ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පුංචි නඟා

පුංචි නඟා

උපාලි අත්තනායක - මහනුවර
2022-September

කඳු ගැටයක් ඔමරි කරයි
වෙල් යායක ඈත කොනේ
වලාකුලක් දවටා ගෙන
සුදු සේලය සේ
මද සුළගට චීත්ත කොන
පැටලෙනවා නියර දිගේ
නොපෙනෙන්නට ඇයට හොරෙන්
ඉන්නම් පැල ඉස්මත්තේ

සුළග සමග සැලෙන ගොයම
කිරි වැදෙන්න සැරසෙනවා
දීග යන්ට පෙරුම් පුරන
පුංචි නඟා හිනැහෙනවා
වක්කඩ ලග තිත්ත පැටව්
දිය පාරට පෙරලෙනවා
මග හැරියොත් නඟේ නුඹත්
මගේ හිතත් තනි වෙනවා

හිතේ සතුට පෙන්නන්නට
ආදර බස් පවසන්නට
ඉඩක්ම නෑ
අප්පප්ච්චී මොකක් කියයිදෝ
ඉවසන්නම් මේ කන්නේ
ගොයම් කැපෙන කල්
එදාට මම කමතට එන්නම්
බහ දෙන්නට නඟේ නුඹට
දෙවි රැකවරණයි

2022 .08.03.