ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අප්‍රේල් 1 සඳහා ඉල්ලීමක්

අප්‍රේල් 1 සඳහා ඉල්ලීමක්

අරුණි මුතුමලී
2023-April

වැදගත් යැයි හිතෙන
හැම දිනයක්ම සමරන
බලවතුනි දෙසවන
යොමා අපටම දෙන්න අද දින

නිල් කොළ රතු ඈ ලෙසින්
බැටළුවන්ගේ වෙසින්
කවුරු ආවත් තොසින්
පිළිගනිමු අපි නැමී බැතියෙන්

හැත්තෑ පස් වසරක
ලද උතුම් නිදහසක
අගය මේ සිරි ලක
තප්පුලෑවම මදිද දන ලක

දෙදහස් පන්සීයකට
වැඩි අපේ ඉතිහාසෙට
ආ වඩා බඩ කට
පුරව ගමු නොම බැස බැරි වැඩට

යුද්දෙටත් හා කියලා
සාමෙටත් හා කියලා
ඕනෙ පොහොරක් කාලා
දොයිය දොයි බයි ටොයි පුතාලා

ඉස්කෝල ටික වහමූ
සරසවි රිලවු නටමූ
අරගලත් කරමූ
මීඩියා ආතල්ම විඳිමූ

ඩොලරය කොහෙ ගියත්
ජලය විදුලිය කැපුවත්
බිත්තර පියැඹුවත්
අපට කම් නෑ ලෝ දහම දත්

කී නොකී මෙසියල්
සලකා බලා සැමකල්
පළමු දින අප්‍රෙල්
අපට දෙනු මැන නොගෙන වැඩිකල්