ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි සිව්වන වෙළුම

2022 සැප්තම්බර් කලාපය

රඟා බහුවිධ රැඟුම් සුවහසක් මනබැන්දු ගයා පෙරපර සුසර රස අමිල කවිසින්දු නටා පද, ලියා පෙල, නගා හඬ අමබින්දු ජැකා උඹ කලාලොව කිරුල හිමි කෙසරින්දු
ආචාර්ය සෝමරත්න දිසානායක

සංස්කාරක: අනුර හෑගොඩ Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා Web Admin: Tharindu Rajakarauna

ජැක්සන් ඇන්තනි උපහාර කලාපය



ආචාර්ය සෝමරත්න දිසානායක

2022 සැප්තැම්බර් කලාපය

කෙසරින්දු

<img src="https://londonkavi.com/wp-content/uploads/2022/09/Pasted-10.jpg" alt="" width="100%" />
View Poem

නිශ්ශංක දිද්දෙණිය

2022 සැප්තැම්බර් කලාපය

ජැකාලංකාරය

<img src="https://londonkavi.com/wp-content/uploads/2022/09/Poem-C-Jackson-Anthony-15.08.png" alt="" width="100%" />
<img src="https://londonkavi.com/wp-content/uploads/2022/09/Poem-C-Jackson-Anthony-15.08-2.png" alt="" width="100%" />
View Poem

කපිල කුමාර කාලිංග

2022 සැප්තැම්බර් කලාපය

"මරා"ගේ විරාමය

කිමද නිහඬව අද
අවදි වනු මැන විගසින
නගන් යළි ඒ හඬ තෙද
ඇසෙන ලෙස පසු අසුන් පෙළටද

සිටී නෙතු පියාගෙන
හුදෙකලා ගිලන් සයනයක
වෙහෙස පත්වීද දිවි ගමනින
රිදුම් දේ ද හිස
පසුතැවීමේ කටු කිරුළින්

පැසසුම් සේම ගැරහුම්
එකම නදියක දෙවුරයි
නොදිටිද ඒ බැව් ඔබ
තීර්ථය වෙත යන කල

අඩ අඳුරු රඟහල් බිමේ
ඇසේ යළි පිළිරැව් දෙමින්
සැබෑ කරමින් යටි අරුත්
"මරා" ලෙස ඔබ කී වදන්

"ඇද කෙස් වැටියෙන් තම
පෙරළා සිරුර කණපිට
අලුත් ඇසකින් ලොව
බැලිය යුතු මිනිසෙකු ලෙස"

කළ භූමිකා බොහෝමයි
තවත් ඇත ,ඉදිරියටයි
අලුත් පෙළ මතු ලියැවෙයි
රාත්‍රිය තව තරුණයි

විරාමය කෙටි නිමකොට
බලන් හැර කවුළුව අස
"මරා" එනතුරු රඟ බිම
බලා සිටිනා දන දෙස

(1986 දී වේදිකාවට ආ සුගතපාල ද සිල්වා
අධ්‍යක්ෂණය කළ "මරා-සාද්" නාටකයෙහි
"මරා"ගේ චරිතය නිරූපණය කළ ජැක්සන් ඇන්තනී
ඒ සඳහා රාජ්‍ය නාට්‍ය උළෙලේදී හොඳම නළුවාට හිමි
සම්මානය ද දිනාගත්තේ ය.)

22/08/07
View Poem

ශ්‍රියාණි අමරසේන

2022 සැප්තැම්බර් කලාපය

මිසි නෝනාත් ආදරෙයි

මිසි නෝනාට ආදරෙයි කියා ඔබ කීවා එදා
තරණයේ තංගප්පන් ලෙස මතකද මා හා රැඟුවා එදා
අපි ඔබට ආදරෙයි එදා මෙදා තුර මතුවටත් සදා
නැඟිට එන්න කෝ සිනාසෙන්න කෝ අපේ ආදර ඇන්තනී ජැකා
View Poem

එස් එල් සෙනෙහෙධීර ලෙච්වර්ත් - එක්සත් රාජධානිය

2022 සැප්තැම්බර් කලාපය

පිබිදෙන් ඇත් රජුනි!

<img src="https://londonkavi.com/wp-content/uploads/2022/09/ජැක්සන්-ඇන්තනි.png" alt="" width="100%" />
View Poem

2022 සැප්තැම්බර් කලාපය

මගේ සවියත් දෙන්න

පිරිවරක් දුක් වෙද්දි බැහැනෙ මට වාවන්න
තනි අලියා මම කැලේ හැක රිදුම් ඉවසන්න
තව බොහෝ දේ තියේ ලෝකයට කර යන්න
සිංහයට නැගිටින්න මගේ සවියත් දෙන්න

ඝණ අඳුර වෙලාගත් රැයේ පය ඔස වන්න
පමාවක් වුණේ ඇයි මේ විපත් සිදුවෙන්න
මට වාරු නැති නිසා කෙලින් හිටගෙන ඉන්න
සිංහයත් යට කරන් මට වුණා ඇලවෙන්න

බිදක්වත් පෙනුණිනම් මාව බේරන් යන්න
සිංහයා එන්නෙ නෑ මගෙ ඇඟේහැප්පෙන්න
මගෙ සවිත් අරන් හැකි ඉක්මනට නැගිටින්න
දන්නවා එන බවත් නුඹ මාව දැක ගන්න

2022/08/01
View Poem

ප්‍රීති රන්දෙණිය

2022 සැප්තැම්බර් කලාපය

සිංහරජුනි නැගිට එන්න ..

සියලු රෝග බංග කරන්
අතීතයේ සුවඳ අරන්
අලුත් යමක් කියාදෙන්න
කලු කුමරෝ හිනාවෙන්න

පබා වතිය වැලපෙන්නේ
දූ දරුවන් නොනිදන්නේ
සත්තයි මේ සෙත් යැදුමෙන්
කුස රජ ජය පැන් බොන්නේ

බවදුක ගැන කියල දෙන්න
ගඟ තව දිගදැයි සොයන්න
පුස්තකාලෙ දොර ඇරගෙන
ලක් අම්මට කියල දෙන්න

ජේසුනි අපේ දුක අහන්න
දෙයියෝ බුදුන් පිහිට වෙන්න
ඇතෙක් ට බය නෑ කියන්න
සිංහරජුනි නැගිට එන්න ..

5.8.2022
View Poem

සුනේත්‍රා අලුත්දුන්නෙ - මාතලේ

2022 සැප්තැම්බර් කලාපය

ඉන්ද්‍රජාලීය යෂ්ටිය

තිබුණේ නම් මට
ඉන්ද්‍රජාලීය යෂ්ටියක්
සුවපත් කරනු වස් ඔබව
පවන් සලමි ඉන්
ඔබට ඉහළින්
අවදිවන තුරුම ඔබ

සිතමි සැමවිට
සුවපත්වන්න කියා ඔබ
එවමි මගෙ ආදරය
නිරන්තරයෙන් ඔබ වෙත
පතුරවා හරින්නෙමි
සුව හැඟුම්
සමනය කරනු වස්
ගිලන් බව

වෙදැදුරු පරයනු ඇත
ඔසු අනවැසිය
යෂ්ටිය ගෙන
සුවපත් කරමි ඔබ

නමුදු මා ළඟ
එවන් යෂ්ටියක් නැත
නොදනිමි කෙසේනම්
මැතිරිය යුතුද කියාවත්
එහෙත් දනිමි
නිරතුරුවම ඔබ ඇති බව
මා සිතුවිලි අතර
පතමි නිරතුරුවම
වහා ඔබ සුවපත්වන්න .

සුනේත්‍රා අලුත්දුන්නේ

Joanna Fuchs ගේ
Magic Wand නම් කවියේ
ජයානුවාදයකි .
View Poem

සපුමල් බන්ඩාර - ලන්ඩනය

2022 සැප්තැම්බර් කලාපය

අනේ ඉතිං

මා පියාතුමෝහට එඩේරෙකුවිය
ලක්දිවට ඉතිහස් පොතක්විය
කලා විල්තෙරේ දගකාරයාවිය
ගගදිගේ ආයෙමත් අපව
රැගෙන කියාදෙනු රිසිව
නැගී සිටනු මැන ජැකයානුවානනි.
View Poem

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ බැසිල්ඩන් එංගලන්තය

2022 සැප්තැම්බර් කලාපය

දිලෙනු මැන එදා මෙන්

මිලකර නොහැකි කලා කෙතේ අසරුවනි
දිනකර ලෙසින් බබලන තරු ඇදුරුවනි
පුවතර විසුල දැනුමක් හිමි කුමරුවනි
උනුකර හදවතට දැනෙනා සොඳුරුවනි

ගොනුකර නුඔ නමින් කවියක් ලියන්නට
පුවතර කරුනු ලැබුනා කොල පිරෙන්නට
අවසර මෙවැන්නෙකු නැත නුඹ ඇරෙන්නට
සුවකර එවනු දිනකර රැස් බෙදන්නට
View Poem

අරුණි මුතුමලී

2022 සැප්තැම්බර් කලාපය

304

මම රෝගියෙක් කියා
නිරෝගී අය කියා
රෝහලේ කාමරේ
ඇඳක දපලා ගියා

දන්නවද නොම්මරය
ඒක 304
ආසියා බූරුවා
ජෝකර් ද සිහිකරන

තුරුම්පුව හංගලා
කලාබර පැන ගියා
ඉස්කෝප්පය වැදී
හාරතය දෙදරුවා
හැමදේම දැන් රුවිත
මට පේන පේන තැන

රජ වෙලා හිටියාට
හේරාගෙන් ගුටි කෑව
ලෝකයේ තව බෝම
අය ඉන්නවා මේම

පොරව බලවත් වෙලා
මොනර කොළ විසිවෙලා
විහළුකාරයෙක් වුණ
මං ගැනම මට හිනා
View Poem

ආරියරත්න ජයසිංහ මහරගම

2022 සැප්තැම්බර් කලාපය

පනාපුත්‍ර කුහුඹු පැණියෙනි

විරිදුවකින් නෙත් සිත් පොබ කරවන
‘නෙයින තම්බිගේ සූදුව’ අල්ලන
මුඩුක්කුවේ හිට්ලර් වැඩ පෙන්නන
‘ඇඩ්‍රස් නැති’ එකම ජැකා ඔබ

කුරුනේරිස් එයි ‘කඩුල්ල’ පැනගෙන
‘ධර්ම යුද්ධ’යෙන් ජය ගොස නඟමින
‘පළිඟු මැණික’ ගෙන විස්කම් පාමින
ඔබ සමකළ හැකි තවෙකෙක් කොහි වෙද

‘සූරිය අරණේ’ වන මැද රජකළ
‘උදුම්බරා’ ‘ඝර සරපෙ’හි වැජඹුන
‘එකගෙයි සොකරි’ත් ‘අස්වැසුම’ත් ගෙන
ඔබ ආ රඟ අප දුටුවා පෙර දින

විසුළු වතින් පබවත බිය වද්දන
‘කුස’ නිරිඳුය රජ මැදුරේ කඹුරන
‘අප්පච්චී’ ලෙස දූ වරු සමගින
ඔබ පෑ දස්කම් විස්කම් කොපමණ

‘මහා සිංහලේ වංශය’ සොයමින
දෑ අභිමානය ඔසවා තබමින
‘කළු ගඟ දිග’ පැදයන ඔරුවක හිඳ
සොබා සිරිය පා මන්මත් කරමින
කරලියේ නැඟ පුළුල් තිර මත
ටෙලි තිරය මත ඔබ රැඟූ රඟ
යළිත් රඟ දෙන් සිංහයාණෙනි
‘සිංහබා’ පිය සිංහයා මෙන
View Poem

ඩී. අමරසිරි ගුණවර්දන නවසීලන්තය

2022 සැප්තැම්බර් කලාපය

පූජණීය ගුරුවරයා

හිමිදිරි පාන්දර මීදුම පිරුන මගේ

පිණිබර වෙල්යාය පසුකර නියර දිගේ

සුමිහිරි මල් පොකුරු දියකඩ රඟන රඟේ

සිප් හල වෙතට ගිය හැටි මතකයට නැගේ

නාරන් හිඹටු මා දං බඩවැටි අස්සෙන්

දෙමළිති බටිති කෑරළ ගී හඬ මැද්දෙන්

බිය සැක පරොස් බස් ගෙරවිලි නැත බැද්දෙන්

උදයේ පිපුන මල් ළඟ ගුමු ගුමු සද්දෙන්

කටු මැටි බිත්ති වහලය අතු සෙවිලි කළ

බංකුද පොඩි පුටුද ගුරු දෙවිඳු එක්කල

සිනහව සමග නෙත් හැර අප වෙතට හල

බැල්මම කියනවා ගරු සරු යුතුය කළ

පාඩම අරඹන්න පෙර ඔහු අපගෙ හද

උදුරා ගනී මොහොතක් විදිනවා ඔද

භාරතයේ මෙන්ම ලංකා මෑණිගෙද

නිදහස ලැබූ විරුවන් වෙත තිබූ තෙද

සුබාස් චන්ද්රබෝස් මොහොමඩ් අලි ජින්නා

විජය ලක්ෂමි පණ්ඩිත මැතිනිද උන්නා

මහත්මා ගාන්ධියි නේරු ද දෙන්නා

අපගේ හදේ, ලේ ඇට තුල කිමිදෙන්නා

ගරුසරු ගුරු පයාණෙනි දිනපතා අප

සවසට රඳවගෙන පංතියෙ කළේ කැප

නොලබා ගුරු පඩුරු කිසිවක් වෙතින් අප

දුන්නා අහර කිස ඔබ ණයගැතිය අප

බුදු දහමද විද්යාවද කවි පොතද

ගැඹුරුය විෂය සමගින් ඔබගෙ ඔද තෙද

උකහා නොගත් දරුවන් කැඳවා නිබඳ

ඇහුවා සෙමෙන් උන් පසුපස තොරතුරුද

භාෂා ගණිත සිප්සතරද ගොවිකමද

ගහකොළ බෙහෙත් ඉතිහාසය දැනුම වෙද

දුන්නේ අපට රස ආහර ලෙසින් සොඳ

ගුරු දෙවියනේ එනු මැන පාසළට අද
View Poem

අන්ජලී චන්දිමා සිල්වා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

2022 සැප්තැම්බර් කලාපය

පතමි ඉක්මන් සුවය ඔබහට

ජැක්සන් සොයුර ඔබහට සුව පතමි මෙමා
ඉක්මන් සුවය ලැබ එනු මැන නොවී පමා
දනන් දුක නිවා යළි ඔබ රඟන නියා
දැක්මට මඟ බලා සිටිනෙමු නෙතු නොපියා

යළි රඟමඬල දෙවනත් කර හිනැහෙන්න
දෙවියනි ඔහුට දෙනු මැන සවි නැගිටින්න
දනන් තුඩග රැව් දෙන නම රැක ගන්න
අපෙ ආයුෂත් ගෙන ඔබ ජීවත් වෙන්න
View Poem

කලාපති ජනාර්ද ආසිරි විජේසේකර කේම්බ්‍රිජ්

2022 සැප්තැම්බර් කලාපය

සකල කලා සක්විති

සකල කලාවම හඳුනන වියතාණෝ
පසුපෙල පිරිවරක් බිහිකල ඇදුරාණෝ
ඇත් කුණ්ඩලේ කරඬුව බැඳි ගිජිඳාණෝ
සුරකිනු මැනේ නිරතුරු දෙව් සමිඳාණෝ
View Poem

අනුරුද්ධ වැලිගමගේ මිසිසාගා - කැනඩාව

2022 සැප්තැම්බර් කලාපය

පනාපුත්‍ර කුහුඹුපැණි ......

