ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ගඟක්

ගඟක්

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ - කොල්චෙස්ටර් - එංගලන්තය
2022-September

බිඳක් සේ උල්පතක් පොළොවෙන්
උඩට මතුවී ගලන හෙමිහිට
ඇලක් වේ ඊළඟට ටික ටික
විශාලව එන විළස එළියට
ගඟක් වීගත් විගස කාටත්
ප්‍රතාපව අනුහසින් පෙනුනට
පලක් වේවි ද අසා දැනගෙන
ගඟක ඇති බිය මුහුදු යන්නට

නතර නොවෙනා ලෙසක සුදු පෙණ
බුබුළු ගල්පර හා බෙදාගෙන
අතර මගකදි වැටෙන මුත් කඳු
පහළ සුදු දිය ඇළි සදාගෙන
නිතර ආ මග බලයි ගඟ යළි
රිසිව නොයනුව තව ගලාගෙන
කවර නම් ගංගා ද ගැලුවේ
නැවත උඩු ගම් දෙස බලාගෙන

මුදුන් කඳු මහ කැලෑ ගම් බිම්
අතර සිසිලස බෙදා දුන්නත්
සවන් දුන්නොත් ඇහෙයි කාටත්
හෙමින් මුහුදට ඇදෙන සුසුමත්
පිටින් එන තල්ලුව නිසා වෙන
මගක් නෑ එහි නොගොස් ඉන්නත්
ඉතින් මහ සාගරය වෙන්නට
හිත හදා ගති සදා හැඬුවත්