ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

දුක ඉවසාගෙන දිවියට මුහුණ දෙමු

දුක ඉවසාගෙන දිවියට මුහුණ දෙමු

රාජකීය පණ්ඩිත පනාමුරේ තපස්සී හිමි - ලන්ඩනය
2022-November

ලැබුණත් කොතෙක් දුක් ඉවසා ගන්න බැරි
තිබුණත් ගැටලු කෙතරම් විසඳන්න බැරි
සිතුනත් නිතර තව ජීවත් වෙන්න බැරි
මැරුණත් කුමට හොඳ තැනකට යන්න බැරි

මොන කරුමයට හෝ ලෙඩ ඇඳටම වැටිලා
දුක් විඳිනා විටදි දිවියම කලකිරිලා
සිතුනද සමුගන්න දිවියද අත හැරලා
තව තව ඉවසගෙන විමසනු මැන සිතලා

ලැබුණේ මිනිස් බව පෙර පිනකිනි ඔබගේ
එය යහපතට යොමුකර ගත යුතු සැමගේ
එනිසා සිතට දිරිගෙන දිවි රැක ඔබගේ
යහපත පිණිස වෙහෙසෙනු නිතරම සැමගේ

දුක යනු උරුමයකි ජීවිතයට ලැබෙන
ලෙඩ යනු ඉන් එකකි නෙක අයුරින් තිබෙන
දැක දැක නොයෙක් දෙන ලෙඩවී දුක් විඳින
රැකගෙන දිවිය මඟ විමසනු දුක නසන

එක හෝ දුකක් නොමැතිව සැමදා තුටින
කිසිවෙකු නොමැත මේ මිහිතලයෙහි වසන
කුසගිනි පිපාසා වයසට පියනගන
යන තුන් කරුණ සැමටම දුක දෙයි නිතින