පනාපුත්‍ර කුහුඹුපැණි ......

නෙයිනගෙ සූදුවේ හැඩ වැඩ කවි කොළුවා
බව දුක තුලින් ජීවිතයේ දුක දුටුවා
නෙක නෙක රැඟුම් තුල තිරයේ රුව පෙන්වා
හැමදා අපට අළුතින් කවියක් කිව්වා

මහ සිංහලේ ඉතිහාසය ගැන හොයලා
රට දැය අවදි කර දැනුමින් සරි කරලා
නීරස විෂය ඇතුලේ අප හිත හදලා
විස්මන් රැසක් මතකයේ හංගා තියලා

මහවැලි , කළු ගඟේ උල්පත් වෙත නැඟලා
ගංගා දිගේ ජන හද මන පොබ කරලා
සලන්හතේ ලෙසතෝ බිම් කඩ හොයලා
සිංහල බසින් ගමනක් යන හැටි කියලා

කර ඇති වැඩ රැසයි, එමටයි කරන්නට
දැනුම නොදී බෑ ඔබ හට නිදන්නට
කලක පටන් එක්කල පැස බෙදන්නට
ගිලනින් නැගිට එනු මැන අප බලන්නට

05.08.2022
View Poem

අනුරුද්ධ වැලිගමගේ මිසිසාගා - කැනඩාව

2022 සැප්තැම්බර් කලාපය

අංජානා ......

මගේ හදවත ආදරෙන් පුරවා
ඔබේ හසරැල් මාළිගා තැනුවා
ගියත් විමනේ රන් දොරටු හැරදා
ඉන්නවා තව බලන් ඔබේ රුව මා .....

වසර ගතවී කාලයත් ඇවිදා
තාම හීනෙන් ඔබ ඇවිත් යනවා
පොඩි කුඩේ යට ගුලිවෙලා ගියදා
තාම යනවා හිතින් අත පටලා ....

පාට හැඩවී තුරු උයන් හැඩදී
බලා උන්නේ එනතුරා එක්වී
සීත මීදුම් වලා පෙල මැදදී
දගකරන ඔබ පෙනෙනවා පෙරදී
View Poem

අජිත් ධර්මකීර්ති ලන්ඩනය

2022 සැප්තැම්බර් කලාපය

ජැකෝ ....................

ජැකෝ නුඹ දැක්කෙ මුල්වරට
උතුමාණෙනි නැටුමෙන්
ජෙනරාල්ට ගී ගයන මේ
බෙරේ වැස්මක් හිසේ ඇති
ජැමෙයිකන් පෙනුමැති
නළුවා ජැක්සන් කෙනෙක්ම
තමා යන හිතිවිල්ලෙන්

නුඹ ඒ කියන්නැහේ
පස්සේ කාලෙක බලු කුක්කෙක්
ජෙනරාල්ලගේ බොසාලට
උනා කියල තරහා නැහැ මං
නීල ටත් සමාව දුන් එකේ මම
මැරුණු දවස්වල හැමෝම බනිද්දි
ඒ හඬ අමතක කරන්නේ කොහොමද
තරුණ වියේ අපි සනහපු

නෙයිනගේ සූදුව තමයි
දැක්කේ ඉන් පස්සේ ඒ රංගන
ප්‍රතිභාව , කොමඩි නළුකම
හවස්වල මධුවිතක් සමග
නැවත නැවතත් නරඹන

තාරාවෝ ඉගිලුණු නාට්‍ය
හැන්දෑවක් ඒ කාලේ තිබුණ
අපි හැමෝටම වගේ
නැවත නැවතත් අහපු ඒ සින්දු
සෝභාව දුන් රංග සභාවටම

ගී ගයන්නත් , නටා වයන්නත්
වයා නටන්නත් සිත් සනසන්නත්
හිනා ගස්සන්නත්
මේ හැමදේම හැමෝටම බැරි තැන
බොහෝ දේට සමතෙකු වුනු ඔබ
කවදාවත් නුදුටු ඒත්
හිතට සමීප යයි හිතුනු
චරිතයක් මචං

නැවත ඔය ඇඳෙන්
නැගිටීවි යයි
සහෘදයන් රැසක්
සහෘද ජනතාවක්
තවමත් බලාගෙන
ඉන්නව සහෝ
අමතක නොකරන්
View Poem

අමර ගුණසේකර Marne la Valée ප්‍රංශය

2022 සැප්තැම්බර් කලාපය

මෙහෙමයි ගෙවන්නේ කරුමය පින්වතුනේ!

ගොම්මන් කරේ කලුවර දුවගෙණ ආවත්
පිණිබිඳු පතිත වූ පිපිමල් ඔච්චම් පෑවත්
අහසම කඩාගෙණ මහ පොළවට වැටුණත්
හිමිකරු හොයාගෙණ හිමිදේ එනවාමය සත්තේ

පිළිගන්නට නොමැත කිසිවෙක් එනකං ඉන්න
ආවේ කොයිබටද යන්නේ කොහාටද
ලැබුණොත් කිසිවකින් කුස පුරවා ගන්න
පමණයි ඇත්තෙ දන්නා දහමේ ලෙසට

පෝලිමෙ මුලම අල්ලා ගෙණ විගහට යන්න
මොකටද දගලන්නෙ කවුරුද එනකං ඉන්නේ
පහන් කරන්නේ රැය හීතල පින්නේ
දිවි ගෙවණවා නොව දිවි වියැකී යන්නේ

ඇති දේ නැති අයට පෙරකල නොමදුන් හින්දා
විඳිණා දුකම මදි වන්නට නැතුවම ලැබිලා
මේ අත්භවේ පුරණට පින් නැති හින්දා
එන අත්භවෙත් මේ වගෙ වේවිද මන්දා

ප්‍රංශයේ Marne la Vallée ප්‍රදේශයේ සිට
View Poem

බණ්ඩාර ඇහැළියගොඩ

2022 සැප්තැම්බර් කලාපය

කාටත් වඩා පණ හයියයි ජැකාගේ...

<img src="https://londonkavi.com/wp-content/uploads/2022/08/IMG-20220803-WA0051.jpg" alt="" width="100%" />
View Poem

චන්දන ෆොන්සේකා - ලන්ඩනය

2022 සැප්තැම්බර් කලාපය

අම්මා

කුස තුළ පිළිසිඳගත්දා
සිට ඇසුනේ ඔබේ කවි
ඔබට නොඇසුනාට අම්මේ
මමත් කිවුවා නෙලුම් කවි
තාත්තා කිව් විරිදු ඇසී
කුස තුලදි රස වින්ඳේ
ලෝ වැඩ සඟරාවේ කවි

හෙළ සිරිතට ජන ගීයට පෙම් බැඳි අම්මා
නර්තනයෙන් ලොව සිව්දිග ජයදද නංවා
උඩරට සිරිතට ඔසරිය ඇඳි අපේ අම්මා
පිච්ච මලින් නිතරම හිස සැරසුව අම්මා

දහස් ගණන් දරු කැලකට නිසි මඟ පෙන්වා
ඔවුනගෙ දියුණුව වෙනුවෙන් සෙත් පැතු අම්මා
මගේ වාගේම සියදහසක් දෙනෙකුගේ අම්මා
නෙල්ලම්පිටිය දයා, ඔබයි මගේ ආදර අම්මා

28/08/2022
View Poem

චතුරි වික්‍රමාරච්චි - එක්සත් ජනපදය

2022 සැප්තැම්බර් කලාපය

සැරද! නෙතු හරින්න ඇන්තනී....

පනා
සේ
සාහිත රසයෙන්
බඩකට පුරවපු
නුඹ....

පුත්‍ර
යෙකු සේ
ප්‍රේමයෙන්
කලා මවට පෙම් කළ
නුඹ.....

කුහුඹු
වෙකු සේ
කඩිසරව
සිනමාව ජයගත්
නුඹ......

පැණි
සේ
ගයපු ගී මීවිත
රසයි
නුඹ......

එන්න
නැවත
බලා සිටිමු
එනකම්
නුඹ....

යලි
නැගිටින්න
මියුරු තෙපුල්
කියමු
අපී......

සුන්දර
මිනිසා
නුඹයි
පනා පුත්‍ර කුහුඹු පැණී......
View Poem

චන්ද්‍රවංශ ඥානසේකර කැළණිය

2022 සැප්තැම්බර් කලාපය

නැඟෙන් ඔය ගිලන් යහනින්

ගලා යයි කළු ගඟ
ගලින් ගලට පැන
වෙනදා ගැලූ විලස ම
නුඹ කොහි ද දේශාටකය
සොයා සොයා එහි නැමි
සරා කඳු හෙල් මුඳුන්
පටු මං අතුරු මං පසු කර
ලංකලා ඒ සොඳුරු අප ට
පරදු කර නුඹ දිවිය

රඟහල ද කරළිය ද
තුෂ්ණිම්භූත ය
නුඹ ගිලන් ඇඳ බව
උහු නොදනිිිති

මහාවංශය
කනප්පුව මත පෙරැළි
බලා ඉන්නේ
නුඹ එනතුරුයි
අලුත් විවරණ අසන්නට

නැඟෙන ඔය ගිලන් යහනින්
පනාපුත්‍ර ය
අවසන් නොකළ දේ
තවත් බොහො ම ය
නුඹ ම මිස වෙනෙකකුට බැහැ
ඒ කිසිත් නිම කරන්න ට

20-08-22
View Poem

චන්ද්‍රා සේනාධීර - නවසිලන්තය

2022 සැප්තැම්බර් කලාපය

Catwalk

කවියාගේ කවි සිතුවිලි,.......
ගීයක හඬින් ලඳුන් ගයද්දී
දේදුනු පැහැයෙන් සැරසුණු
ලඳුන් එකට වෙලෙමින්
වේදිකාවෙ රඟන රැඟුම්
මනරම්ය ......

අත්පොලසන් හඬ,....
සිසාරමින් ඇදී යයි .......
මිතුරු ඔබ ලියූ කවි කොළ
සුළඟින් ඈතින් ඈතට,......
පාවී ,.....පාවී ,…..
දෙපතුල් සිප ගත්තේ
අන් සරණක්පතමින්,.........

කලා ලොවෙහි රස හඳුනන
කලාත්මක හදවතක්
මුද්‍රිත මෝස්තරයක් සේ
දෙපා සිපගත් කවි පෙල,.....
සුසිනිඳු සළුවක හැඩ ගන්වා
මැසූ විලාසිතා ඇඳුමකින්
වත සරසාගත් නිරූපිකාවිය
ඔල්වරසන් හඬ මැදින්
Catwalk වේදිකාවෙ
ලාලිත්‍ය ගමනේ,........

මිතුර මා නෙත් පිරවූ තුටු කදුළු
ඔබ වෙනුවෙන් දියත් කර
පෑන් තුඩින් රසිකයන්ට
සෙනෙහසින් පිළිගන්වමින්
ඉදිරිය සතුටින් බලා ඉන්නම්.

14/08/2022
View Poem

වෛද්‍ය චතුර එම්. විමලරත්න - වැල්ලවාය

2022 සැප්තැම්බර් කලාපය

පනාපුත්‍ර කුහුඹු පැණියා

සුමට පවුඩර් නාන නළු මල්
එමට උපදින මේ රටේ...
කුමට උඹ නැති තිරය තිබිලා
ගිනි තියමි කැමරා බටේ...
එමට ප්‍රතිභා රශ්මි විහිදන
කළුද රළු ලක්‌ කොලු කැටේ...
බිමට බැහැපන් ඇඳෙන් ආපහු
හෙනට පාළුයි මුතු ඇටේ...

