
කටමැත දොඩනවා මහ උන්
බොරු බේගල් ඇද බාන
වෙසක් දන්සැල් නැතිදාක
මහ දන් දුන්නා චීනට
ලක්මවු හඬ හඬා හිඟමන්
යැද්දෙ බංගලි දේශයට
සඳ හාවත් සැගවුණා
ඉවසන්නට බැරි දුකට
කලුම කලු වලාවක.
කවිය බලන්න
ඉර පායයි - සිංහල පරිවර්තනය
John Donne - The Rising Sun
කලබල නාකි මෝඩයා, නොහික්මුණු ඉර
ඇයි මේ විදියට,
ජනෙල් තුළින්, තිර අස්සෙන් එබී බලන්නෙ?
නුඹ යන විදිහට පෙම්වතුන්ගෙ කාලයත් යා යුතු ද?
කපටිල පණ්ඩිත මූසාලයා, ගිහිං බැනපන්
පමා වී පාසැල් යන කොල්ලන්ට, අප්‍රසන්න නවකයින්ට
රජමැදුරේ දඩයම් කරුවන්ට ගිහිං කියාපන්, රජ තුමා අසු පිට යන බව
පිටිසර කූඹින්ට වැඩට යන්න කියාපන්
ආදරය, එක වගේ කාලය නොදනී, කාල ගුණයත් නොදනී
කාලයේ වැරහැලි, පැය, දින, මාස ද නොදනී
ඔබේ රශ්මිය ඔතරම් ම, ගරු කටයුතු, ශක්තිමත්යැයි
ඔබ සිතිය යුත්තේ ඇයි?
එක ඇසිපිය ගැසීමකින්, ඒ සියල්ල වසා දමන්න මට පුලුවන්
ඒත් ඒ මොහොතේ වත් මට ඈ නොදැක සිටිය නොහැකියි
ඇගේ දෑසින් ඔබේ දෑස අන්ධ වී නැත්නම්,
බලන්න, හෙට පමා වී, මට කියන්න
කුළු බඩු ඉන්දියාවයි මගේ ඉන්යාදියාවයි දෙක ම
ඔබ ඒවා දුටු තැන්වලම, නැත්නම් මා එක්ක මෙහි වැතිරිලා සිටියාවේ
ඔබ ඊයේ දුටු රජවරු ගැන අහන්න
එවිට ඔබට ඇසේවි, හැමෝ ම මෙහි එක ඇඳක නිඳි
සියලු ජනපද ඇයයි සියලු කුමරුවන් මමයි,
අන් කිසිවක් නොවෙි.
කුමරුවෝ අප නටවති; මේ හා සසඳන විට
හැම උපහාරයක්ම අනුකරණයක්; හැම ධනයම රසායනයක්
ඉර උඹට ඇත්තේ අපේ සතුටින් බාගයයි.
ඒ සතුටේ ලොව මෙහෙම හැකිළිලා
උඹේ වයසට ඕනෑ විවෙිකයයි, උඹේ රාජකාරිය
ලොව උනුසුම් කිරීමයි
අප උනුසුම් කිරීමෙන් එය කළා වේ,
අප වෙනුවෙන් මෙතෙන්ට පායාපන්, එවිට හැම තැනට ම පෑයුවා වගෙයි
මේ ඇඳ උඹේ කේන්ද්‍රයයි, මේ බිත්ති උඹේ ක්‍ෂේත්‍රයයි,
කවිය බලන්න
එලොව ගිහින් මෙලොව ඒම
හරියට වසර කට පෙර අද වැනි දවස
සිහිකොට ගන්න ජීවත් වීමයි රහස
මතුකොට වසංගත සැඩ පහරක පහස
වුනි මට රෝහලක් සතියක මගෙ නිවස
මා හා එකට දොස්තර තනතුරක් දැරූ
ආවා මගෙම සගයෙක් මුව වසන් කෙරූ
මාගේ සටන දැක අවිගත් සමඟ මරූ
නේවාසිකව යැව්වා උණ බහින තුරූ
වෙනදට මාන්නෙන් යන කොරිඩෝව දිග
යන එන පිරිස වෙත අඟවා හදිසි වග
පණ යන ලෙඩක් ඇති ලෙස අඟවලා ඇඟ
ගෙන ආ අයුරු සිහිවෙයි හීනයක අග
වාට්ටුවේ කෙළවර කොටසක කොනක
යාන්තමින් දුටුවා මගෙ නම ඇඳක
මාත් එක්ක ළඟ සිටි රෝගී වතක
පාන්දර වෙන්න පෙර නිවුණී මතක
දවසට දෙක තුනක් ළඟ සිටි හිත මිතුරූ
එකපිට එකා තරඟෙට කවරෙක ඇසිරූ
පපුවට හුස්ම නැති අසරණ කම පැතිරූ
මගෙ යට හිතෙත් මරබිය හොල්මන් වැපිරූ
බටයක හුළං නහයෙන් ඇද මුළු දවසේ
වටපිට ලෙඩුන් මිය යනවිට රිසි රිසි සේ
මට මගෙ බිරිඳ දරුවන් පමණයි මනසේ
හෙට වෙන දෙයක් ගැන හිතුනෙම නෑ කිසිසේ
ගෙදරින් කවුරුවත් නැති සතියක් ගෙවුණී
නවතින් නේම නැති උණ තරමක් නැවුණී
සිදුවන් නට යෙදුන බිය සමනය කෙරූණී
යන්තන් මාව ආපසු ගෙදරට යැවුණී
17/5/21
කවිය බලන්න
ලෝවැඩ සඟරාවේ සිත්ගත් කවි
සාරනු කුණු කයක් අරගෙන කරන බහුනාටක තදේ
නෑර තම හිමි සමඟ දවසැ'ර උන් නමුත් සැප විඳ විඳේ
ගෝර මරුවා පැමිණි කල් දැන යන්ට කැඳවා එන සඳේ
බාරවම සිටුවන්ට බැරිව ද පිනක්කර ගත්තොත් සොඳේ
කිසි වටිනා කමක් නැති මේ කුණු ශරීරයක් උසුලා ගෙන කරන්නා වූ නැටුම් බොහෝ වෙත්.
යම් ස්ත්‍රියක් සිය සැමියා හා සැප විඳිමින් වාසය කළත්, මැරෙණ වේලාව පැමිණි කල්හි
මාරයාට ඇපයක් දී ඔහු මෙලොව නවතා ගන්ට බැරිය. එසේනම් කුසලක් කර ගැනීම ම
යහපත් වෙයි.
