ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අපේ ගමේ කසිප්පුවා ප්රැන්සිස්

අපේ ගමේ කසිප්පුවා ප්රැන්සිස්

උදයංග අමරසේකර - ප්‍රංශය
2022-September

අපේ ගමේ කසිප්පුවා ප්රැන්සිස්
කොයි දානෙ ගෙදරකටත් යයි
උයයි පිහයි වලං හෝදයි
දුකට පත් එකා ළඟ
නිහඬව හිටගෙන සිටියි

ගමේ නැතිවුණ හරක් හොයමින්
ඔහු කැලෑ පීරා ඇවිදියි
ලොකුහාමුදුරුවන්ට පිත ගැහුවම
දුලබ කොළ ජාති හොයල අඹරයි

අපේ ගමේ කසිප්පුවා ප්රැන්සිස්
පාසල් ළමයින් බරබාගෙන් අදියි
කෙල්ලක් කොළඹ විබාගෙක ගියාම
හුලුඅත්තක් ගෙන
ඒකි ආපහු එන රෑ බස්සෙක රකියි

අපේ ගමේ කසිප්පුවා ප්රැන්සිස්
ගමේ කිරිකට් පිලේ උපනායක
මැද පෙල සමබර පිතිකරු
වමතින් වේගපන්දු
දකුණතින් දඟපන්දු
අහසෙ පැල්බැඳ කැච් අල්ලයි
අහල ගම්වල ගහන මැච්වල
ඒකච්ඡන්දෙන් චීෆ් අම්පයර්

අපේ ගමේ කසිප්පුවා ප්රැන්සිස්
කැඩුණු රේඩියෝ යන්තර හදයි
වේලුණු ලිං යළි කණියි
නාකියන්ට පත්තරේ කියවයි
පවුල් ආරවුල් විසඳයි
රට රස්සාවට ගිය එවුන්ට
පෝස්කාඩ් ලියයි
දුංකොළ මිටියක් කිහිළි ගහගෙන
හිරේවැටුණ උන් බලන්ඩ යයි

කලක් ගමේ කාගෙත් ගෑනිව හිටි
කටකාර ලො‍ටතන් අයිරින්ට
කොළඹ කවිය පරදන පෙම්කවි ගොතා
ඇගෙ උකුලේ වැතිර ගායනා කරයි

ගහක් ගලක් වගේ හිටපු
අපේ ගමේ කසිප්පුවා ප්රැන්සිස්
හිටි හැටියෙම මියගිහින්
උගෙ මිනියට කරගහන්ඩ
ගමේ පිරිමි පොරකාපි