අපට "ජැක්සන්" කෙනෙක් ඇත
"මයිකල් " නෙවෙයි ඒ ඇන්තනී...
නමට ගැලපෙන රැඟුම :
නෙයිනගෙ හූදුවේ ඇත හිත ඇනී..
එමට ජය සලකුණුය රණ බිම
කුමක්වුව රාවණ වැනී
කුමට "සීසර් " ඩිරෙක්ටර් ලා
නැතුව මෙ "මාක් ඇන්ටනී "

පිනක් වේ නම් අපිත් කළ ඒ
සියල්ලම අරගනු මැනේ
බණක් පිරිතක් ලෙසින් ආසිරි
රටක්‌ උඹ වෙනුවෙනි පණේ
දණක් එරුණත් ඇතෙක් වැවු දිය
සෙමෙන් ඉවුරට එන මෙනේ
පණක් අලුතින් අරං නැටුවොත්
අපිත් කිරිබත් කනවනේ

සුඛී දිඝායුකෝභව!

රසිකයා -
චතුර එම්. විමලරත්න
View Poem

චමිලා නවගත්තේගම - ලන්ඩනය

2022 සැප්තැම්බර් කලාපය

මරණය.

උදා වූ හිරු මග නොනැවතී අවරට
ගියා හිමිහිට කොඳුරලා එන රැඟුමට
නිමාවක් නැති මේ අපේ දිවි ගමනට
විඩාවක් දෙන මරණයක් ඇයි සසරට

ධන බල කාමයෙන් පිරිපුන් මිනිසුන්නේ
පන පොව ජීවිතේ හරි මග ලැබගන්නේ
එන යන සසර ගෝලය මෙන් කැරකෙන්නේ
රැවටෙති නිවන මරණින් මතු පතමින්නේ

සිහියෙන් බලන විට ආපස්සට හැරිලා
නෙතඟින් කඳුළු වැටෙනවා ඒ ගැන සිතලා
මරණින් පසුව නෑ නොවැ නිවනක් හිතලා
නුවණින් යුතුව රැස් කර ගමු පිං පතලා

පාවෙන වළාකුළු අතරින් අපි එබිලා
ධාවන ගඟේ ගිලි ගිලි නෑවිවී ඉඳලා
ජීවන ගමන දොර ඇරගෙන පසු කරලා
පේවෙන අපට මරණය ඇත මෙහි ලියලා

නිරුවත පමණි තිබුනේ දරු ඉපදෙද්දී
හැඩවත වසා සළුපිළි හැඳ රඟදෙද්දී
නිළමත බලය සහ ධනයත් හැරයද්දී
දසඅත හමයි දුර්ගන්ධය කුණුවෙද්දී

 
View Poem

චමිලා නවගත්තේගම - ලන්ඩනය

2022 සැප්තැම්බර් කලාපය

රටක් හොල්ලන කලා ලොවකට සතුට ගෙන දුන් පිය තුමා

කුමක් ලියමිද ඔබේ ගුණ දම්
දනිමි හැම සිත් හිස නමා
රටක් හොල්ලන කලා ලොවකට
සතුට ගෙන දුන් පිය තුමා
පිනක් ඇති අප උගන දැනමට
සසරෙ ආ මග ⁣පෙර සෙමා
නිමක් නැත මට එන්න බැලුමට
නෙතේ කඳු ලැලි ඇත තෙමා

සලා දෙනෙතින් බලා පෙර මග
සැවොම කඳුලැලි සලන්නේ
පලා ගියෙ නැත කිසිම දවසක
අපේ සිත් තුල නැගෙන්නේ
කලා සොලොසින් පිරුණු හදවත්
නුඹේ ගුණ දම් කියන්නේ
ගලා යන මේ ජීවිතේ ගැන
රහස පටැලිල සොයන්නේ

නැගෙන දුක ගැන කියා ගන්නට
අපට බැහැ නොව කවි ගොතා
ලියන අකුරක කඳුළු පමනකි රැදී
ඇත්තේ ඔබ සිතා
කරුණ කිමදැයි කියනු අපහට
එන්න ඉක්මන් කර කතා
සිහින මවමින් ඔබට සුව සෙත
පතමි තෙරුවන මම පතා
View Poem

දීප්ත ප්‍රනාන්දු - ඉතාලිය

2022 සැප්තැම්බර් කලාපය

කවිය ජැක්සන්ට

වුවත් නළුවන් සියල්ලන් අපි රඟන ජීවිත රඟහලේ
සමත් නොවෙමුය වේදිකාවක රැඟුම් පානට මනලොලේ
ගෙනත් උපතින් වාසනාවක් ඇතොත් දන මන තුටුකළේ
නුඹත් ජැක්සන් ලබා එම පින දිනාගෙන ඇත මනුකුලේ

දිගට අවුරුදු ගණන් නොකඩව ප්‍රථමයා වී දිවයිනේ
ලැබුව සම්මානයන් විතරද ප්‍රේක්ෂක ගඟ දිගුවුනේ
කුමන චරිතය කළත් එයහට පණ පොවාලයි නැවතුනේ
වෙහෙස හින්දද පුංචි කලකට තිරය පිටුපස සැඟවුනේ

දෙසුම හරබර මියුරු වදනින් ගැඹුරු හඬ වැටි සවනතේ
අඩුව දිස්වෙයි නොඉවසිල්ලෙන් සිටිමු අසනට ප්‍රියවෙතේ
නොකර නැවතත් කේවට්ටකම් අගය සුරකිනු හදවතේ
හනික සුවලැබ එන්න හිතවත බලාසිටිනා අපවෙතේ
View Poem

දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා දෙහිවල

2022 සැප්තැම්බර් කලාපය

නිති කැරකෙන අ⁣ටලෝ දම...!

අට ලෝ දම කැරකි කැරකි එන බව පැවසෙනව නිතී...
මට එය තව පසක් වුනේ ඇසුනු දෙයක් ගැනම සිතී...
හෙට අපහට වන දෙය නම් කිසිම කෙනෙක් දන්නෙ නැතී...
විටකදි එය සිදුවන්නේ නියමයකට
වෙන්න ඇතී...

ගං වතුරෙදි පාවී යන කූඹියො ගොදුරක් වෙන්නේ...
තැං තැංවල රැඳීසිටින මාලුන්ටයි
පැවසෙන්නේ...
ඉං කලකට පසු නියඟෙදි එමසුන්
මැරි මැරි යන්නේ...
දැං බැලුවම කූඹින්ගේ කෑමට,
උන් පත්වන්නේ...

කොකාට වාරයක් එද්දි තිත්තයො කලබල වනවා...
එකාට ගොඩ ගොඩ ලැබෙද්දි කොක්කු තුටුව උන් කනවා...
යකාටවත් බය නැතිබව නම් නිතරම පවසනවා...
මොකාට මුත් තිත්තයින්ගෙ
වාරෙත් පසුවට එනවා...

නොබා පවට, සමහරු බෝ අකටයුතුම කම් කෙරුවා...
බබා වෙවී රටේ ලෝකෙ සොඳුරුම සිත් උන් මැරුවා...
ලබා උපන්නත් අප කවුරුත් වන්නට රජ දරුවා...
සොබාදමේ නියමෙන් නම්
ගැලවී යන්නට බැරුවා...
View Poem

දයානන්ද කන්නන්ගර ලන්ඩනය

2022 සැප්තැම්බර් කලාපය

පියතුමනි පන්සලේ ඇයිද මේ

පන්සලේ පියතුමා
මර්සිලින් ගුරුතුමනි
ඔබෙන් පසු
ඔබව දුටු
මහඇදුරු ඇන්තනී

රාගමෙන් පහළවී
මුලුරටක් වසඟකල
සුවහසක් දනන්ගේ
හදවත්හි කිඳාබැස
දෙසවනට දෙනුවනට
අමාරස පැන් පෙවූ
දැනුම සන්නද්ධ කල
අපේ කල වීරයා
සුවපත්ව යළි එන්න

පන්සලෙන් තිලිණවූ
නමට ඉහලින් සපිරි
ගරු නම්බු බොහෝඇති
යතිවරුන් පරදවා
දහම් දැනුමින් ඉහල
පන්සලේ පියතුමනි
සුවපත්ව යලි එන්න

සියලු විෂයන් අරා
ඉහල දැනුමක් කරා
ජීවිතය මෙහෙයවූ
විශ්ව පුත්‍රයෙක්වන්
ජැකී ඔබ එනතුරා
මුළුරටම ඇත බලා

ගඟ දිගේ සෙමින් බැස
පුංචි වී කුඹුරටම
සීරුවට ඇවිදවිත්
අප අතර සිටගන්න

මහා වෘක්‌ෂයක් වන්
අපසැමට දැනුම්දුන්
වීරයාණනි අපේ
අවදිවී ඉක්මනින්
සිටගන්න අප ලඟින්

වනයටම පෙම් බැන්ඳ
ඔබේ අත පය බින්ඳ
ගිජිඳාව පරදමින්
ජව බලය පතුරමින්
ඇත් රජුනි සද්දන්ත
නැගීසිට මහ හඩින්
පතුරුවනු කුන්චනඳ
View Poem

දීපා ද සිල්වා - ලන්ඩනය

2022 සැප්තැම්බර් කලාපය

හමුනොවූ ප්‍රේමය .....

නෙත් කෙවනි රිදෙනා තුරාවට
මග බැලූවද කල්පයක්
බලා ගන්නට නොහැකි වුවා
වත කමල එක අල්පයක්
දිලෙන්නට මං විවර කෙරුවද
එයම විය මහ සාපයක්
එකට නුබ කුස රැදෙනු බැරි විය
කරපු හින්දා පාපයක්

තනි හිතේ පාළුව මකන්නට
කව්රුත්ම ලග නැති වුවත්
නුබට සැනසුම සදන කැළ ගැන
නැතේ බිදුවක සෝකයක්
වලා අතරින් හොරෙන් සැගවී
එබෙනවලු රෑ එලි කරන්
අනේ ඉන්නට ඇහැකි නම්
නිදි නැතිව ඉන්නව වරු ගණන්

කිසිම දා හමු නොවුණු
පෙම් සිත් තිබුන ලූ පෙර දී පවා
සෙනෙහසේ කවි කතන්දර
ඇත මුව මතට වී ගොළු වෙලා
එකිනෙකා මුණ ගැසුම වලකන
දෛවයක් ලියලා තියා
සොබා දම අප මැවූ ප්‍රේමය
නොසිතාම උදුරන් ගියා
View Poem

මහාචාර්ය ටී. එල්. ගුණරුවන්

2022 සැප්තැම්බර් කලාපය

ඔබට සතුරන් නොමැති නම් .....

ඔබට සතුරන් නොමැති නම් .....

චාල්ස් මැක් කේ (1814 – 1889) ඉංගිරිසි කිවිඳුන්ගේ පැදි පෙළක පරිවර්තනයකි

නැතැයි ඔබට සතුරු අයකු, කියයි ද ඔබ මගේ මිතුර

කණගාටුයි කියන්න එය, හරි දිළිඳුයි ඔබේ වහර

නිබයව කළෙ නම් ඔබ තම රාජකාරි නොකර පැහැර

නියතයි ඔබ ඇතිකරගෙන තිබෙනු සතුරු, දනන් අතර

සතුරන් නැති ඔබ කිසිවිට කර නැහැ වැදගත් මෙහෙයක්

දී නැහැ ඔබ පාවාදෙන කෙනෙකුට සැර පා පහරක්

නැහැ ඔබ එළි කර බොරුවක්, නිවැරදි කර කිසි වරදක්

වංක නිවටයෙකි ඔබ සටනෙදි පසුබැසි, නැහැ සැකයක් ....!
View Poem

ඊ.ඩබ්.හිරුණි භාග්‍යා විශාකා විද්‍යාලය

2022 සැප්තැම්බර් කලාපය

සිංහයට පණ දෙන්න...

ආලෝක තල මතට
වේදිකාවෙන් නැගෙන
හිරු වගේ කාලයක්
ඒ දුන්නු ජවයෙන්ම

හෙළයන්ට මාවතව
නැගෙන්නට හඬක් වූ
වියත් තෙද හඬ අපේ
සවනතේ නදවන්න

හිරු ඉපදෙනා දෙරණ
මතට හුරු රැඟුමෙන්ම
සිංහයට පණ දෙන්න
කුළක් වී යළි නැගිටින්න...
View Poem

හෙල්මලී ගුණතිලක - ඔස්ට්‍රේලියාව

2022 සැප්තැම්බර් කලාපය

නින්ද

තට්ටු කර මා උරයට
යහන වෙත මා
රැගෙන යා යුතුම බව
කියන්නීය, නින්ද

කියවා නිමා කර
පොතේ මේ පරිච්ජේදයත්
ඈ සමග පැමිණෙන බව
එවිට ඈට රිසි දේ ලැබෙන බව
කියන්නෙමි ඇයට මම

නොඉවසුම් ය ඇය
කරදර කරමින් මට
මගේ අවධානය ඉල්ලමිනි

මගේ පොත් ගැන
ඉරිසියාවෙන් විය යුතුය ඇය

මගේ ඔසු තේ බඳුනට
මත් බෙහෙතක් මුසු කර
නින්ද මා නතුකර ගනී

පාන්දර තුනට අවදි වෙමි
ඈ යළිත් මා තනිකර ගොසිනි
මා කියවමින් උන් පොත
විසිකර දමා ඇත බිම
විදුලි පහන නිවා දමන්නටවත්
ඈ මහන්සිවී නැති හැටි!