කවිය බලන්න
සුභාෂිතයේ සිත්ගත් කවි
තමන් හට නොසමයන් වන කලට සම
මුවින් නොබැණ ඉවසනු සුදන ගරු කම
නොමින් කුමුදු විකසිත වනු දැක දැකම
විළින් මෙන් තඹුරු මුකුලිත වේය හැම
තමන් හා සමාන නොවන්නන් සමාන බවට
පත්වන කල කතා නොමැතිව සිටීම සත්පුරුෂයාගේ
ගෞරවයට හේතු වේ. ප්‍රමාණයක් නොමැති කුමුදු
පිපෙනවා බලා නෙලුම් ලැජ්ජාවෙන් හැකිලෙයි.
කවිය බලන්න
යසෝදරාවතේ සිත්ගත් කවි
උනිමු ඉපිද අපි ලෙහෙනුන් කුලේ එදා
වැටුනේ මහා සමුදුරයේ මැද බිලිඳා
දැනුණේ කරපු වීරිය ගොඩ ගන්ට එදා
හිමිසඳුනේ මග ඇරියේ මන්ද මෙදා
කවිය බලන්න
කුළුඳුල් ආදරය
පාසැල් වියේ දිනකදි කඩුවෙල බසයේ
අසුනක් ලැබෙනතුරු මා සිටගෙන සිටියේ
පාසැල් යුවතියක් ලඟ සිටි ආසනයේ
පොත්ටික ඉල්ලුවා දුන්නෙමි කඩිමුඩියේ
වැඩිදුර නොගොස් ඇගෙ යාබද ආසනය
මට හිමිවුනත් පොත්ටික මගෙ ඇය ලඟය
මගෙ පොත් තබාගෙන ඇය දුන් පණිවිඩය
තේරුම්ගියේ ඇය ලඟ ඉඳගත් විටය
බසිනාතුරුම බසයෙන් ඇගෙ ගෙදර ලඟින්
ඇය සිටියාය මගෙ පොත්ටික තුරුලුකරන්
පොත් පෙරලලා මගෙ නම ගම මටත් හොරෙන්
දැනගෙන පැවසුවා ඇගෙ අදහස නෙතඟින්
වීනා ඇගේ නම කෙල්ලකි දඟකාර
රූමත් එකම දුව පවුලක සරුසාර
කඩුවෙල බසයෙ හමුවිය දිනයක් නෑර
සැපයක් තිබුනෙ නැත ඇය දකිනව විතර
පොත්ටික අතින්ගෙන හිමිඳිරි උදෑසන
වරලස පීරලා දෙපසට විදාගෙන
සුදු ගවුමකින් සැරසී මා සොයාගෙන
ඇවිදින් ගියා ඇය මගෙ හද සොරාගෙන
වීනගෙ පෙම්පතක් ගෙදරට අසුවූවා
ඇගෙ යෙහෙළියක් දිගටම කේලම්කීවා
පාසැල් ගමනටත් මව්පියො තිත තැබුවා
වැඩිදුර ඉගෙනුමට ජර්මනියට යැව්වා
කෝඩුකාරියකි වීනා ආදරයේ
නෑඹුල් යුවතියක් විලසින් නොරට ගියේ
රැවටී ඉගෙනීම අතහැර සරසවියේ
කලු සුද්දෙකුගෙ අත ගත්තලු ජර්මනියේ
පාසැල්වියේ යුවතියකගෙ ආදරය
අති සුන්දරය රැකුනොත් ඇගෙ ආදරය
අහිමිව ගියත් මට වීනගෙ ආදරය
අමතක කලහැකිද කුළුඳුල් ආදරය
කවිය බලන්න
මහබඹා තමන්ටම කෙඳිරු සැහැල්ල
කවිත් ලියලා ඇති
පොතුත් ගහලා ඇති
උපහැරනෙටත් ගන්නැති
ඉතිං මං ගැන දැන් ඇති
මගේ යක් මුහුණට
මගේ සඳ මුහුණට
බොලට ඇස්වට
මැණික්කටු ගාවට
හික්මුන ඇඳුම කැඩුමට
අතක ඇති කඩුවට
අනෙක් අත මල් පොකුරට
ලිව්වා කවි ගී සිලෝ
පමණටත් දැන් වැඩිකොට
මං කර තියාගෙන
ඒ මදිවාට නටනට
හැමදාම පෙරහැර කරන
ඒත් කවදාක කොයිකෙකු නොදකින
මං ඇතුලේ හිරවුන
ගුරුන්නාන්සේ ගැන
ඔන්න ලියනවා නම් කවියක්
අඩුගානේ එක අකුරක්
හැමදාම පෙරහැර කරන
ඒත් කවදාක පෙරහැර නොදකින
කුරුබිලියෙන් පාර හොයහොය යන
බේතකට හුළඟක් නොවදින
ඉහකනින් දාඩිය හලහල
ඒත් ඤංපචන් නොකියන
අලි බෙටි අලි හුජ්ජ
ඇඟිලි කරු මැද මිරිකෙන
කොප්පරා පන්දමෙන් වැටුන
ගිනි අඟුරු කකුල් පුච්චන
පිලොච්චි, ගුරුන්නාන්සේ ගැන
ලිව්වාද බොලා එක කවියක්
අඩුගානේ කොම්බුවක්
ඒත් ලියතෑකි
මහ පොතක්
කෝ ඒකට එකෙක්වත්
නෑ වගක්
කෝරලේ හාමදුරුවෝ,
අර අප්පෝ, මේ අප්පෝ,
මොහොට්ටාලලා,
නිලමෙලා,
තන්ඩල් රාලලා,
කපු නිලමෙලා,
ගබඩා මොහොට්ටාලලා,
උන්දැලැගැන අනන්තයි
ලියපු විස්තර
කයි කතන්දර
බොලපැන් ළිඳ,
දිග්ගෙයි නැටුම්,
ආලත්ති අම්මලා,
බුරන්පේත්තුව කාලතුවක්කුව,
කුරප්පට්ටුව, සබරගමු මහදවුල
උපන්දාසිට විස්තර
කොතෙක් රස කරකර
ලියයි මහ පට්ටන්දර
ඒ කරෙන් මේ කරට
මේ කරෙන් ඒ කරට
කොච්චරත් මාරු කරකර
බට කුඹලක් උනත්
මගේ ඉලකූඩුව
බරෙන් අඩුවක් නෑ එච්චර
පෙරහැරේ අලි අච්චර
කජු ගනන් මෙච්චර
මෙදා සෙනග කොච්චර
හැමදාම එකම චරබර
ඒත්
මං මේ මහඹබා
කරගහන් යන,
පිලොච්චි
ගුරුන්නාන්සේ ගැන
අඩුගානෙ නෑ
නාම මාත්තර
රිට්ටා ගෙයි , සින්හාසනේ
දෙයිහාමදුරුවොත්
ගිමන් නිමනවා
මොහොට්ටාලලා
පිරිවරන්
බස්නායක කෝරලේ
හාමදුරුවොත්
එහෙමමයි
මුරායුධ, සේසත් චාමරගත්
උන්දැලත්
විඩා නිවනවා තැනතැන
ඒ ඇබිත්තන් වෙලාවෙත්
පිලොච්චි ගුරුන්නාන්සේ
හිර කූඩුවේ
දියකපන දා
කොටාඹෙගාව විස්තර
රතඹලා ඇල්ල
රටේ දිගම ගඟේ පෙරහැර
මහා පතරංග ජාතක.
