ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නීතියේ දෙවඟන හඬයි….

නීතියේ දෙවඟන හඬයි….

පුෂ්පශාන්ත සමරනායක - මොරටුව
2022-September

“නීතියේ දෙවඟන” උනත් අද
දෑස බැඳ, ගෙන අතින් කගදා…
මමත් අම්මා කෙනෙක්, බිහිකළ,
දියණියන් තුන් දෙනෙක් පෙරදා…
පොතක නීතිය හදවතේ බර
තරාදිය පරදවපු හින්දා…
කඩුව පසෙකින් තබා, නෙත් බැඳි
රෙදිපටිය තද නොකර බැන්දා…

කිසාගෝතමියකට පෙම් බැඳ
තාත්තා නික්මුණු හෙයින්…
නේරංජනා ගං දෑල ඉකිගසනවා ඇසුනා මට හෙමින්…
“අම්මාගෙ ලඟ ඉන්න ආසයි”
කියා නුඹ හරි හුරතලෙන්…
“තාත්තත්,අපි එක්ක එනවද”
ඇහුවෙ ඇයි දැයි මට කියන්…

ගෘෂා, ට ජය ලබා දී මම
එදා නීතිය සපථ කෙරුවා…
නීතියට ඉඩ දී අදත් මම
තරාදිය කෙලෙසින් ද බැලුවා…
දෑස බැඳි කඩතිර වලින්
හදවතේ නෙත් බැඳ තබනු බැරුවා….
මට සමාවක් දියන් මගෙ පොඩි දුවේ,
මම රෑ හොරෙන් හැඬුවා….