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

Translation of the poem ‘Sleep’ by Ed Werstein
Link to the original poem - https://www.yourdailypoem.com/listpoem.jsp?poem_id=876
Poet’s bio- https://www.yourdailypoem.com
Ed Werstein ඇමෙරිකාවේ විස්කොන්සින් ප්‍රදේශයේ වෙසෙන කවියෙකි. සාහිත්‍යයට සම්බන්ධ නැති විවිධ රැකියාවල යෙදී සිටි ඔහු කාව්‍යකරණයට යොමු වී ඇත්තේ හැට වෙනි වියේදී ය.
View Poem

හිල්මි සුපුන් - ඉතාලිය

2022 සැප්තැම්බර් කලාපය

පාසල

Vanna Cercenà නම් ඉතාලියානු ලේඛිකාව විසින් 2012 නිකුත් කරනු ලැබූ I bambini nascono per essere felici ළමා කාව්‍ය සංග්‍රහයේ කවියකි. ගුරුවරියක් ලෙස කෙටි කලක්ද ,සේවය කර ලේඛිකාවක් වන ඇය ඉලියේ ජීවත්වෙන විදේශීය දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වැඩි කාලයක් ගත කරමින් ඔවුන්ව අධ්‍යාපනයට යොමු කිරීමට ඇප කැප වූ තැනැත්තියකි. 1935 ෆිරෙන්සි නගරයේ උපත ලබන Vanna Cercenà ෆිරෙන්සි විශ්ව විද්‍යාලයේ මධ්‍යකාලීන ඉතිහාසය පිළිබඳ උපාධිධාරිනියකි . මේ වන විට ඇය විවිධ ග්‍රන්ථ 28ක් පමණ රචනා කර ඇති අතර ඒවා බොහොමයක් ම දරුවන් වෙනුවෙන් කළ නිර්මාණ වීම වැදගත් වෙනවා. එපමණක්ද නොව අන්තර් සංස්කෘතික ධ්‍යාපනය පිළිබඳව වඩා උනන්දුවක් දක්වන ඇය නීතිය සහ ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ රැකීම වෙනුවෙන් කැපවීමක් ද කරයි.

පාසල

ඉතා වැදගත් නිවසක් තිබේ .
එය ඇත්තේ බොහෝ දුරින්ය
රජවරුන්ගේ මාලිගා වලින්,
අහංකාර හමුදාවන්ගෙන්,
බලවන්තයන්ගේ නිවෙස් වලට දුරින් :
එය දැනුමේ නිවසයි.
එය බලවතුන්ගේ තැනක් නොවේ
බලවත් නායකයන්,
රජවරුන් හෝ ජනාධිපතිවරුන්
බුට් දමාගත් කඩු අමෝරන
ජෙනරාල්වරුන් සඳහා ද නොවේ.
ලොකු අයගේ සිට කුඩාම දරුවා ද
ඉගනගන්නා නිවසයි.
ඉගෙනීමේ අයිතිය
තාහුරු කළ යුතු නිවසයි.

හිල්මි සුපුන් | තරුෂ පෙරේරා
View Poem

ජයතිලක කම්මැල්ලවීර

2022 සැප්තැම්බර් කලාපය

කබාය ඉරිලා

<img src="https://londonkavi.com/wp-content/uploads/2022/09/Pasted-5.jpg" alt="" width="100%" />
View Poem

කාංචනා පෙරේරා කපුගේ කොළඹ

2022 සැප්තැම්බර් කලාපය

මිහි මඬලේ අවනඩුව

හෙමි හෙමින් නුඹ පා තබා ගිය මගේ ළය මත පිය සටහන් ඇති...
නුඹේ පපුවට හුස්ම දුන් තුරු වැල් පවා තවමත් ඇති...
කුසට අහරක් නොමැති කලටත් මගේ පළවැල මම දුනි...
මමයි මිහිමව නුඹව ඉපැදූ මාව රැකපන් දරුවනී....

මගේ රුහිරෙන් නුඹව තැනුවේ කිසිත් ලැබ ගන්නට නොවේ...
නුඹේ හද ගැස්මෙකින් පමණකි මගේ හදවත සැනසුනේ...
නික්මුණත් අද මවුන් වනසා දෙපාවුන් සිවුපා ලෙසේ....
කිසිම අහිතක් මගේ නෑ තව නුඹව සුරකිමි පුත මගෙ කුසේ ...

නුඹේ අතපය හයිය කාලෙට මාව තැලුපෙළුවත් අනේ ...
මවුන් නැසු කල කවර දිනෙකද මෙලොව දරුවන් රජ වුනේ....
දිනක් වේ යම් නඩුත් අසනා මවුන් වෙනුවෙන් මේ ලොවේ....
මෙනෙහි කරපන් එවන් මොහොතක මේ සොබා දහමත් මගේ අතේ.....

28-07-22
View Poem

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

2022 සැප්තැම්බර් කලාපය

ඒ නුඹයි සවියට සිටී...

පුරා අහස් ගැබ අරා උසට නැඟි
පතාකයකු සේ හිස ඔසවා සිටි
සෙනේහයේ ම සුළඟ දරා නිති
අපේ හිසට සෙවනැලි සැදුවා
කඳුළ-සුසුම-සන්තාපය හමුවේ
ගල්කුළ සේ නොසැළී සිටියා
අකලට වියැකුණු අතැ`ඟිලි නියමල්
පොළොව බදා සිඹිමින් හැඬුවා ..
බලයෙන් උඩඟු ව උමතු ව දළරළ
නැඟුණත් අප දිවි ගැඹරේ ඉඳහිට

දසැඟිලි දළු නිල් අහසට පැන පැන
ඩහදිය පිස්සේ සිසිල දෙවන්නට...
නුඹ අත් හැරියත් නියමල් මුකුළිත
තව ගෙන දුන්නේ නෙක මල් විස්මිත
අහස හඬන විට හිනැහුණු වත දෙස
සිටියෙමි දල්වා හැර නෙතුකැණ් යුග...
පිපාසිත ව මිහිමව් හඬනා සඳ
මතකයි ඒ වත මැළැවුණු අන්දම
දරා සිටියෙ අපෙ දිවිබර එක්ක ම
පුරුදු ලෙසින් දී සතුට සැනසුම ද...
හිරුමල ගිනියම් වී සරතැස දුනි
සඳවත ඒ තැස සිසිල් කළේ නිති
උරණ වෙලා නොදොඩා හිටිවන හිඳ
අත දුන්නේ ඉගෙනුමට වෙන්න ඇති...
වෙසෙසින් වෙ ද මට නුඹත් පියා වැනි
මගෙ දිවි සරු කරමින් සවියට සිටි!

2022.09.01
View Poem

නීතීඥ කල්‍යාණප්‍රිය ජයසුරිය කොළඹ

2022 සැප්තැම්බර් කලාපය

දිනූ සක්වල මමයි

"පතව්‍යා ඒක රාජේන
සග්ගස්ස ගමනේනවා
සබ්බ ලෝකාධි පච්චේන
සෝතාපත්ති ඵලං වරං."

මුලු පෘථිවි රාජ්‍යය හිමි කිරුළ මට එපා
දිව බොජුන් දිව සලුද දිව කුමරියක් එපා
සියලු ලොව සක්විති ව රජ සැපය මට එපා
සිවු අපා ජය ලදොත් ඒ සැපද මට එපා.

කාල සිටු පුතේ නූඹ දිනූ සක්වල මමයි
දහම් බිඳ මහ සතාණෝ නුඹට දෙසු දැයයි
මහ සිටාණෝ නුඹෙන් පැතු නිධානය මෙයයි
රනින් දිලි කහවණු වෙ අගේ සිඳුනා දැනෙයි

මඟ සතර ඵල අතර ළදරු විය නිමා කර
නයින් දහසකින් ක්ෂණයකින් ප්‍රතිමඬිති කර
දහම පෙළ ගසා දුන් මගෙ පියා සෑසිකර
කාල පුතු වැඳ වැටුණි සිටාණෝ පෙරටුකර.

අනේපිඬු සිටුතුමා ගේ පුත් කාල සිටුතුමා ධර්මයට නැඹුරු කිරීමේ අදහසින් පියතුමා විසින් තම පුතා බුදු රජාණන් වහන්සේ වෙත පමුණුවා යම් ධර්ම කරුණක් ඉගෙන ගෙන එන වතාවක් පාසා රන් කහවණුව බැගින් දීමට පොරොන්දු කරගෙන තිබී ඇත. පුරුද්දක් වශයෙන් කරගෙන ආ මෙම ක්‍රියාවලියේ කූට ප්‍රාප්තිය සිදු වූ දින කාල සිටුතුමා ධර්මය ඉගෙනීමට පැමිණි වෙලාවේ බුදු රජාණන් වහන්සේ බුදු නුවණින් දුටුවේ එදින කාල සිටුතුමා දහසක් නයින් ප්‍රතිමණ්ඩිත සෝතාපන්න ඵලය සාක්ෂාත් කරගන්නා බවය. මුලින් දුටු මේ කාරණය මත බුදු රජාණන් වහන්සේ අධිෂ්ඨාන කර ඇත්තේ ඉගෙන ගන්නා ධර්ම කරුණු සිටුපුතාට මතක සිටින නොවන ලෙසයි. කහවණුව ට ලොල් වී සිටි එතුමා ධර්මය මතක තබා ගැනීමට දැරූ අධික උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ක්ෂණික ව අවබෝධය ලබා ගැනීම නිසා සෝතාපන්න වූ පසු අනේපිඬු සිටුතුමා ගේ නිවසට වැඩම කර දන් වැළඳීමෙන් අනතුරුව සෝතාපත්ති ඵලයේ වටිනාකමේ මහිම දැණුම් දීමට දේශනා කරන ලද ගාථාවයි.
View Poem

කුමාරි විජයරත්න ලන්ඩනය

2022 සැප්තැම්බර් කලාපය

ජැක්සන් ඇන්තනි

සිංහය වෙලා පැය දෙකකට කලියෙන්
ගිජිඳෙකු ළඟ වැටුනේ ඇයි ඔබ මෙලෙසින්
රස මතකයන් ඔබ ගැන ඇන්තනි ජැක්සන්
නොමැකී තිබේ, පතනෙමි සුවයක් ඉක්මන්

දැනුමද හැකියාව එක විදිහට තිබුණා
කලා ලොවේ මුල් පිටුවේ ඔබ රැඳුනා
පුවත අසා හදවත හරියට රිදුනා
දෙවියන් බුදුන් ළඟ ඔබ වෙනුවෙන් වැටුනා !
View Poem

කුසලඥාන දෑරංගල එක්සත් ජනපදය

2022 සැප්තැම්බර් කලාපය

සුවපත් වන්න ජැක්සන් එම පිං රැගෙන

මැදහත් සිතින් බුදු මැදුරක වැඩ හිඳින
සිදුහත් ගොයුන් හිමි වෙනුවෙන් මල් පුදන
දහසක් දෙනා එක් වී ඔබ ගැන සිතන
සුවපත් වන්න ජැක්සන් එම පිං රැගෙන
View Poem

වෛද්‍ය කමල් විතාරණ කොල්චේස්ට - එංගලන්තය

2022 සැප්තැම්බර් කලාපය

නැතිවූ සිහිය සැඟවුනු තැන දනීනම්

හස්ති රාජයෙකි ජැක්සන් කලා ලොවේ
හස්ති රජෙකි ඔහුගේ මග හරස් කලේ
රැස්ව සැවොම එක්වී වැද නිරන්තරේ
සක්‍ර දෙවි පිහිට පතමුද උදේ රැයේ

මැනිකේ පලිඟු අරගෙන වට්ටියක් අතේ
නෙලමුද මල් ගොඩක් දුව දුව තැනින් තැනේ
ගොතමුද මාලයක් අමුනා හෙමින් සැරේ
වෙමුද බාරයක් දෙවිඳුට පතා සුවේ

නැතිවූ සිහිය සැඟවුනු ලෙන දනීනම්
සිංහබාහු මෙන් සවියක් තිබේනම්
ලෙන් දොර කඩාලා මහ වෙර දරා මම්
ඔබට සිහිය දෙමි හදතුල මවා පෙම්
View Poem

ලලිත් ද සිල්වා - නුගේගොඩ

2022 සැප්තැම්බර් කලාපය

දෑස් මුහුද

දෑස් මුහුදේ ගැඹුරු පතුලේ
කිමිදි ......කිමිදී ....ඔබව සෙව්වෙමි

දුරින් බැලුවෙමි
ළඟින් බැලුවෙමි
එබී බැලුවෙමි
ඔබේ දෑසට .......

අඳුරු කරුවල දුං කවුළු බඳු
ඔබේ දෑසින් ඔබව සෙව්වෙමි
දෑස් මුහුදේ
කිමිදි ......කිමිදී ....ඔබව සෙව්වෙමි
ඔබ සොයන්නෙමි

ඔබේ දෑසේ ගැඹුරු පතුලින්
දිනෙක හමුවුණි මගේ හදවත

(ප්‍රේමය කාව්‍ය සංග්‍රහයෙන් )
View Poem

ලලනී ගීකියනගේ - රත්නපුර

2022 සැප්තැම්බර් කලාපය

මනස්තාප...!!

පිනි පොද වැටෙන දිය බිඳිතක සිහිලසක...!
මොර සූරන මහා වැස්සක හිරිකඩක...!
වැහි පිරිතක පහස ලද පැන් කෙන්ඩියක..!
සළු පිළි ඇන්දුවා සරසා අගු පිලක........!,

යටි හිත හිරි වැටී කඳුලින් නෙත පිරුනා...!
ඇති පමණටම සේදී කම්මුල් තෙමුනා...!
ඉටි මලකට බඹර සර විහිදී තිබුනා....!
කඩුපුල් මලට රෑ තුන්යම සිත රිදුනා...!

ගව් සිය ගව් දුරක ගෙව් දෙපයම රිදුනා..!
තුන් තිස්පැයේ නිදිවරමින් නෙත තෙමුනා...!
සීතල රැයක උණුහුම උදුරා හමනා.....!.
නිල් විල් තෙරක ඉම මදනල රළ බිඳිනා ...!