අව් කූටකේ දවල් පෙරහැර
එදාටත් මං කරගහං
තාර ලෝදිය පාගපාගා
කරේ මදිවට
දෙපතුලෙත්
දියපට්ට පුපුරන
කොච්චරවරත්
දැවිල්ලට ඇදුම් දෙන
හැමදාම පෙරහැර කරන
කවදාක පෙරහැර නොදකින
කවුරුවත් කවදාක නොදකින
ලියනවානම්
අන්න කව්
අන්න පොත් උන්ගැන
සමන් දෙයිහාමුදුරුවන්ගේ
ඇහැටත් කඳුලක් නැන්වෙන...
කවිය බලන්න
පොසොන් සමයේ හිතට එන සිතිවිලි
"කැලේ තිබෙන කොයි දේ වත් රස වේවා
මලේ බඹරු ලෙස පිරිවර ඇති වේවා
අව්වේ තිබෙන රැස් මාලා අඩු වේවා
ගව්වෙන් ගව්ව දිව මාළිග සෑදේවා"
අම්මා කෙනෙක් සදේදෙන් මේ කවි කීවා
පුන්සඳ එළිය මැද පින් සිතිවිලි ආවා
ගණ්ඨාරයේ හඬ ගුවනට මුසු වූවා
කරුණා දෙනෙත් අබියස සන්සුන් වූවා
සියවස් ගණනකට පෙර කළ සියුම් වදන්
චන්චල කරන බොදු හදවත් සළා පවන්
අපමණ කුසල් සිදුවන දේ තවත් මෙවන්
ඇද්දෝ කියා සිතුවා ඇය නිරන්තරෙන්
පින පමණක්ම පතලා කවි කෙරුවාද
අප ගැන දුකක්වත් සිහියට ආවාද
පිරිමි කෙනෙක් මෙලෙසේ කවි ලීවාද
නැතිනම් ගැහැණියක් රහසින් සැඟවුනිද
පින්වත් හිමිනමක් රටකින් වැඩියාද
හෙළබස දහම ගැන විස්කම් පෑවාද
තව්තිසාවෙ වැඩ සිටිනා සඳ මනසින්
ගොනු කළ කල්පනා හන්දා සිහි නුවණින්
නාමය නැතුව කවි පමණක් දුන්නාද
රුවසේ නමද අනියත බව කීවාද
2021.05.19
කවිය බලන්න
ඔබයි මමයි...
නිසල විලේ ජීවිතයේ
සසල නොවන මාරුතයේ
රැඳුනු අඳුරු ආකරයේ
එළිය ඔබයි ජීවිතයේ.
පිපුණු මලකි නිරන්තරේ
සුවඳ දැනුනි අනන්තයේ
මිහිර සොයා දිගන්තයේ
ම සිත නැවති වසන්තයේ.
මුදු ගති පෑ සඳ සේමා
රුදු වී හිරු රැස් සේමා
දුක සැප ලඟ එක සේමා
පහන් වුනිය සිත බෝමා.
දිවි ගඟ පැදගෙන යන්නේ
රන් දහදිය සුරකින්නේ
සිත ලඟමයි ගැවසෙන්නේ
කාලය පසු කර යන්නේ.
පිණි බිඳු සේ පිවිතුරු වී
රන් රස සේ එකමුතු වී
මල් කැකුළු ද මට දන් දී
සිනහ නඟයි ඇය පින් දී.
පිපෙන කලට මල් කැකුළු
නඟයි සිනා ඈ මුකුළු
දිවිය අපට නැහැ සතුරු
බවය පුරා අපි මිතුරු.
විය පත් වුව දිවිය පුරා
ජීවිතයක අරුත සොයා
වළා පෙළක් විලස සරා
සසර සරමු බවය පුරා.
කවිය බලන්න
ඉවස ගෙන සිටිමි අද , පොසොන් සඳ දෙයි සුවය!
කඳු රැල්ල මවිතවී බලනු කිම අද දිනේ?
බැටලු ගුලි පෙල ගැසී ඉන්නෙ මිටියාවතේ
හමන සුලඟත් මෙදින අමුතු සිසිලක් ගෙනේ
මනැසන්ද? මසැසින්ද? පෙනෙන සිතුවම් අනේ!
දස මසක් හා පහක් කොවිඩ් සතුරා සමග
නෑ මිතුරු හිතවතුන් විසිකරා ඈතටම
zoom මිතුරා ගෙනා magic තිරයක් වෙතට
පතිත වූ දසන සැනසුමක් දුනි යන්තමට
වැට උඩින් දොර ගුලෙන් දුටුව මුනුබුරු රැඟුම
විදුලි රැහැනින් ඇසුව සුව නොසුව නිරතුරුව
යකඩ කටකින් ඇසුනු දම් පදය සැමවිටම
රුවන් මහ සෑ රජුන් දිස් වුනා ඉදිරිපිට
හිරිවි ගත කල දිවිය නිම කිරීමට සිතුන
අග ඇමති සුව ඇමති බැලුව කෝවිඩ් තරම
දුටුව ඇඟලුම් සමඟ වෙනස් වන උගෙ දිරිය
භාරතිය නව සලුව සැරෙන් යන දුර ගමන!
