ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

“මරා”ගේ විරාමය

“මරා”ගේ විරාමය

කපිල කුමාර කාලිංග
2022-September

කිමද නිහඬව අද
අවදි වනු මැන විගසින
නගන් යළි ඒ හඬ තෙද
ඇසෙන ලෙස පසු අසුන් පෙළටද

සිටී නෙතු පියාගෙන
හුදෙකලා ගිලන් සයනයක
වෙහෙස පත්වීද දිවි ගමනින
රිදුම් දේ ද හිස
පසුතැවීමේ කටු කිරුළින්

පැසසුම් සේම ගැරහුම්
එකම නදියක දෙවුරයි
නොදිටිද ඒ බැව් ඔබ
තීර්ථය වෙත යන කල

අඩ අඳුරු රඟහල් බිමේ
ඇසේ යළි පිළිරැව් දෙමින්
සැබෑ කරමින් යටි අරුත්
“මරා” ලෙස ඔබ කී වදන්

“ඇද කෙස් වැටියෙන් තම
පෙරළා සිරුර කණපිට
අලුත් ඇසකින් ලොව
බැලිය යුතු මිනිසෙකු ලෙස”

කළ භූමිකා බොහෝමයි
තවත් ඇත ,ඉදිරියටයි
අලුත් පෙළ මතු ලියැවෙයි
රාත්‍රිය තව තරුණයි

විරාමය කෙටි නිමකොට
බලන් හැර කවුළුව අස
“මරා” එනතුරු රඟ බිම
බලා සිටිනා දන දෙස

(1986 දී වේදිකාවට ආ සුගතපාල ද සිල්වා
අධ්‍යක්ෂණය කළ “මරා-සාද්” නාටකයෙහි
“මරා”ගේ චරිතය නිරූපණය කළ ජැක්සන් ඇන්තනී
ඒ සඳහා රාජ්‍ය නාට්‍ය උළෙලේදී හොඳම නළුවාට හිමි
සම්මානය ද දිනාගත්තේ ය.)

22/08/07