2022.08.20
View Poem

ලතා ද සිල්වා නවසීලන්තය

2022 සැප්තැම්බර් කලාපය

නැගිටපන් ජැක්සන්

බොහෝ දේ ඇත නුඹට - කරන්නට ඉතිරිවී
ලියා දැන්වූ වදන් - කරලියට නගන්නට
රසික කැල බලන් ඇත
නුඹ පිය නගන තුරු - කරළියේ රඟන තුරු
සුබ පැතුම් ගීතිකා - මුව මුවග නැගී යයි
රසිකයන් සියලු දෙන - මග බලාන හිඳින්නේ
ආදරයෙන් පිළිගන්න
වෙරගනින් - දිරිගනින්
යන්න අප හා එක්ව
View Poem

ලාල් හෑගොඩ  

2022 සැප්තැම්බර් කලාපය

කුසුමී

ගමේ ගැටව් කීවේ
ඒකිගෙ මුහුණ
හඳ වාගෙයි මචං

ගමේ මහලු තාත්තා කෙනෙක්
ඉදලද අතින් අල්ලාගෙන
වැට ළඟ රැඳී සිටියි
සමීප රූපයක් ගන්නට වාගේය
"ආ චන්ද්‍රාවතී"
සිනාවකින් ද අමතයි

නෑ සීයේ ඒ කුසුමක්කා
ටීක් බෝල ගසමින් සිටි
පොඩ්ඩෝ කෑ ගසති

කව්රුන්ද රාහු
සඳ සොරකම් කළේ
මගේ පැනයකි
ඉරිසියාවද කෝපයද මුසු වූ

මම හිටියේ මේ පැත්තේ
දෙරණට එහායින් පියසිරි
කුසුමාගේ මුහුණම බලාගෙන
පහත් වී පිස දමයි යම් කුණක්
මල් පොකුරේ මැස්සෙක්
අම්මා ගේ
පෙඟුණු ඇසිපිය කෝපය ද රවිල්ල ද මැද
කුමන ස්පර්ශයක්ද
අත් මේස් දැමූ සුදු

සඳක් නොවී
කුසුමක් උනානම් කුසුමා
මලක්මය කිනිහිරියා

පැහැයද මතුපිට සියුමද
වැසී ඇත මිණී සාප්පුවේ පවුඩර් වලින්
වැසී ඇත අතීත සිපගැනීම්
සිතත් විනිවිද යාමට
කිසිත් වෑයමක් නොගනී

නෙත කුසුමාගෙන්
ඉවතට ගත්විට
පියසිරියා මා දෙස බලාගෙනය
ගිනි පෙනෙල්ලක් මුහුණේ වැදුනා වාගේය
View Poem

ලක්ෂ්මි පෙරේරා - ලන්ඩනය

2022 සැප්තැම්බර් කලාපය

ගිලන් ඇඳෙන් බැස එනු හනිකට සොහොයුරුනේ

ගිලන් ඇඳට හුරුවෙන්නට මටත් ලැබුන සමයේ
කලා ලොවේ වීර ඔබත් ගිලන්‍ ව අද ඉන්නේ
රැගුන් මතක් වෙනව ඔබගෙ තුරුණු වියේ අරුමේ
ගිලන් අපව සුව කරන්න ඒ මතකය ඇතිනේ?

සිංහ රාජ චරිතය මැවි මැවී එනව සිහිනේ
චතුර කතා විරිඳු ගැයුම පාවෙන උඩු ගුවනේ
ඩ්‍රෝන යන්ත්‍ර යක් යවලා ගෙන්න ගන්න සිතුනේ
කරුමෙ ගෙවී යනු ඇත ඉක්මනින් සිහිය එමිනේ!

ගලන ගඟද තුරුලිය වැල් සුව පැතුමට නැමුනේ
ඔබේ අඩුව සකල ජීව කැලටම නිති දැනුනේ
ජැක්සන් ඇන්තනි සොයුරට නිරෝගි සුව ලැබුනේ
ගිලන් ඇඳෙන් බැස එනු හනිකට, සොහොයුරුනේ!!
View Poem

ලුම්බිණි විතාන - ලන්ඩනය

2022 සැප්තැම්බර් කලාපය

ජැක්සන් මහතාට ඉක්මන් සුව පතමු!!!!!

ඉදිරිය අපහැදිලියි....

වලාකුළු වලින් පිරී ගොසින්

මීදුම දසතම වසාගෙන......

ඒත් සුර්යයා හෙටත් පායන බව

ස්තිරයි.

එය අනුමාන නොකරන්න.

ටික වෙලාවකට සුළඟක් ඒවී

වර්ෂාවකුත් ඇද හැලේවී......

කුණාටුවක් වුවද ඇතිවිය හැක.

ඒත් අමතක නොකරන්න.....

සත්‍ය ලෙසටම හිරු

රශ්මි දහරා විහිදුවමින්

හෙටත් නැගෙනහිර අඹරේ දිදුලනවාමයි!!!!

ඔබතුමාට ඉක්මන් සුව!!!!

අගෝස්තු 2022
View Poem

මහාචාර්ය මනෝරි ගමගේ හැව්ලොක් ටවුන්

2022 සැප්තැම්බර් කලාපය

තව්තිසාවට හරි ළඟයි

උතුරු කුරු දිවයිනට
අදත් හිරු වඩිනවා
තව්තිසා පුරවරට
හරි ළඟයි හිතෙනවා

කාක වසුරෙන් ඉපදි
කප් රුකක් තියෙනවා
නේක ඉසුරෙන් සපිරි
උන් තුටින් නටනවා

තණ බුදින සුරබිදෙන
ඔහේ සැරි සරනවා
පරපුරෙන් පැවත එන
අය රජුන් තනනවා

මාතලී හිමි කරන්
තෙල් උනන උල්පතක්
බූලීයෙන් තෙල් බෙදයි
ලැබ විලස සිතුමිණක්

ඇහැරි පරසතු මලුත්
පරනොවී තියෙනවා
ඉඳුණු ඵල ඇති නදුන්
උයන කුස නිවනවා

අරලියා ගහක් යට
පඬු අසුන පෙනෙනවා
හීතලට ගල්වෙලා
එතන හිම මිදෙනවා

වයිම ඇවිදින් තවත්
මිලත් අඩුකරනවා
සක්‍රයා වයස මුත්
තව බලය තියෙනවා

xxxxxxxxxxxxx

අහෝ සිරිලක් බිමට
මෙන්න හිරු නගිනවා
ඇහැරෙන්න ඇහැරෙන්න
එළාමය කියනවා
View Poem

මයුරි කොඩිකාර ගම්පහ

2022 සැප්තැම්බර් කලාපය

ඌර තැලුවලු කැකුණ

ඌර තැලුවලු කැකුණ

දිරච්ච පොල්අතු වහලෙ අස්සෙන්
ඉරත් හෙමිහිට හිනැහෙච්චි
වරිච්චි ගැලවුනු බිත්ති මත්තෙන්
පිණිත් මැටිවල දියවෙච්චි
දැවිච්ච අළුමැද හුඹස් මැට්ටත්
ගලුත් අතහැර සැඟවෙච්චි
ඇලිච්ච ගොමවල සුවඳ මැද්දෙන්
පොළොවෙ දෙදරුම් මතුවෙච්චි

අල්ලෙ දැවටුන සීනි ඇටටික
දවස ගනනෙම හිඟවෙච්චි
වික්කෙ ටිකටික ඇස පියාගෙන
බිස්ස රහසෙම හිස්වෙච්චි
මැල්ල කරකොල ඇල්ලෙ සහලට
සින්න වනවිට හැඬවෙච්චි
බැල්ම නොහෙලම කන්දෙ දෙවියොත්
හෙනහුරා ලඟ නැවතිච්චි

දූලි වැලි මැද බිංකුණ්ඩො හැඩ
නැටුම යසටම රඟදෙච්චි
ඈඬියාවට බළල් පොරයක
කුණාටුවකුදු ලඟවෙච්චි
දෑසෙ ගැටුනෙම පොල්කිච්ච
මුලු දවස කුම්මැහි කමවෙච්චි
ඌර තැලුවද කැකුණ ජයටම
මගුල කුකුලගෙ රජවෙච්චි
View Poem

මොනිකා නානායක්කාර - බණ්ඩාරගම  

2022 සැප්තැම්බර් කලාපය

නැඟිටින් යළිත් යන්නට " කළු ගඟ දිගේ "

දනා මනට දී රසයන් නෙක විලස
ගෙනා කුහුඹු පැණියාණනි පෙර දවස
සිනා නොමැත අද කඳුළුය හැම නිවස
පනා පුත්‍ර නැඟිටින් එළි කොට රහස

උපතින් ගෙනා දස්කම් එක්කොට රඟලා
පුංචි ,රිදී තිර වේදිකා ඔප කරලා
මහ වංශයම ගෙන හැර දැනුමත් බෙදලා
පෙර කළ කුසල් බලයෙන් හැම සිත් දිනලා

දරු තිදෙනෙකුට හා බිරිඳට සෙනෙහෙ පුදා
සොහොයුරු පෙමත් හදවත තුළ රැකී සදා
දෙස් පාලකයො හා තම නැණ ගතී බෙදා
දින දින පුර සඳක් ලෙස නුඹ වැඩී සොඳා

බුදු හිමි දෙසු විලස පෙර අඅකුසල හින්දා
නුඹ හට මෙදා ඇති විද කරදර නින්දා
සැම දන නිදුක් වන්නට සෙත් කවි බන්දා
ආසිරි ගෙනෙයි හදවත් තුළ මෙත රන්දා

සෙනෙහස පුදා පරිසරයට පණ වගේ
සිහබා කෙලෙස හැපුණිද හස්තිගෙ ඇඟේ
සිහිවන විට පෑ රැඟුම් කඳුළක් නැඟේ
නැඟිටින් යළිත් යන්නට " කළු ගඟ දිගේ"
View Poem

2022 සැප්තැම්බර් කලාපය

- ශාපය -

මාලගිරවියක් ඇවිත් ඉල්ලයි උඹලගෙන් පියාපත්

මතකද තොපි කැපුවා ගමේ එක්කන් ගිහින් ඒ පියාපත්

නවත්තපන් දැන්වත් සිංහලේ නළලේ කොටාගත්

දණ ගහගෙන යාච්ඤා කරපන් අන්තිම මනුසතාටත්

දර්ශනය තර්කනය උඹලගෙන් ගිලිහුනු ඒ මන්තරය

පුච්චලා දාපන් බොරු දොඩවන වත-පොත් පත්තරය

නවත්තපන් ගන්න එක පොඩිඋන්ගෙන් චක්කරය

මතක් කරලා හදා ගනින් ඥානක්කගෙ යන්තරය

සේයා එස් විත්‍යා බලාගෙන තොපි දිහා හැමදාමත්

කොහොමද තොපි කලේ ඒ අමනුස්ස වතාවත්

ශාසනයට පුදනා මහා කිරිපිඩු පූජාවත්

අමතක කලා කඳුළු වලින් බඩ පුරවන මිථ්‍යාවත්

කපු කැටුවා ඉදගෙන තම්ඹපන්ණී කුවේණිය

අවුකන දාගැබ් වාරි අපෙන් ගිලිහුනු ඒ ප්‍රවේණිය

බලන් ඉඳපන් කට ඇරගෙන එනකන් ඊළඟ අහේනිය

සිවුරක් අස්සෙන් මතුවෙයි සුංගු පිදේනිය

මහමඟ අළුවුනු සුන්දර ජීවිත

වරද කුමද උන් වීමද දමිළ

හූමිතෙල් හලපු කඩේ තී වසලිය

අගහනින් මරපු හැටි ඒ දොස්තර යුවලය

ඉන්නව අදටත් සාක්ෂිය ස්න්නස්ගලය

තම ගෙළ සිදගත් පීතෲ සෙනෙහස

මතකද තොපි වටවෙලා දල්වන් මදහස

එකෙක් හිටියෙ නෑ අරන් යන්න ගිලන්හලට

සීයක් හිටියා අල්ලන් උන්ගෙ ජංගම පෙළට

මුණි ගුණ වයනා රටක් ගැන පෙමට

දැන් වෙලා උපාසක උඹලම ඇමට
View Poem

නාලිනී කොඩිකාර - මෙල්බන් නුවර

2022 සැප්තැම්බර් කලාපය

කලා කෙත බහුශ්‍රැත

ගොර බිරම් සසර දිගු, සරණ අපි බෝසතුන්.
කුහුඹුවකු, ගැඩවිලකු, වත් වේද නෑ නොවූ?
‘බුදුන්ගේ නෑයෙක්ය ඒ ඇත්තො’ කියූ ඔහු,
මුසාවක් නොකී බව දනිත් හැම නුවනැත්තු.

දැයට දැක්වූ බැතින්, කී වදන් බෝ පෙමින්,
කුමට ගරහනු ඔහුට, දැක වරද කළ අනුන්?

සරා සද හැර ගොස්ය, දෙව් අමර නික්මුණිය,
ලෙස්ටර් යලි නො එන්නෙය, චිත්‍රසේනද නැතිය.
ඒ සියළු හිස් අසුන් පුර වන්න සිටි පුතුන්,
ජැක්සන්‍ ය බහුශ්‍රැත, හෙළ කලා වට උපන්.

දෙඇස් හැර බලන් යලි, ලක් මවගෙ ගරු පුතුන්,
අප හැමගෙ පින් බෙළෙන්, නැවත හුස්මක් හෙලන්.

6 අගෝස්තු 2022
View Poem

පියුමි ජයකලණි වික්‍රම ආරච්චි - ලන්ඩනය

2022 සැප්තැම්බර් කලාපය

සාර සංඛ්‍ය කල්ප ලක්ෂයක් ආයු බෝ වේවා!