එන්නතය සමඟ අද සතුර ගෙනියන සටන
මුලු ලොවම හදගැසෙන නැටුමකිය, මේ පොරය
සැම දනන් හට සුවය නොමැති සඳ මට කුමට?
ඉවස ගෙන සිටිමි අද , පොසොන් සඳ දෙයි සුවය!
කවිය බලන්න
ලන්ඩන් කවියට ආවෙමි
කලකට පසුව මේ පිටුවට
මා ආවා
කවි හැකියාව දැක සිත මගෙ
තුටු වූවා
තේරෙන නොතේරෙන කවි පද
එහි බෝවා
තේරුම් ගන්න කවදා හෝ
හැකි වේවා!
කවිය බලන්න
සැගවුණු මුහුණු
හැඟීම් සඟවා ගත් අවර්ත චරිත
අරුම - පුදුම - ධාර්මික-අධාර්මික
ව්‍යාජ මුහුණු වල සැබෑ හිමිකරුන්
හමුවිය යුත්තේ කුමක් ද
ඔබ ඔවුන්ගෙන් සැඟවී සිටිනවාද
හදුනා ගෙනත් එතුල ඇලී ගැලීද
වෙස් මුහුණු ඔට්ටු සෙල්ලම්
සැගවුණු මුහුණු තේරුම් ලක්ෂණ
වෙස් මුහුණු වල ප්‍රාණ ඇපකරුන් ද
සැගවුණු අභිප්‍රායයන්ගෙන් අඩක්
චේතනාවන් අඩක් සැඟවී තිබේද
ව්‍යාජ මුහුණු ඉදිරියෙන් පැමිණේ
සැබෑ මුහුණු සැඟවී තිබේ
කවිය බලන්න
අම්මා සමුගත්තාය
ඔබෙන් වෙන්වී එන්න
සමු ගතිමු සිඹ නළල
ඔබ අපෙන් සමුගත්ත
දිනේ අපි විදෙස් වල
ඔබටවත් නොදැනීම
හුස්ම ටික යන්න ඇති
දුක් නොවිඳි මරණයක්
ඔබ පතා එන්න ඇති
උණුසුමට තිබු දෑත්
සීතලට තියෙන්නැති
දෙන ලඟට වී ඉන්න
අපට පින් නැතුව ඇති
දරා අප බර කුසේ
අපට දූන් ජීවිතේ
අම්මෙ අප උරහිසේ
ඔබව රැඳුනේ නැතේ
අන්තිමට දුටු විලස
ඔබව නිරතුරු පෙනේ
දැනෙයි අම්මා ලඟින්
ඉන්නවා පා සෙනේ
09/05/2021
කවිය බලන්න
නවතින්න තිස්ස කිවුවාට පස්සෙ
නවතින්න තිස්ස
කිව්වා ට පස්සෙ
ලක් රජුත් තාම
මහ වනය මැද්දෙ
දුන්නාට නිමල
අති උතුම් දහම
ගහකොළට වැදපු
කෝ අපේ දහම
ඉර හදද තරුද
ගස් වැල්ද දියද
දෙවිවරුය හිතුව
හිත් වෙනස් කෙරුව
විදු දහම කිමද
රජු මිහිදු දුන්නේ
ගස් කැපූ වනය
මැද හුස්ම නැතිව
මියෙදෙනා මොහොතේ
අනේ සමාවෙන්න මට
හිතෙනවා එහෙම ...
කවිය බලන්න
සැලළිහිණි සංදේශයේ සිත්ගත් කවි
රිවිබිම්බා යුරු රිවිකුල කමලකර
පියුමම්බා නිතොරව රැඳි උර මැදුර
මෙනරම්බා හිමි රූ සිරිනි මනහර
පැරකුම්බා නරනිඳු සඳ දකු මිතුර
සුර්ය වංශය නමැති නෙලුම් විලට හිරු මණ්ඩලය වැනි වූ ,
පපුව නමැති මන්දිරයෙහි ශ්‍රියා කාන්තාව නිතරම වෙසෙන්නා වූ ,
රම්බා නමැති දිව්‍යාංගනාව ගේ සැමියා මෙන් රූප ශ්‍රීයෙන් මනහර වූ
පරාක්‍රමභාහු රජු දැකගන්න මිතුර .
කවිය බලන්න
පොසොන් සඳ
රසෙන් දහම් සිත් මෙත් සිසිලසින් වෙළේ
ගසෙන් වැලෙන් පිපි කුසුමින් පවන් සැලේ
බසින් නිහඬ ගී ගොතමින් නිසන් සලේ
පොසොන් තරිඳු නුබ බැබළෙයි මිහින් තලේ
කවිය බලන්න
ලෝකෝපකාරය කාව්‍යයේ සිත්ගත් කවි
නිරිඳුන් ගෙන් ඉසුරු
ලත් සත් නැසෙත් එම රදුන් ගෙන්
දියෙන් ඉපදුණ ලුණු
දියට පත, දිය වන විලස්නෙන්
රජවරුන් ගෙන් වස්තුව ලැබුණු ජනයා එම රජවරුන්
ගෙන් ම විනාශ වෙති. ජලයෙන් හට ගත්තා වූ
ලුණු එම ජලයෙන් ම දිය වන පරිද්දෙනි
කවිය බලන්න
ඉගිලෙන සිතුවිලි.....
හිරු නිවී යයි හොරෙන්
සඳ නිවී යයි හෙමින්
තරු නිවෙන්නට කලින්
රැය ගෙවේවිද ඉතින්
වැහිපොදක් වී සෙමින්
ඔබ වැටෙයි ආකහෙන්
හිඳ බලා කවුලුවෙන්
විඳිමි රුව ඈතකින්....
සුළන් රැල්ලක් වෙමින්
ඇදෙන විට සීරුවෙන්
වරා මල පාවෙමින්
ඇදී එයි ඈතකින්...
වලාකුල් සේදෙමින්
වැහි වැටෙන ගීතයෙන්
හිරිවැටෙන තාලයෙන්
කවි ගොතමි සීරුවෙන්.........
