ගාල්ලෙ පචගහ යට මං හිටියා නේ බොලං!

ගාල්ලෙ පචගහ යට මං හිටියා නේ බොලං!

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

සංකල්පය: දයා ආනන්ද රණසිංහ සකල මනා දෙය තිබුණත්-නැති වාදය හිතේ තියෙන මත වාදය කෙසේ වෙතත් පැන - පැන ගන්නේ සකල සිරින් නොපිරි රට ද-එහෙව් රටේ අප කවුරු ද තැන-තැන පොඩි කතා බහට- හැම කන් දෙන්නේ හිතල-මතල බොරු-බේගල්- ඇද-ඇද කට රසට තියල ගොන් අං නැති රැළකට - කඩිමුඩියෙ කියන්නේ බතල කටින් හිටව-හිටව-එකා-දෙන්න ඇමිණෙන තුරු පචගහ යට පචනේරිස් - බිම සරසන්නේ කාටත් ඈ‌හෙන-නෑහෙන - ගානට වගෙ මුහුණ බලන් කෝටුකෑල්ලක් අරගෙන - කොටුව අඳින්නේ පාටත් හොඳ වගේ පේන-කෙනෙකු විලස අරිහෙළ හැඳ තරමක වේගෙන් කට හඬ - අවදි කරන්නේ ආවත්-නාවත් කවුරුත්-ඉන්න දොළොස්-පාළොස් දෙන බලා නුහුරු මූණට රස - කතා කියන්නේ මාවත් - පාරත් අවහිර - නොවන පචගහේ මුල සිට පචනේරිස් දවසේ - කටයුතු අරඹන්නේ මේ උදවිය හිතන්නෙ දැං-විකුණන්නට යමක් ගෙනත් කීයට - කීයට හරි දී - මල්ල පුරෝ ගනී කියා ඒ අදහස හිතේ තියං - හිටියට වරදකුත් නෑනෙ මගේ අතේ කිසි ම දෙයක්- බලන්න ඔබ තියෙ ද කියා උදේට කාලත් නෑ මං - දවල්ට කන්නේ කොහොම ද දෙයියො-බුදුන්ගේ නාමෙන්- මට ලැබෙනව ඔබගෙ දයා පදේට දිවි බෙරය වදින-වදින ලෙසට දෙපය තබන අවසර මට පටන් ගන්න-දෙව්-බුදුන්ගෙ ගුණ ම ගයා කුජ බුද රවි බෘහස්පතී-චන්ද්‍ර රාහු ශනි ද වෙතී කොටු හිස් වී තිබෙන හතේ-ගත ලෙඩ වෙන්නේ රවි පළවැනි තැනට නැතී-සඳු දහවල මතු ව ඇතී දවස ම කලුකර නිති වැහි - කෝඩය දෙන්නේ බුදගෙ දවස හොඳ පල දෙයි-කුජ කොහොමත් ඇදට හිටී කේතුගෙ වගතුග ඇහුව ම - සුබ පල දෙන්නේ එකී- නොකී- මෙකී- බෝම- හිරුට අයිති ග්‍රහයො දැක්ක එහෙව් කෙනෙක් මේ සක්වල -කවුරු ද ඉන්නේ හද්දකමට වල් පිටිසර-කොපමණ හොඳ දේ තියේ ද නගර බැද්දෙ ඉන්නවුන්ට-පිටිසරෙන් ටිකක් එහෙව් හද්ද කර්කශ ඉම-ඉඳල ආපු මං මේ වළ ගෙනාවෙ ඒරොප්පෙ හැදූ- පුංචි පෙති ගොඩක් ගමේ වැවෙන රස ගුණ පිරි-වැඩි ඖෂධ බලේ තියෙන ගස්වල - වැල්වල සාරය - අරන් කළ වැඩක් සුදු එව්වන් අපෙවුන්ගෙන්-ගෙන ගිය පුස්කොළ කියවල අපේ ම බඩු අපට දෙන්න- හැදුව පොඩි දෙයක් මං ඔය දේවල් කීවට -ගමේ වැවෙන දේ කන මට කිව්වට පිළි නොගත්තාට -නැහැ කිසි ම ලෙඩක් දියවැඩියා, හද කැක්කුම්, පීඩනයට රුහිර ගලන අක්මා, වකුගඩු අමාරු-වලට හොඳ කෙමක් ඇස් අමාරු, කන් අමාරු - හිරු රුදාව, ඇඟ රුදාව පැනල යන්නෙ හරියට පිණි- දුටුව වගෙ ඉරක් හැබැයි පුතෝ මේ බේතට - සෙම් අමාරු ඇඟ ඇත්නම් නාන්න බැහැ හත් දවසක් වෙයි එය වදයක් දුරක ඉඳන් ආපු නිසා - හිරු මූදට පනින්ට පෙර ආපසු යන්නට ඇති - වුවමනාවට වඩා ආපු එකේ මේ නගරෙට - මේ ඩිංගත් කියල ම - මං ඉවර කරන්නම් පෙති ටික - ආයු වඩ-වඩා ඒරොප්පේ සිට ආවත් - කොළොම්තොටට බැස්සත් සකි මිලට ගන්න යන්න වෙන්නෙ- කොළඹට ම කඩා කොළඹදි රුපියල් දහයයි - පචගහ ළඟ හරි ලාබයි ඇත්නම් රුපියලක් - දෙන්න ලාබනේ අඩා! දැන් නම් හරි හැන්දැවෙලා - පිටිසර ඉම දුරක නිසා යන්නයි මං දැන් හදන්නෙ- ගන්න තවත් ඉන්නවා ද උඩ සාක්කු-යට සාක්කු - අත පොවලා දැන් බලන්න කීයක් ළඟ තිබුණත් මං - බේත දෙන්න ගන්නවා ද මං දන්නව - මං දන්නව - හිත තිබුණට මුදල් නෑනෙ ගිනි දී මං විකුණන්නේ - නැති බව දැං දන්නවා ද අතේ තියන සත විසිපහ - පණහෙ කාසි-දහ-පහළොව ඉවර කරල යන හින්දා තව කවුරුත් ගන්නවා ද දවසට එක පෙත්ත ගානෙ - නින්දට පෙර මෙය ගත්ත ම යහනෙදි පොර පිටියෙ සද්දෙ - ඇහෙයිනෙ හරි-හරි විදියට කෝකට තෛලය වාගේ-මේ පෙත්තත් ඒ වාගේ බෙහෙත් හතර - පහක් ගන්න- අවැසි ම නෑ පෙර විදියට කාලෙත් ඉතුරුයි ඔහෙලගෙ-මුදලුත් ඉතුරුයි ඔහෙලගෙ බලන්න අරගෙන මේ පෙති - මාස දෙකක් එක විදියට ආයෙත් මේ පචගහ යට-හමු වෙමු තව බෙහෙත් සමඟ යන්ට අවසරයි දැන් මට - ආයුබොවන් මේ සබයට!!! ලිව්වේ : 10.02.2021 දා ලන්ඩන් කවි ජූනි 2021 කලාපය සඳහා
කවිය බලන්න