දාහය කඳුළ නොසිතා ඇදෙමින් දිවෙන
මහවැලි වගෙයි කාගෙත් සරතැස නිවන
සිරිලක් මවගේ හිස මුදුනේ අග දුලන
මට නම් සිතෙන්නේ ඔහු මැණිකකි වටින

ගඟ දිය බෙදී යන හැටි කියනා තාල
කවියක් වගෙයි හිත පුරවාලයි ආල
ගංගා දිගේ කරමින් තරණය කාල
ඔබ වැනි උතුමෙකුට මදි මැයි මල් මාල

ඊතල වගේ උකහා ගෙන දැනීම
වීරිය ලදිමි ඉතිහාසය සෙවීම
නීරස ගිලන් සයනෙක අද හිඳීම
සාධාරණ ද අප කඳුලක හෙලීම

දෑස පියාගත් කල මැවෙනා බැතිනී
පෑන පවා අද කඳුලින් බව දැනුණී
නෑර පිටක් ගානේ බැලුමට යෙදුණී
වීර පොතකි නුඹ, නිමි නැති යැයි හැඟුණී

මිනිසුන් හිස් වචන කටමැත දෙඩුවාට
හිස් කම් ගැන දුකක් හිත හට ගැනුනාට
ජැක්සන් දෑස් හැර ලොව බලනා දාට
මදහසකින්ම පිළිතුරුදෙයි ඒවාට

දහමට අපේ සිත බරවන වැඩි හින්දා
අහකට දමා අපහස සියලුම නින්දා
පහනට තෙල් බිඳක් අද හවසත් රන්දා
ඔබගේ දෙපා ඇස් වහගෙන මම වැන්දා

25/08/2022
View Poem

ප්‍රීති පෙරේරා - තලවතුගොඩ

2022 සැප්තැම්බර් කලාපය

සොබා අසිරිය දකින අන්දම

සොබා අසිරිය දකින අන්දම
කිව හැකිද වදනින් දෙකින්
පාන්දර හිමිදිරි උදේ
දුන්න අරගන්නට කලින්

දුරින් සැලෙනා තුරු වළල්ලේ
රෑන සියොතුන් කලබලයි
ලා හිරු කිරණ වැටෙන හන්දා
මීදුමෙන් මනසද පිනයි

මිතුරු සඳ තේරුම් නොගත්
දේ කුමක්දැයි වැටහුනත්
හිතේ මතු වෙන කරුණු හන්දා
මාන ගන්නට අසීරුයි

තුරු මුදුන සක්සුදක් සේ
ඉලක්කයමයි පෙනෙන්නේ
හිතේ සැකයක් නොමැති හන්දා
විද බලන්නයි හදන්නේ
View Poem

වෛද්‍ය පද්මලාල් පතිරගේ නුගේගොඩ

2022 සැප්තැම්බර් කලාපය

සිහිනයක මල් පිබිදිලා..........

සිහිනයක මල් පිබිදිලා
මල් වසන්තය ඇගෙ ලංවෙලා
නව දිවියකට දොරටු විවරව
දියණි පති කුලයට වඩී.

පුංචි සමනළියක් වගේ නුඹ
මව් තුරුලෙ සිටි කාලයේ
පියවර තබා ටික ටික ලොවේ
මල් පිපිණි මා පිය පපු තුරේ.

නෙතින් කඳුලැළි සැඟ වුවත්
හදෙහි සිතිවිලි නැවතුනත්
වසන්තයෙ මල් සුපිපුණත්
දියණි හද තුල නැහැ වෙනස්.
View Poem

පුෂ්පශාන්ත සමරනායක මොරටුව

2022 සැප්තැම්බර් කලාපය

නීතියේ දෙවඟන හඬයි....

"නීතියේ දෙවඟන" උනත් අද
දෑස බැඳ, ගෙන අතින් කගදා...
මමත් අම්මා කෙනෙක්, බිහිකළ,
දියණියන් තුන් දෙනෙක් පෙරදා...
පොතක නීතිය හදවතේ බර
තරාදිය පරදවපු හින්දා...
කඩුව පසෙකින් තබා, නෙත් බැඳි
රෙදිපටිය තද නොකර බැන්දා...

කිසාගෝතමියකට පෙම් බැඳ
තාත්තා නික්මුණු හෙයින්...
නේරංජනා ගං දෑල ඉකිගසනවා ඇසුනා මට හෙමින්...
"අම්මාගෙ ලඟ ඉන්න ආසයි"
කියා නුඹ හරි හුරතලෙන්...
"තාත්තත්,අපි එක්ක එනවද"
ඇහුවෙ ඇයි දැයි මට කියන්...

ගෘෂා, ට ජය ලබා දී මම
එදා නීතිය සපථ කෙරුවා...
නීතියට ඉඩ දී අදත් මම
තරාදිය කෙලෙසින් ද බැලුවා...
දෑස බැඳි කඩතිර වලින්
හදවතේ නෙත් බැඳ තබනු බැරුවා....
මට සමාවක් දියන් මගෙ පොඩි දුවේ,
මම රෑ හොරෙන් හැඬුවා....
View Poem

ආචාර්ය පාලිත ගනේවත්ත ඔස්ට්‍රේලියාව

2022 සැප්තැම්බර් කලාපය

ඉක්මන් සුවය පතනෙමි මා පිය සබඳ

ගනඳුර මැදින් වන මැද බිහිසුණු මොහොත
සද්දන්තයකු හමුවූ දුක්බර පුවත
රිය අනතුරෙන් ඔබහට අත්වූ විපත
ඇත් රජ පවා දැක දුක්වන බව නියත

දුරු රට පැමිණි ඔබ හමුවූ හැටි එදින
සුහදව දෙඩූ බස් මුව සොම්නස රැඳුන
හරබර රේඩියෝ සංවාදය කෙදින
අමතක කළ හැකිද ජව බල ඔබ වදන

ලක් ඉතිහාසයේ කිමිදී තතු සොයමින්
යල්පිනු මත සැවොම නැණ කෙවිටෙන් සිඳිමින්
ඔබ පෑ සතර නැණබල විද්වත් දැකුමින්
දෙනු මැන ලක් දනට ඉක්මන් සුව ලබමින්

ඔබ දැරු දේශපාලන අදහස් හෙලමින්
නෙක දන වහසි බස් දොඩවන හැටි අසමින්
කම්පිත හදින් ඔබ කළ මෙහෙවර සිතමින්
උන් හට පතමි හදවත් පිරි ගුණ දහමින්

ලක් බිම රඟ හලට සිනමාවට නිබඳ
ඉතිහාසයේ ගැට තැන් ලිහමින් නොමඳ
සාහිත ලොවට දෙන්නට නවතම පබඳ
ඉක්මන් සුවය පතනෙමි මා පිය සබඳ
View Poem

තොටගමුවේ ශ්‍රී රාහුල හිමි

2022 සැප්තැම්බර් කලාපය

සැළලිහිණි සංදේශයේ සිත්ගත් කවි

විදෙන ලෙලෙන නරුබර පුළුලු'කුලැ රැඳී
හෙලන නඟන අතැ නුවන'ග බැලුම් දිදී
රුවන දිලෙන අබරණ කැලුම ගතැ යෙදී
සැලෙන පහන් සිළු වැනි රඟන ලිය සැදී

පළල් වූ උකුළෙහි විහිදෙන්නාවූ ද ලෙලදෙන්නාවූ ද කුඩා නොවූ
නෙරිපට ඇතිව, ඉහලට ඔසවන්නා වූ ද පහළ හෙලන්නාවූ ද
අත් කෙරෙහි නෙත් අග බැලුම් බලමින්, ශරීරයෙහි පැලඳූ
රත්නයෙන් බබලන ආභරණ කාන්ති ඇතිව, නටන්නා වූ ස්ත්‍රීහු
චලිතවන්නා වූ පහන්සිළු මෙනි .
View Poem

ආචාර්ය රම්‍යා අත්තනායක මහනුවර

2022 සැප්තැම්බර් කලාපය

අප්පච්චී

උපතින් ලද මහා
ගොඩ මඩ යාය හැරදා
දරුවන් හදන්නට
හොඳම තැන යයි සිතා
කාසි පණමට ගත්
බිම් කඩක කොටු වෙලා
අපමණ දුක් විඳි
හැටි මතකයි මට
අප්පච්චී...!

පිට දැවුණු කබායන්
ගෙවී ගිය මිරිවැඩිය
ඔබ වින්ද දුක් දකින
කැඩපතක් උනා මට
සරසවි වරම් ලැබුමට
මග පෑදුවමුත්
ලෝගුව දාගත්
මගෙ රුව දකින්ට
මේ මිහිපිට නම්
ඔබ සිටියේ නැත
අප්පච්චී...!

ඔබ නොදුටුව ඒ
සුන්දර ලෝකයෙ
දොරටු විවර කර
දුන්නා ඔබ මට
අහිමි උනත් ඔබෙ
සෙනෙහස අද මට
ඔබ මැව් ලෝකයෙ
රැජිනකි අද මා
අප්පච්චී....!

ඔබ කල මෙහෙයට
බැති පුද දෙන්නට
මා ගොතනා පදවැල්
නොම සෑහේ
දොහොත් මුදුන් දීලා
මම බැතියෙන්
ඔබ ගුණ සමරමි
නිරන්තරේ
මගෙ අප්පච්චී......!!!
View Poem

ආචාර්ය රම්‍යා අත්තනායක මහනුවර

2022 සැප්තැම්බර් කලාපය

ඒ සොඳුරු මිනිසා !

කට ඇති පුතයි
රුව ඇති දුවයි
වැණුවේ ඒ පුරාණයේ
රුව,ගුණ,දැණුම පිරි
මේ පුතු වනන්නට
හෑගොඩ කිවිඳු
වෙන් කෙරුවා කලාපය
තුති මල් මිටක්
පුදනව ඒ මැතිඳුන්ට

සුවහසක් දනන්ගේ
රස පහස කළතන්ට
උපන් මේ දරුවා
පසක් කරනව ලොවටම
උපතින් ලැබූ ආගම
ජාතිය කී ,නොකී සාධක
නිම් වළලු පුළුල් කර
ඉදිරියට යන්නට
කිසිදු බාධකයක්
කිසි විටක නොවනබව
උපතින්ම බොදු නූනත්
බොදු බැතිය උතුරනව
සරසවියෙ ඉතිහාසය
උගත්තද දන්නෙ නෑ
ඉතිහාසයෙ 'අ'යන්නවත්
නොදන්නා අයටත්
රස කර කියයි තොරතුරු
ගග දිගේ යමින්
සොබා දහමේ අසිරිය
වණන සැටි අපූරුයි
වේදිකාව දෙදරවමින්
නෙයිනගෙ සූදු පොළ
මවා පෙන්වූ සැටි
කාට අමතක වේද

නොදන්නා මුග්ධ දන
තෙපලුවත් නිසරු බස්
සාප කෙරුවත් ඔබට
භූමරංගය ගැන
අසා ඇති හින්දා
කම්පා නොවිය යුතු
ඔබගේ හපන්කම්
අභිබවා යන්නට
කෙනෙක් වෙතොත් මේ ලොව
ඔබ දායාද කල,
ඔබේම දරුවන් මිස
අන් කෙනෙක් කවුරුන්ද?

කුමාරිය,දරු මුණ‌‌‌පුරන්
ඔබ කල පිං හොඳටම ඇති
ගෙවන දිවිය ඔහු සමගින්
එලෙසින්ම ගෙවන්නට
ඉඩදෙන්න දෙවියනි!!!
බුදු සරණින්,දෙවි පිහිටෙන්
වෙදුරන්ට ඒ ශක්තිය
නොඅඩුවම ලැබේවා!
ඒ සොඳුරු මිනිසා
දිගු කලක් දිනේවා...!!!!

2022.08 05.
View Poem

රන් ද සිල්වා

2022 සැප්තැම්බර් කලාපය

සඳ නොපායන වීදිය

ප්‍රේමයේ නගරයේ රාගයේ දොරටුව අබියස
පිටතින් හිදින්න
ඇතුලත අඳුරු ජීවිත
හතිලමින් සොයන සෙනෙහසේ රිද්මයට
පෘථිවියේ සදාකාලික පාපයේ හඬට
මිනිසත් භවේ සදාතනික ජීවයේ රැඟුමට
ඉඩදෙන්න
තට්ටුකරන්නාට දොර ඇරෙන්නේ
සුමට ලෝහ කැබලි හඬට හෝ
සිරුර පුරා නලියන ආලයට පමනි
ආදරය නොකරන බෝනික්කියෙ
පින්තාරු කරන ලද වෙස් මුහුණු පැලන්දි
ගෞරවනීය මිනිසුන් සමඟ හෝරාව බෙදා ගන්න.
අඳුරු තරු එළිය යටින්
සඳ නොපායන වීදියේ
දිලිසෙන ආභරණවල සිනා සීනු
දසන් සඟවා මැවෙන නෙත්සර
ආලයේ බොරුව යටපත් කර
රාගයේ සුවය බෙදාදෙන්න
View Poem

රේණුකා සුදර්ශනී ඉලංගකෝන් - කිරිඳිවැල

2022 සැප්තැම්බර් කලාපය

පෙමකට කොයිදෝ තේමා?

සිතිවිලි මාරුතය චන්ඩව හමා ගිය
අවසන ඉතිරි වන සුන් බුන් විඩාවය
අස්වැස්මක් වගේ ළංවූ සෙනේහය
රැයෙත් දිලෙයි සේ සඳමිණි ප්‍රභාතය...

ආකුල ව්‍යාකූල වු හදවත පල්ලේ
නවමු පැතුමක්ව රන් තරු කැට දිල්ලේ
මුදා හැරි බැවින් නෙත්
සර එක එල්ලේ
යා දෙක ලං නොවී මුත්
පෙම් සිත සෙල්ලේ...