කවිය බලන්න
Summers Dawn
Dawn shines on the orient hills
Throwing mist into golden frills
Glittering rays playing morning drills
Paving the way for summer’s thrills
Through the valleys wide and fair
Over the hills far and bare
Piping lyrics on the limpid air
Blow the winds of southerly flair
Butter cups in showers yellow
Busy bees of clusters in flow
Bird songs in notes mellow
Bursting the summer to its sparkling glow
With dusty skies on evenings long
With woolly clouds floating along
With setting sun on hours long
Bring the days of summer’s long
කවිය බලන්න
කවුරුන් වින කළත් මේ අපගේම රට ලෝකෙන් උතුම් රට.. මේකයි අපේ රට
පෙරදිග ලෝකයේ මුතු ඇටෙ කියපු රට
මහ රජවරුන් ලෝකෙට බිහි කරපු රට
බත බුලතින් සරුව ණය නොවි තිබුන රට
ලෝකය මවිත කළ විස්මිත අපේ රට
ගෙරිහම් කඩක ගැටයට අහු උනා රට
ඇවිත් පරංගින් යට කළ අපේ රට
ලන්දේසියන් හූරං කෑ මහඟු රට
උඩරට ගිවිසුමෙන් සුද්දට දුන්න රට
හතලිස් අටේ නිදහස ලැබූ අපේ රට
කළු සුද්දන්ට සුද්දා දී ගියපු රට
හැත්තෑ තුනක් අවුරුදු ගත වෙලත් රට
ඇත්තට නිදහස් ද කිවමැන අපේ රට?
ඉන්පසු අපේ උන් රජ කළ අපේ රට
උගුළක හිර කළා ණය බර අපේ රට
ගත් ණය ගෙවන්නට කියමින් අපේ රට
සින්නක්කරට, උකසට විකුනයි ද රට?
චීනා ඇවිත් තළුමරනා අපේ රට
ඉන්දියා ඇමෙරිකා ඉල්ලන කෑලි රට
පාවෙන ඩොලරයට අඬනා අපේ රට
කොහොමද අනේ ගොඩ එන්නේ අපේ රට
බුදුහිමි තෙවරක්ම පා තැබූ අපේ රට
මහින්ද හිමි බුද්ධාගම ගෙනා රට
ධර්මද්වීපයක් වී තිබු අපේ රට
"මාකට්" කරති බණ සමහරු අපේ රට
චන්දෙට "ධාතු" වඩමන් නයි ආපු රට
ඒ ආ නයා බෝතලයක දාපු රට
පොහොට්ටු මල් පුදා නයාට වැන්ඳ රට
"හොඳ කල උදාවෙනකම්" අඬනවා රට
ආ විට කොරෝනා බය උනේ නැහැනෙ රට
"ශක්තිය විශ්ව" එක්කර ගොඩ ගන්න රට
ඇමතියො මුට්ටි ගංගාවල දමපු රට
කළ විස්කම් ගොඩයි..එහෙමයි අපේ රට
ලෝකෙම බෙහෙත් හොයනා විට අපේ රට
කාලිගෙ "පැණිය" දුන්නා මුළු ලෝකයට
පැණි බිව් අයත් ලෙඩ උනි කළ කරුමයට
"කාලිගෙ අම්මා" සිහි කෙරුවා අපේ රට
වැක්සින් දෙන්න සිස්ටම් එක හදපු රට
මැති ඇමතියන් "ප්‍රයෝරිටි" කළ අපේ රට
වැක්සින් පෝලිමේ පොඩි උන් ඉන්න රට
වී අය් පී එවුන් සිස්ටම් කඩපු රට
පෝලිමේ ඉන්න බැහැ පෝලිම පනින රට
හිතවත් කමට වැඩ කරවා ගන්න රට
දඩ කොළ නොගෙව පැන යන්නට හදන රට
සිස්ටම් හදන්නේ කොහොමද අපේ රට?
පොරොන්දුවට චන්දය දෙන අපේ රට
චන්දය ගත්ත අය පොරොන්දු කඩන රට
ආයෙත් දෙන්නෙ නැහැ උන් හට කියන රට
නැවතත් උන්ට චන්දය දෙන අපේ රට
තිස් වසරක්ම යුද්දෙන් බැට කාපු රට
විරුවන් දිවි පුදා රැකගත් අපේ රට
කවුරුන් වින කළත් මේ අපගේම රට
ලෝකෙන් උතුම් රට..මේකයි අපේ රට
2021/05/30
කවිය බලන්න
නිශාන්තය
දිය කඩිත්තේ රඟන සෙවනැල්ලෙ සිතුවමින්
මැවෙන්නේ කලා පිරි සඳ මඬල බබලමින්
අඳුරු නුබ කුස මතින් මදු ගීත මුමුනමින්
තරු කැකුළු හිනැහේවි මඳ නලට යාවෙමින්
තුෂර පිනි කැලුම් වැද කොඳ කැකුළු හිනැහේවී
සමන් මල් පොහොට්ටුව හිටි ගමන් නැගිටීවී
සඳ පහස විඳ ගන්න කුමුදු පෙති පිබිදේවි
නිශා රඟ මඬල වෙත පොර කමින් රැස් වේවී
සිලිලාර කැලඹිල්ල සඳ එලියෙ දැවටෙමින්
අලුත් රහසක් කියයි අහස් ගගෙ පීනමින්
පුරුදු ලෙන්ගතු කම ම හද පුරා මෝරමින්
සැලෙයි පිණි බිඳු වැලේ මන් තොසින් පැටලෙමින්
විල් දියේ රඟපාන රැස් කඳේ තුරුල්ලේ
පෙන කැටිති දඟ කරයි හිතුමතේ නිදැල්ලේ
සිව් දෙසින් රාව දෙන සංගීත සැදැල්ලේ
මල් පුසුඹ ඉව කරයි මලවි ලද ඇසිල්ලේ
රන් පියුම නිදි කිරයි මිහිලියේ ලය මතේ
හමා යන මද පවන ගිම් නිවයි ඇගෙ වතේ
සිනිදු මීදුම් සළුව අතුරලා මුදු ගතේ
සඳ පහන් මුවා වෙයි වලාවට නිදිමතේ
කවිය බලන්න
දිය බිඳක් වී…….
