ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සරසවි වරම

සරසවි වරම

චන්දන හෙට්ටිආරච්චි - නිට්ටඹුව
2021-January

සරසවි වරම ගෙන පබඳින කවි මාලා
නිමවන විටදි ඇත හදවත සත පාලා
ගෙත්තම රුවයි රස වෑහෙන මන ලීලා
පන්හිඳ සුරතෙ ගෙන සරසමි නළවාලා

මිහිබට දෙවඟනයි රඟ දෙන විටදි දිසී
ආසිරි ලබන්නේ ලාලිත කමට රිසී
සෙලවෙන ගිගිරි මිණි කිංකිණි හඬේහි වැසී
වෙනසක් නොමැත හිත රවටන කමට නිසී

මේකුළු මතින් දිවයන අකුණක සේයා
පායුග මවයි බෙර පද නංවන මායා
හී සැර වැදුණු මල්සර දුණු වත පායා
කාහට හැකිද පිටු පා යනු වැනි අයා

නෙත කියවන්නෙ ළඳකගෙ ලස්සනය මනා
ගුණ පිහිටන්නෙ හදවත ඇතුලතය දනා
කත සොඳුරුතම සවියයි දිවියකට ගෙනා
දිවි හිමියෙන් රැකපන් ජය ලබන කෙනා

28-12-2020