පාවෙන මේකුලක් සේ කඳු මුදුනෙ ගැටී
නොපෙනී පෙනි පෙනී ඔබ සිත අසල සිටී
සුහුඹුල් පෙමක් විය ඉපදුණු වියෙහි පැටී
විඳගනු නොහැකි තැන ගිලිහෙයි කඳුලු කැටී...

ආදරයකට නැති මුත් වැට කොටු සීමා
හිමිවී අහිමි පෙම විඳගන්නේ කෝමා
ජීවිත හිස්මාව පුරවනු හැක බෝමා
පෙමට පෙම මිසක වෙන ඇවැසි ද තේමා???

 
View Poem

සෙව්මි ලෝචනා ලියනගේ - රෝමය

2022 සැප්තැම්බර් කලාපය

නැගිටපන් කුවේණි

සකල සිරි බර උතුම් මගේ ලක් මියේණි...
දුටුවා ද? නියමුවන් ගේ කාම අහේනි...
කොතෙක් ඉරි තැලුණා ද? ඔය ලපටි සුයෝනි...
නැගිටපන් නැගිටපන් නැගිටපන් කුවේණි...

රස පසට ලැම වනට හැඩට ඝණ තිව්වා...
මුතු බිඳක් ලෙස රුවට හිරු දෙවිඳු මැව්වා...
ඇගෙ දෙපා මැද හිවල් රජ ඔටුනු දිව්වා...
බඩ කෙරුව පහු ඇයට "ලක් මෑණි" කිව්වා...

ධර්මාධිකරණයට අවනඩුව කියාපන්...
කැඩුණු කන්‍යා පටල එකිනෙකට වියාපන්...
අවජාත හිවල් පුත් රැල අමුවෙ මරාපන්...
නව රටක් ජාතියක් මහ දැයක් වදාපන්...
View Poem

ශ්‍රියානි උඩගංගොඩ - මහනුවර

2022 සැප්තැම්බර් කලාපය

පනාපුතුනි සුවපත් වී නැගිටින්න

කළුගග දිගේ පෙරලෙස ඇවිදන් යන්න
අවුරුදු මංගල්ලේ ජයටම සමරන්න
"ඔබ මහ පොතකි" එහි පිටු ඇත පෙරලන්න
අපි ඉන්නවා හනිකට ඔබ නැගිටින්න.....
දෑස පියා ගත් කල ඇදි රුව ඔන්න
ඔබ ලග ඉන්නවා පදවැල් අල්ලන්න
කම්මැලි නොවී දැන් හොද හුස්මක් ගන්න
තෙරුවන් බලෙන් වෙර අරගෙන නැගිටින්න
නුවර පෙරහැරේ රස විස්තර දෙන්න
දරු මුණුබුරන් එකතුව කිරිබත් කන්න
කලා ලොවේ හිත මිතුරන් සනසන්න
පනාපුතුනි සුවපත් වී නැගිටින්න.....
විශ්ව බලය අහසේ රොක් වී ඉන්න
පන්සල දෙව්මැදුර වෙනසක් නැහැ ඔන්න
කලා කෙතට තව මල් වැහි වස්සන්න
පනාපුතුනි සුවපත් වී නැගිටින්න.......
View Poem

සුනිල් එස්. සිරිසේන  - මහනුවර

2022 සැප්තැම්බර් කලාපය

නොපවතින උනුසුම

<img src="https://londonkavi.com/wp-content/uploads/2022/08/Nopawathina-Unusuma_220818_095237.png" alt="" width="100%" />
View Poem

Sinelya Fernando New Ash Green Primary School. Year 4

2022 සැප්තැම්බර් කලාපය

GOLDEN CHARACTER

He is the golden character
of Sri Lanka
Now he is in deep sleep....
Wake up... Wake up....
JACKSON ANTHONY,
Please wake up....
Suddenly
like a sleeping beauty....
My parents tell me
That God listens to the
Wishes of little children
Therefore,
I wish our "GOLDEN CHARACTER"
a speedy recovery. 🙏

Sinelya Fernando
Year 3
New ash green primary school
View Poem

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ - කොල්චෙස්ටර් - එංගලන්තය

2022 සැප්තැම්බර් කලාපය

ගඟක්

බිඳක් සේ උල්පතක් පොළොවෙන්
උඩට මතුවී ගලන හෙමිහිට
ඇලක් වේ ඊළඟට ටික ටික
විශාලව එන විළස එළියට
ගඟක් වීගත් විගස කාටත්
ප්‍රතාපව අනුහසින් පෙනුනට
පලක් වේවි ද අසා දැනගෙන
ගඟක ඇති බිය මුහුදු යන්නට

නතර නොවෙනා ලෙසක සුදු පෙණ
බුබුළු ගල්පර හා බෙදාගෙන
අතර මගකදි වැටෙන මුත් කඳු
පහළ සුදු දිය ඇළි සදාගෙන
නිතර ආ මග බලයි ගඟ යළි
රිසිව නොයනුව තව ගලාගෙන
කවර නම් ගංගා ද ගැලුවේ
නැවත උඩු ගම් දෙස බලාගෙන

මුදුන් කඳු මහ කැලෑ ගම් බිම්
අතර සිසිලස බෙදා දුන්නත්
සවන් දුන්නොත් ඇහෙයි කාටත්
හෙමින් මුහුදට ඇදෙන සුසුමත්
පිටින් එන තල්ලුව නිසා වෙන
මගක් නෑ එහි නොගොස් ඉන්නත්
ඉතින් මහ සාගරය වෙන්නට
හිත හදා ගති සදා හැඬුවත්
View Poem

සුනිල් ලීලානන්ද පෙරේරා රත්නපුර

2022 සැප්තැම්බර් කලාපය

දූරියන් ගස් හන්දියෙන් සඳුන් පුරයට ආ අළුත් ජෝඩුව

සඳුන් පුර ස්කීම් එකට ආදා ඉදං
මට අල්ලන්නෙ නෑ ඔයාගේ ඔය නාඩගං
නැතිවුනත් ලයිට් ටැප් වතුර නං
ආපහූ දූරීයන් ගස් හන්දියේ මහගෙදර යං

ඇනෙක්සිය මට වහකදුරු දැං
කී මනිත් ඕනෑම නෑ ඉතිං
ලට්ට ලොට්ට ඔක්කොම පැක් කරං
මෙහෙන් යං ටාටා බට්ටෙක් හයරින් කරං

එදා වැඩ ඇරී එනතර උරුලෑවා
රජ නෑ දොලෙන් ඇස් රතුවෙනකං නෑවා
සෙට්වෙමු, රිච්මන් එකේ ගැන්සිය කෑගෑවා
පස්වන සිල් පදේ රැක ඌ ගෙදරම ආවා

කෝ වෙනදාට තුරුලේ දැනෙනා සුවඳ
සුවඳ උලා ආවේ කොයි පිල උඩද
ජිම් යන්නං හෙට ඉඳං මම තර වැඩිද
ඇයි උරුලෑවො ඹට මං දැං හැඩ මදිද

පැත්තකට පැත්තකට
නැත්නම් මම යනවා සැටියට
කොට්ට මෙට්ටත් අකුලං
ඉදිං මදුරුවෝ තල තලං

මහගෙදර යන්න තෝ ආව නාවා
මං වැලිකඩ යන්නේ ඒකි ඇඳ උඩම බාවා
උරුලෑවියා රෑ ගිරි යටිං කෑ ගෑවා
බිත්තියේ සාත්තර හූනා දෙපාරක් චී චී කීවා

වල්ල පට්ටාවලට වැඩියෙං අපේ සට්ටං ගිනි ගනං
බැරිම තැන උරුලෑවා හීනියට කෙඳිරි ගෑවා
තොල් කෙල ඇබිත්තකිං නාව නාවා
නිහඬ බව බිඳ ලෑවා

අරුන්දැල සඳුන් ගස් මංඩිය පීර පීරං
මහා ගිනි මැල වගේ හුලු අතු බැඳං
හොයන්නේ අපි යන එන ගමං
කිය කියා අපේ වාසගං

වතුර කලගෙඩියක් නමං
බොලත් අතපය හෝදගං
මීක් නොකියා දැන් ඉඳිං
මට වෙසමුනියා වැහෙන්නට කලිං

තැලුන සිගරැට් වකුට්ටක් දිග ඇරං
දෙතොල මැද හුරතල් කරං
උරුලෑවා සීලිම දෙස බලං
හිතට නිවනක් නැති තරං

කලුවරේ ජරමරේ ලැයිටරේ හොයනා ගමං
අතක් කොට්ටය යට දෝනා යමිං
පතුවලේ රහසේම ගරනා
ඌට ඕවගෙ වැඩ නතිං

කොට්ට උරයේ මෝස්තර දියවී හිහිං
ඒත් මල් මෝස්තර ඇඟිලි තුඩු හදුනන තරං
View Poem

වෛද්‍ය ශානිකා ඇන්තනි - ලන්ඩනය

2022 සැප්තැම්බර් කලාපය

අම්මා සඳකි

මඳ රැස් මුදුයි
සිසිලෙන් තෙමයි
මුව මනහරයි
ආදරෙ පුරයි

හඳ අටවකයි
අව සඳ හැඩයි
පාටින් අඳුරුයි
රුවලට වෙරයි

කාලය දුවයි
සඳ අමාවකයි
ඔරුව ඉකිබිඳියි
රුවලට තනියි

27/08/22
View Poem

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි

2022 සැප්තැම්බර් කලාපය

රැගූ චරිතය කුමක් වුව මුත්.............

මහා වංශය තරමටම උස
මහා දැනුමෙන් සුපිප්ෂිත මල
මහා පරිමානයෙන් විශ්වය
සුවඳවත් කළ සුවඳ තවමත්
හමා යයි සිවු මංසලේ
සුපිපි මානස විලේ සියපත්
පුෂ්පයක් සේ හිමවතේ

පෞරුෂත්වය සමඟ මුසුවුණු
මධුර හඬ රඟහල පුරා රැදි
ප්‍රේක්ෂක සිත් සදා මන බැඳි
තවත් නිම්නාදවේ සිත් තුළ
වැටුණු සත්කුළු පවුරු පියසට
දිමුතු වැස්සක හඬද පරයා

රැදී ඇසි දිසි තිර හඬේ
බැදී සහසක් සිත් බැඳේ
සැදී පැහැදී පෑ විකුම්
නදී තල දිය වැලක් සේ ඔබ
රිදී ලොවකට බිහිදොරක් වුණු
යුගය තව ශේෂව තිබේ

රැගූ චරිතය කුමක් වුව මුත්
එතුල ජීවත් වෙමින් නිරතුරු
වේදිකා ටෙලි සේම සිනමා
අඹර පෑයූ පුරා සඳ ඔබ
සුවහසක් තරු පබා කරමින්
එපින් බලයෙන් නියතමයි ඔබැ
නමින් ජැක්සන් ඇන්තනි වූ
සිතින් මෙන් සියොළඟින් සුවවී
යළිත් හෙළ රන් දෙරණ මත සිය
පා නගන්නට අපත් සමගින්
එකතුවෙනු! සක්සුදක් සේ

08/82022
View Poem

සඳමාලි රොද්‍රිගෝ - ඇමෙරිකාව

2022 සැප්තැම්බර් කලාපය

හීනයක් තිබුනා...

අතැගිලි බැදී නොතිබුනු

හිතෙන් පමණක් අපි අපේ උනු

එකම හීනෙන් රැයක් එලිවුනු

ලස්සනම ලස්සන හීනයක් තිබුනා...

ඔබේ ඇතැගිලි රස්නෙ තැවරුනු

පපුතුරේ ගිනි වැලක දැවටුනු

අනන්තෙක මල් හීන තැවරුනු

ලස්සනම ලස්සන හීනයක් තිබුනා...

ඇහැරිලා ඇස් නැවත පියවුනු

එකම හීනෙම හිතින් මියැදුනු

ඇහැරි ඇහැරී මගෙන් ගිලිහුනු

ලස්සනම ලස්සන හීනයක් තිබුනා…

හැබෑ ලෝකේ නුඹ ඇගේ වුනු

මම කොහේවත් වෙනකෙනෙක් වුනු

අසුරු සැනයක අපි අපේ වුනු

හරිම ලස්සන හීනයක් තිබුනා…

කවමදාවත් හිතලවත් නැති

කවමදාවත් විදලාවත් නැති

අහම්බෙන් මගේ හිතේ ගුලිවුනු

ලස්සනම ලස්සන හීනයක් තිබුනා...

නැවත නොදකින හීනයක් තිබුනා...♥️♥️
View Poem

කුරුණෑගල සේන මෙනේරිපිටිය

2022 සැප්තැම්බර් කලාපය

සකල කලා වල්ලභ වී

රැඟුමට උපන් ප්‍රතිභා ඇති නළුවා ය
හෙළ ඉතිහාසෙ තොරතුරු දත් රුසියා ය
පොඩි ලොකු සිනමාවෙ නිපැයුම් කරුවා ය
හිත මිතුරන්ට ඔහු කොස්මල් පැණියා ය

දන හැඟවුම් විදි දැනුමෙන් පොහොසත් ය
බස නිවැරදි ලෙසට හසුරන වියතෙක් ය
තුන් පිටකයේ සිඳු කිමිදුම් කරුවෙක් ය
සකල කලා වල්ලභ වී උපනෙක් ය

බොදු නාලිකාවෙන් හැඩරුව දුන්නේ ය
බිරිඳට දරුවන්ට දෙවියෙක් වන්නේ ය
අනතුර අසා හදවත ගිනි ගන්නේ ය
රටකට වටින මොහු ජැක්සන් වන්නේ ය.