අහස් කුස තුල දිය බිඳක් වී
කඩා වැටුනත් මිහි තලය මත
සොඳුර ඔබ මට මුනගැසෙන්නේ
ගිරි ශිඛරයක ඇල දොලකදී
එදා සිට ගැලුවා එකට අපි
එකට එක්වී රළ පහර බිඳ
නංවමින් පෙන බුබුලු විටෙකදි
විටෙක නිසසල ගැඹුරු දියකදි
වෙන්වුනේ නෑ කිසිම දිනකදි
දිය බින්දු තව වැඩි වුනා මිස
නදිය බැස යන අතර මගදී
සයුර ඇත ලඟටම ඇවිත්
මිරිදියක්වී ඉපදුනත් අපි
කරදියට එක්විය යුතුව ඇත
හිරු කිරණ අපි අහස් තලයට
රැඟෙන යනවිට එකට ඉගිලෙමු
එදා එක්වුන ගිරි ශිඛරයෙම
යලි එකතුවී ගලා යන්නට
කැලණි ගං ඉවුරේ නතරවී
බුදුන් වැන්දා නුඹට මතකද
කවිය බලන්න
ඉතිරි කළ උරුමය
සතියකින් නැවත එමි
කියා ගිය නුඹ නැතිව
සති මාස ගෙවී ගොස්
වසරක් ද ලබා ඇත.
සිත් තැවුල් මර සෙනඟ
තෙරපාන ඇතුලු හද
ඉකි ගසා නිහඬ වුණු
දිනයකුදු මතක නැත.
තරු වැටෙන වෙලාවට
නින්ද නැති ඇස් දෙකට
රිදුම් දෙන හදවතට
අද එතැයි, හෙට එතැයි
පැතුම් සපුරා දෙන්ට
නොහැකි වී විළි වැදෙමි.
අත් හරින්නට නොහැකි
මොකක්දෝ කරුමයක්
ඉතිරි කර ගිය නිසයි
මම තවම අවදියෙන් .....
හෙට නිදා ගනිමි මම
මතක බණ කියන්නට
හිමි නමක් එන නිසා ...
කවිය බලන්න
දෙවියන්ගේ (වෙබ්) අඩවිය
ලොවම උඩුයටිකුරු කල - කොවිඩ් නිසාවෙන්
සයුරින් එතෙර සිට - ලක්දිවට භාරතයට
නොහැකිව යන්නට - දෙව් සරණ යදින්නට
දනන්ගේ දුක් කඳුළු - උණුසුම් කළා - සක් දෙවිඳු ආසනේ
කොවිඩ් වලටවත් රත් නොවුණු
සක් දෙවිඳුන් කැඳවා දෙව් සබය
කතිකා කළා - මේ අසරණ දනන් ගැන
තරුණ එක් දෙවියකු - පෙර බවයේ අයි ටී ශුරයකු
සබය අමතා - කීවේ තම අදහස
වෙබ් අඩවියක් හදන්නට
සාමුහික කැමැත්තයි - සක් දෙවිඳු අනුමැතියයි
ලැබුණි නොපමාව - වෙබ් අඩවිය සැකසුමට
දේව මහිමයෙන් - එක් ක්ෂණයෙන්
ඩබ් ඩබ් ඩබ් ඩොට් දෙවියන් ඩොට් කොම්
මැවුනා අන්තර්ජාලයේ
දෙව් සරණ ඇවසි නම් - දෙවලොට නොගොසින්
ලොව කොතන හෝ සිට - දේව වෙබ් අඩවියට
ලොගින් විය හැක - රහසිගත අංකයෙන්
ඩ්‍රොප් ඩවුන් මෙනුවෙන් - තෝරාගෙන දෙවිදුන්ව
දෙව් සරණ යදින්නට - පුජා වට්ටිය - භාරහාර
මේ සියලු පහසුකම් - සලසා ඇත වෙබ් අඩවියේ
පුජා වට්ටිය මිලදී ගන්නට - පමණි මුල්වරට
මුදල් වැයකළ යුත්තේ
අයැදීම හරි ගියකළ - සත් දිනක් ඇතුලත
මුළු මුදල නොගෙවතොත්
දේව කෝපයට හසුවෙන වග
වෙබ් අඩවියේ පහලින් - ලියා ඇත රතු අකුරින්
07 මැයි 2021
කවිය බලන්න
අනියතයි ලොව
දුමිඳු නමදින දෝත නංවා බැතිනි තුරුමව් වඳින්නේ
දිනිඳු නැගඑන පැයේ කිරි කට්ටියේ මම කිරි දොවන්නේ
සුමුදු තුරුබඳ පලා පොල්කටු පුරා සොම්නස පිරෙන්නේ
සුසුදු කිරිදිය තමයි ගෙපැළ ට රැයේ උණුබත් ගෙනෙන්නේ
පිබිද දුක් පැදුරෙන් උදේ තුරු වටා පැදකුණු කරන්නේ
මහද මුමුණන සෝ දුකින්මයි තුරු බඳට කිරි එරෙන්නේ
නැමද දෝතින් රැගෙන ඒ කිරි හිසින්මයි වැඩමවන්නේ
සුවඳ දුම් දී පහන් දල්වා නැතත් තුරු දෙවි පුදන්නේ
දුබල වී ගත මැරුණු මා- ඔබ එකම සෑයෙයි නිදන්නේ
නිසළ මා ගත දවා රුක් දෙවි එක්ව මා හා දැවෙන්නේ
සකළ තුරුලිය, දෙව්,මිනිස්, සත්වගත් නෑ ඉන් මිදෙන්නේ
නිමල බුදුහිමි දෙසූ ලෙද අනියත බවයි ලොව තියෙන්නේ
කවිය බලන්න
ඔයාටත් මතකද
ඊයෙ උදේ දුව ඉඳල තියෙනවා ඉන්ටර්සිටි බස් එහෙක.
කොල්ලෙක් එක්ක. මොනාහරි කරන්න වෙයි.
නැත්තං ගමේ ඉන්න බැරිවෙයි.
ඔයාට මතකද
වැස්සට තෙමුණු හවස
බස් එකේ යන්න ම හිතාගෙන
ක්ලාස් කට් කරපු දවස
කොයි තරම් තිබුනද
කෙඳිරිගෑවෙන මතක
නිතරම මතක් වෙන
ලියන්නට බැරි පොතක
සීට් එක තියෙනවා කිවුවම
රටක් දිණුවා වගේ හිනැහුන
ඇන්ටිලා ගේ කතා අහ අහ
ජනේලය පැත්තටම ගුලි වුන
බලපු පිච්චර් කීයක
නම් මතකයි ද ඔයාට
මාරු වුණ බොත්තම්
හරිගස්සගන්න බැරි වුණේ නෑ නේද අපිට
මතක් වී තනියම හිනා වෙන
දුවට පෙණුනද හිතිල ගැස්සෙන
කතා කොච්චර අපේ හිත්වල
තියනවද අපි ගණන් කරමුද ?
ටී වී එකේ යන හද්දා පරණ චිත්‍ර පටියක
කොල්ල කෙල්ලව ඉඹිනකොට
සුදු කෙස් දිහා බල බල තනියම හිනාවෙන්නට
එයාටත් පුළුවන් නේද ?
කවිය බලන්න
මට මතක පොසොන් සඳ
පොසොන් සඳ කැලුම් වැතිරී ගල මත්තේ
මනස්කාර දී දිදුලන අඹ අත්තේ
පිළිබිඹු විය මනහර බුදුබණ සත්තේ
තවමත් එලෙසමද මිස්සක පව් පැත්තේ
කවිය බලන්න
විදෙස් ගත පෙම්වතුන්ගේ සිතුවිලි.....
සමකයෙන් දුර ඈත දෙපස අපි හිටියාට
උඩින් ඇති නිල් අහස එකයි අපි දෙන්නාට
පමාවී හිරු ඇවිත් මම නින්දේ හිටියාට
හදවතින් අවදියෙනි නෙක හීන දුටුවාට
මල් පිපුණු වසන්තය ලඟ ලඟම එනු බලා
හිම වැටුන මග දිගේ තනිව පියමන් කළා
වසන්තය පමා බව හොරෙන් මට ඉඟි කලා
හිත පිරුණු නෙක හීන මටම ඔච්චම් කලා
නිල් අහසෙ සුදු වලා සැනින් කළුවන් වුනා
ලුණු රසට දෙතොල් පෙති නොදැනීම හුරු වුනා
ඉගිලෙන්න තටු නැතුව හිතින් අසරණ වුනා
එකම ඉර හඳක් යට අපි අපෙන් වෙන් වුනා
නිදි නොමැති හදවතට මල් හීන කුමකටද
නිසි කලට මල් නැතිව තුරු ලතා ඵල ගයිද
මේ ලෙසින් තවත් නම් ගුවන් තොට වසන සඳ
මුදු'ඟිල්ල සරසන්න අපිට තව කල් යයිද
16/05/21
කවිය බලන්න
තොටුපොළ යි ආදරයයි
ගඟ දිය ගලයි සුපුරුදු ලෙස දෙගොඩ තලා
හුඟ කාලෙකට පසු ඔරු බඳ තුළට වෙලා
ළඟ ඉන්දවා ගෙන එනතුරු අඳුර ගලා
මඟ බල බලා ලතවෙමි ඔබ එතැයි බලා
කෙහෙ රැළි අකීකරු විලසින් සැලෙන විට
එහෙ මෙහෙ වෙවී හබලට බර දැනෙන කොට
ඇහෙ මායිමට ලංවී උණුසුමට වට
ගහෙ සෙවනමයි කුඹුකේ හිමිවුනේ මට
දයි වය පරිදි එක් වෙන්නට බැරුව පෙමින්
ඇයි සුරලියේ දෙගුරුන් බස අනුව යමින්
කයි මං දොරකඩින් ඈතට දෙපිය ලමින්
දෙයි යන්දරට දීගෙක ගිය බැහැර ගමින්
හබලට බර දිදී ඔරු කඳ දියත් නොවූ
කලකට පසුව අද අවුදින් රැයක් ගෙවූ
ඉවුරට වෙලා බලමින් සඳ වතින් මැවූ
මුහුණට හාදු දෙමි තොල් පෙති දියෙන් දෙවූ
පැල් කොටයකට වී නොවුණත් මැදුරක්
කල් පිත ලොවක ගත කරනා යුග දිවියක්
නිල් ලට දිලෙන කුඹුරෙන් ලද කල එළියක්
සිල් ගත් ළඳක සිරි යහනට මුතු පලසක්
නඳ දෙයි තොටුපොළට වැහි බීරුම හින්දා
වැද හෙයි කදුළු යන එන වුන්නැති හන්දා
කෑ මොර දී මොටද කරුමය ඇත කැන්දා
නෑ සියො පවා අද මට දේ නව නින්දා
නොරැඳෙයි එකම දිය පොද එක තැනෙක ගඟේ
නොඇසෙයි එකම හඩ දෙවරක් එකම මඟේ
නොදැනෙයි හදවතට සිසිලක් පවන දිගේ
නොලැබෙයි ඔබෙන් සතුටක් හෙම පෙරදි වගේ
තව තව බලා හිඳ කුමටද ඉවුරු තෙරේ
නව සඳ නැඟේ බස්නාහිර අහස් කරේ
අව දිව කිසි කෙනෙක් නැති සඳ ගෙදර දොරේ
නැව තත් නොඑනු වස් යන්නෙමි හෙමින් සැරේ
කවිය බලන්න
මට නොදැනිම මගේ හිතම දුරු රට යනවා
ඈත මෑත දුටු දසුනේ සිත පැටලෙනවා
නිල් දිය රැලි පෙළ අතරේ පැතුම් මවනවා
නෙතේ කොනේ රැඳුණු බැල්ම දිස්නෙ ගලනවා
මට නොදැනිම මගේ හිතම දුරු රට යනවා
තුරු හෙවනේ සිසිල මතක සුවඳ මවනවා
සිනා තොටක ඒ උණුහුම වචන හදනවා
කෙහෙරැල්ලෙන් නළලත මත හාදු තියනවා
පළිඟු මැණික් පිරි දෑසට හිත රැවටෙනවා
යුග යුග මතකය ගෙවිලා වියපත් වෙනවා
ඔබේ සුවඳ ගුණ යහමින් සිසිල සදනවා
දූ දරුවන් අතරින් ඒ එළිය පේනවා
ඔබේ තුරුලෙ හැංගි ඒ රසය විඳිනවා
කවිය බලන්න
මලක මළගම
සොඳුර ඝන කළුවරත් කලු පාට නැත රතුය
පාළමෙන් මෙහා ඉම සරත් සමයට නතුය
උරග සිව්පා විහඟ පෙම් කැදලි උන් සතුය
තටු කැඩුණු සමනලිය හෙට නික්ම යා යුතුය
ගං දෑලෙ නොපර වූ මල් සුපිපි වෘක්ෂයක
මලක් මළගම් ගොසින් කඳුළු බිඳු වන ඇසක
දුටුවොතින් තබා අවමඟුල් බෙර හඬ පසෙක
දල්වන්න චිතක ඉම අසල ඒ පෙර මතක
මොහොතකට නැවතෙමින් අපි අපෙන් විමසමූ
ජීවිතය විඳි දවස් හදවතින් සිපගමූ
එක් වෙලා කුමකටද අපි ඔවුන් සනසමූ
ජීවිතය දරාගෙන පැටවුන්ට පණ දෙමූ
කවිය බලන්න
මැඬි විදමන
විද මැරූයෙමි
මුදාහැර දුනු දිය
කෑගැසූ ගෙම්බා
අඳුර රජයන මාලිගාවේ
නිදන්නට නිරිඳුන්ට
සිත් සේ රමණ සුව විඳ
අඳුර විඳින්නට
දුනු ශිල්ප කුමකට ද ?