සේන මෙනේරිපිටිය
2022/08/14
View Poem

Sanjaya Priyadarshana Udugampola

2022 සැප්තැම්බර් කලාපය

That spring .....

 

That spring
Never will be kindled once more
Never one monumental
One memorable thing happens again
But nothing's forgotten ever

Single dream of my deep soul was you
In our tremendous past
Only now a dead wind
But met in less travelled route yonder
But nothing's forgotten ever

Memories surged , never can suffice
It's only a silhouette in deep see
Emerges and bubbles
How would it end that spring ?
But nothing's forgotten ever
View Poem

සුනිල් පෙරේරා - ලින්කන්ෂයර් - එංගලන්තය

2022 සැප්තැම්බර් කලාපය

පනාපුතුට

දැන උගත් ශිල්පයෙන්
කලාවට කැප කෙරුනු
රැඟුමෙන් ද ගැයුමෙන් ද
සුවහසක් මන රැඳුනු

සොබා ගංගා දිගේ
හෙළ වංශ කතාවෙන්
දුටිමු ඔබ කුසලතා
කන්ද උඩ ගින්දරින්

නොනිමි මෙහෙවර නිමා
කරන්නට ලද පිනෙනි
සුව ලබා යහන හැර
එනු නොලස කුහුඹුපැණි
View Poem

තුෂාරි ජයසිංහ මහනුවර

2022 සැප්තැම්බර් කලාපය

ඇසල අහස පාළුයි.

කලා කෙත වැපිරි රන් බිජුවට
වැඩී සරුවට ගෙනා අස්වැන්න
ලක් මවගෙ උකුල මත පුරවා
සසිරි බර කලා ඔහු නිබඳවම

දැනුමක මහා කෝෂ්ඨාගරය
අමුණා මුතු ඇට විලස
ගොතා විසිතුරු මාලයක්
පැළඳුවා තම උපන් දේශයට

කරුණා භීභත්ස්‍යාදී නෙක නෙක
නව වැදෑරුම් රසයන් කලතා එකට
සකසා ඔසු රූපණය මුසුකොට
සුව කලා මනුසිත් ඔහු යසට

සොඳුරු මිනිස් ගති ගෙනා උපතින්
කරතියන් තව බෝ දුරක්
යායුතුය නොනවතින ගමනක්
ලක් මවගෙ හිස් උකුල පුර‍වමින්

ඉක්මනින් එනු මැන නුඹ
පනා පුත්‍ර කුහුඹු පැණියාණනි
අමාවක නිමාකොට ඇසල අහසට
ලකඹරම කලඑළි කරමින්.

2022.08.12
View Poem

තීෂ්‍යා දුල්මිණි හෝමාගම

2022 සැප්තැම්බර් කලාපය

සංචාරකයාට වන අලියා කියූ කවක්

නිමිත්ත- යාල සංචාරක බංගලාවක ලැගුම්ගත්, සුපුරුදු සංචාරකයෙක් වෙත වන අලියෙකු පැමිණ, ආහාර ඉල්ලයි...

වසරක් පතා අප නෑයන් බැලීමට
පැමිණෙන වගක් පැවසූවා ඔවුන් මට
එනමුත් නුදුටුවෙමි නුඹ මගෙ ඇස් දෙකට
එහෙයින් පැමිණියෙමි මම නුඹ දැකීමට

මාගේ නිවස ඇත්තේ බෝ දුර බැහැර
එනිසයි රෑ වුණේ එන්නට නුඹෙ ගෙදර
ගමනේ මහන්සිය දැනුණා ඒ අතර
දෙන්නට හැකිද මගෙ කුසගින්නට අහර

මහ රෑ ගමන බියකරු වේ ඉතින් මට
හැම මිනිසෙකුම නුඹ වාගේ නැත අපට
ගිනි බට පත්තු වේ මානා ගෙන දළට
අවසර දෙන්න, යන්නම් මම උදෙන් හෙට

(සේයා - මහාචාර්ය කේ. සරත් ඩී. පෙරේරා මහතා)
View Poem

තුසිතා සුරේකා මීගමුව

2022 සැප්තැම්බර් කලාපය

පහලොවයි කසාදෙට

සෙනෙහෙන් බැදුනෙ මල් පීදෙන වෙසක් මහේ
කැන්දන් ගියේ පලවෙනිදා බිනර මහේ
නුබටම බැදුන මගේ හිත නෑ වෙනත ගියේ
නුබෙ හැඩ රුවයි හදවත පතුලේ කෙටුනේ.

පුපුරා ගියත් දුක නුබ හදවත පතුලේ
දෙදරා ගියත් තරතස නුබෙ කය ඇතුලේ
වාන් දමා ගැලුවත් කදුලැලි පතුලේ
සිනහව පමනි නිතරම නුබෙ ලග තිබුනේ.

මට නුබ මහ මෙරකි මා ඉවසන නිතර
අදුනන මගේ සිතුවිලි අඩුවක් නැතුව
පිටදී දුකට නොදැනෙන සේ අප රකින
දෙවියෙකි හිමියනී නුබ පොලවේ සරන

සිනහා තනන්නට රහසින් සුසුම් ලන
මහ ජල කදකි ජීවිත කෙත සරු කරන
නුබෙ උරහිසේ හිස රදවා නිදන විට
රැජිනක් මෙන් දැනේ සේනා මැද හිදින.

විටකදි පිට කරන තරහා නුබේ මත
ඉවසන අපූරුව පුදුමෙකි තපස් රැක
කෑ ගැසුවත් දෙදරා යන්නට වහල
මුනිවත රකින හැටි පුදුමෙකි පිරිමි නුබ

ගෙවුනත් වසර ගනනක් අතිනත රැගෙන
වාගෙයි හැගුම් කාලෙදි මම පෙම් කෙරුව
යන දවසකදි සසරින් මිදිලා දෙදෙන
යන්නට පතමු යන තැනකට දෙඅත් බැද
View Poem

රාජකීය පණ්ඩිත පනාමුරේ තපස්සී හිමි - ලන්ඩනය

2022 සැප්තැම්බර් කලාපය

සබයට එනු මැනවි සුව බල ලැබ ජැක්සන්

නෙක ලෙස කලා ලෝකය තුළ දා ඇක්ෂන්
පෑයුරු විකුම් මතකය තුළ ඇත උස්සන්
වෙනසක් නැතිව යළි තම හැකියා වස්සන්
සබයට එනු මැනවි සුව බල ලැබ ජැක්සන්

සිහිවෙයි විවිධ ලෙස පානා ලද විස්කම්
පෙර පින් බලෙනි ලැබුවේ ඔබ මේ දස්කම්
බාධක එන්නෙ නොබලා සැම මිටි උස්කම්
වේවා සුවය සපිරී පින්වල හිස්කම්

එක එක ලෙසින් ලක්වැසි සැමගෙම සිතෙහී
ඔබ ගැන නැගුණු දුක දැකගත හැක වතෙහී
සැමදෙන සුව පතති රදවා සිත මෙතෙහී
එම සෙත් වලින් ලෙඩ දුරු වේවා ගතෙහී

ඔබ ගැන ප්‍රිය නොවන කිසිවෙකු වෙත සතුරු
පෙර තිබුණි නම් සිතිවිල්ලක් පස මිතුරු
අමතක කර දමා නොම කරගෙන ඉතුරු
සෙත සුව පතති රැක මිනිසත්දම උතුරු

සයුරක් කියා සිතුවොත් මුළු කලාවම
ඔබ තල්මසෙකි පිහිනූ සැම කොනේහිම
තිදෙනෙක් තවත් නම ඇති ඔබ සමාගම
කලතා සයුර පිහිනති ඔබ විලාසෙම

සිරිලක කලාවට කළ මෙහෙවර අසම
බැහැ අගයන්ට වදනින් සිතුවත් කොහොම
ඉන් ලද පිනම ඇති සැනසෙන්නට සිතම
සුව බල ලබා යනු මැන නිවසට හෙටම

ඉඳ ඉඳ සුහද ලෙස හැම හදකම පැහැද
විඳ විඳ සුවඳ මන බැඳ දරු කැළ බිරිඳ
සොඳ සොඳ පබඳ කර නෙක නිමැවුම් නොමද
බැඳ බැඳ සැපද දුන් ඔබ සුවවෙයි සබඳ
View Poem

උදයංග අමරසේකර ප්‍රංශය

2022 සැප්තැම්බර් කලාපය

අපේ ගමේ කසිප්පුවා ප්රැන්සිස්

අපේ ගමේ කසිප්පුවා ප්රැන්සිස්
කොයි දානෙ ගෙදරකටත් යයි
උයයි පිහයි වලං හෝදයි
දුකට පත් එකා ළඟ
නිහඬව හිටගෙන සිටියි

ගමේ නැතිවුණ හරක් හොයමින්
ඔහු කැලෑ පීරා ඇවිදියි
ලොකුහාමුදුරුවන්ට පිත ගැහුවම
දුලබ කොළ ජාති හොයල අඹරයි

අපේ ගමේ කසිප්පුවා ප්රැන්සිස්
පාසල් ළමයින් බරබාගෙන් අදියි
කෙල්ලක් කොළඹ විබාගෙක ගියාම
හුලුඅත්තක් ගෙන
ඒකි ආපහු එන රෑ බස්සෙක රකියි

අපේ ගමේ කසිප්පුවා ප්රැන්සිස්
ගමේ කිරිකට් පිලේ උපනායක
මැද පෙල සමබර පිතිකරු
වමතින් වේගපන්දු
දකුණතින් දඟපන්දු
අහසෙ පැල්බැඳ කැච් අල්ලයි
අහල ගම්වල ගහන මැච්වල
ඒකච්ඡන්දෙන් චීෆ් අම්පයර්

අපේ ගමේ කසිප්පුවා ප්රැන්සිස්
කැඩුණු රේඩියෝ යන්තර හදයි
වේලුණු ලිං යළි කණියි
නාකියන්ට පත්තරේ කියවයි
පවුල් ආරවුල් විසඳයි
රට රස්සාවට ගිය එවුන්ට
පෝස්කාඩ් ලියයි
දුංකොළ මිටියක් කිහිළි ගහගෙන
හිරේවැටුණ උන් බලන්ඩ යයි

කලක් ගමේ කාගෙත් ගෑනිව හිටි
කටකාර ලො‍ටතන් අයිරින්ට
කොළඹ කවිය පරදන පෙම්කවි ගොතා
ඇගෙ උකුලේ වැතිර ගායනා කරයි

ගහක් ගලක් වගේ හිටපු
අපේ ගමේ කසිප්පුවා ප්රැන්සිස්
හිටි හැටියෙම මියගිහින්
උගෙ මිනියට කරගහන්ඩ
ගමේ පිරිමි පොරකාපි
View Poem

උපාලි අත්තනායක මහනුවර

2022 සැප්තැම්බර් කලාපය

පුංචි නඟා

කඳු ගැටයක් ඔමරි කරයි
වෙල් යායක ඈත කොනේ
වලාකුලක් දවටා ගෙන
සුදු සේලය සේ
මද සුළගට චීත්ත කොන
පැටලෙනවා නියර දිගේ
නොපෙනෙන්නට ඇයට හොරෙන්
ඉන්නම් පැල ඉස්මත්තේ

සුළග සමග සැලෙන ගොයම
කිරි වැදෙන්න සැරසෙනවා
දීග යන්ට පෙරුම් පුරන
පුංචි නඟා හිනැහෙනවා
වක්කඩ ලග තිත්ත පැටව්
දිය පාරට පෙරලෙනවා
මග හැරියොත් නඟේ නුඹත්
මගේ හිතත් තනි වෙනවා

හිතේ සතුට පෙන්නන්නට
ආදර බස් පවසන්නට
ඉඩක්ම නෑ
අප්පප්ච්චී මොකක් කියයිදෝ
ඉවසන්නම් මේ කන්නේ
ගොයම් කැපෙන කල්
එදාට මම කමතට එන්නම්
බහ දෙන්නට නඟේ නුඹට
දෙවි රැකවරණයි

2022 .08.03.
View Poem

වජිර ජයවර්ධන

2022 සැප්තැම්බර් කලාපය

මිල කීයද...? ආදරයට

මිල කීයද...?
ආදරයට

සින්නක්කරයට
කුලියට හෝ බද්දට
ටික ටික ගෙවීමේ ක්‍රමයට
ලබා ගත හැකිය රාගය

ලයට ලය
ලෙයට ලෙය
එකග වූ අසිරියක්
ලය මතින් ආ යුතුය
ලෙයින් තෙත් විය යුතුය

මතක විඳින
කඩා වැටෙන
නොසෑහෙමින්
හඬා වැටෙන
ආදරයට නැත්තේ
මිලකි... කාලයකි.
View Poem

යෂිකා විජේසිංහ

2022 සැප්තැම්බර් කලාපය

සිංහයෝ නැගිටින්න..

ඇත් රජුට වැරදිලා
එදා මග අහුරපු
බව ඇත්ත..
සිංහයා එන බව
දැනුන නම්
ඇත්තමයි
ඇත් රජු වුනත්
යාවි මග හැර
වුනු වරද ගැන
ඇතුටත්
සහතිකයි දුක
හිතුන බව
දැන් ඉතින්
අමනාප අතහැර
සිංහයෝ නැගිටින්න..

සීහ ශක්තිය
එක් කරනු වස්
සිංහයෝ නිදනවලු
වැඩිපුර..
වෙද ගෙදර යලි
සැකසුවා..
බෙහෙත් ඔරුවක්
පැනින් පිරවුනු ..
දැන් ඉතින් ඇති
නිදා උන්නා
ඒ බෙහෙත් පැන්
බිඳක් නාගෙන
පුරුදු ජවයෙන් යලිත්
සිංහයෝ නැගිටින්න..

2022.08.18
View Poem