රජුන් සනසවන්නට
අවැසි නැත
කවටකම් පමණක් ම
සෑහේය ....
ගෙම්බා මැරූ පාපයෙන්
සද්ද විද්ද පළඟ පතිර
පටබැඳි නම්බු නාම ලැබ
රජගෙදර කවටයා වී
අවැසි - අනවැසි සියලු තැන
බක බක ගාන්නෙමි
සදාකාලික ගෙම්බෙක් වී.....
කවිය බලන්න
නෙත් පිය වසමි ඔබ දැක ගැන්මට
සඳ එද්දී හිරු හොරෙන් අවරගිර වෙත හැරී
නැති කරයි පරිසරයෙ තිබූ සුන්දර සිරී
මූසලයි අහස් කුස නොදෙයි හිතකට දිරී
සිතක් ඔත්පල වෙලා උපන්නෙමි මැරි මැරී
වෙරළක් වෙතට සයුරක් එන විටදි ගලා
නැවතිය හැකිද මොර දුන්නත් පපුව පලා
හිරු සඳු හැංගිලා නිල්වන් තිරට වලා
හොරැහෙන් අඬනවලු නොකියම කදුළු සලා
හිරු සඳු කඳුල මුතු කැට මල් වැස්ස වෙලා
වියලුණු බිමක් කොල පාටින් එළිය කලා
නොමැරෙන සෙනහසක අරුමය පොතක ලියා
නෙත් පිය වසමි ඔබ මුව දැක ගන්න බලා
කවිය බලන්න
ගුත්තිල කාව්‍යයේ සිත්ගත් කවි
හිමි තම නැණ නැවින්
සැදී ගී තරඟ බෙහෙවින්
වෙණ සිප් මහණවින්
කළේ ඔහු පරතෙරට මැනවින්
ගුත්තිල පඬි තම ඥානය නමැති නැවෙන්, බොහෝ වූ
ගීත තරංගයන් ගෙන් හෙබි වීණා ශිල්ප නමැති සයුරින්
ඔහු (මූසිල) මනාසේ පරතෙරට ගෙන ගියේය.
හිමි ඔබ ඉදිරියේ
වැයුවත් වෙණ ඉදිරියේ
ශිල්ප එක සරියේ
එයි දුන මැනවි පඩි සරියේ
මූසිල විසින් බ්‍රහ්මදත්ත රජුහට මෙසේ පවසන ලදී;
ස්වාමිනී , ඔබ අභිමුව විරෝධීව වීණා ගායනා කළත්
අප ශිල්ප එක සමානය. එබැවින් එක සමානව වැටුප්
දෙනු මැනවි.
සටහන; මූසිල වීණා වාදනයෙන් පරතෙරට ගොස් ඇත.
අදක්ෂයෙකුට එසේ ශිල්පයක් පිහිටන්නේ නැත. එසේනම්
මූසිල දක්ෂයෙකි. ඔහු කළේ සමාන වැටුප් ඉල්ලීම පමණි. එය
ඔහුගේ ගුරුතුමාගේ සිත තලන්නක් වූයේ කෙසේද?
එදා සමාන වැටුප් ඉල්ලීම මරණය දක්වා දිවෙන වරදක් ලෙසට
පාර කැපුනත් ගුත්තිල මූසිල සටන අද පැවැත්වුන හොත්
ප්‍රතිපලයේ වෙනසක් විය නොවිය හැකි බව කිව හැක්කේ කාටද?
කවිය බලන්න
දවසක් එයි ද ආයෙත්...
ගලවා ම මුව වැසුම්
මහ සෙනඟ මැද්දේ
ඇන්ටිලා ඔරවද්දී
උඹේ මුව ඉබිනු හැකි
නොගල්වා ඇල්කොහොල්
අත ගගා බිලිඳු හිස
ඕඩිකොලොං පුහුඹ
හුස්මකට විඳිනු හැකි
අවසාන රුපියලත්
තබා යාචක අතෙක
බොලෑවුණු දත් හිනා
ඇස් පුරා බලනු හැකි
අසාධාරණ අවින
සමාජෙට නොවනතව
හඬ නඟන පා ගමන
නොනැවතී දිනනු හැකි
වැටෙන්න ට පෙර බටේ
ස්වරාලෙන් පහළටම
තොපි එක්ක උගුරකට
මධුවිතක් ගසනු හැකි...
කවිය බලන්න
පොසොන් සඳ
මල් මතින් හමනා සුළං රොද
සියොත් කැල හා එක්වෙලා
ගුම් නැගෙයි පවසයි බුදුන් ගුණ
ලක් පොලෝ තල පිබිදිලා
සිල් සුවඳ නලවයි පහන් තිර
සුසුම් ලන හද සනසලා
රන් සඳක් ලෙස නැවුම් පිළියෙන්
පොසොන් සඳ අද සැරසිලා
තරු පුරා නටමින් එහේ මෙහෙ
නෙත් අගින් ඉඟි මර මරා
වරු තුනක් උව පහන් කල හැක
මේ සොබා සිරි බල බලා
සරු කෙතින් නික්මෙන සිනාවට
කුසේ ගිනි නිති නිව නිවා
දරු පුරන් එක්වී පොසොන් සඳ
හිඳී රූ සිරි වන වනා
සඳ රටා මවමින් කුසේ හිඳ
දිදුලනා ලෙස බල බලා
විඳ රසේ මවමින් පොසොන් ගී
විසිරිලා කන් පිනවලා
සොඳ සිනා යායට පිපී ඇත
එකා මෙන් සැම එක් වෙලා
පද රටා ගෙතු කවක් ලියවිය
සිතේ සතුටින් මත් වෙලා
කවිය බලන්න
🗙


































































