ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පොඩි සාදු

පොඩි සාදු

වෛද්‍ය සමන්ත කේ. සෙනවිරත්න
2023-July

කවුරු හිටියත් හිතේ තනියක්

පන්සලේ මට දැනෙනවා

ගෙදර අය මට මතක් වෙනකොට

කඳුළු සිවුරෙන් පිහිනවා

මාසෙකට දවසක් දෙකක් හරි

ගෙදර එන්නට හිතෙනවා

ගියොත් සිල් ඇවැත් වෙයි

ගුරුනමක් මට කියනවා

උළු වහපු ආවාසෙ ඇතුළේ

තෙමෙන් නැතුවම නිදනවා

දෑස වැසුණම පිදුරු සෙවි කළ

පරණ වහලය පෙනෙනවා

කුසේ ගින්දර දැන් දැනෙන් නෑ

දානේ හැමදා ලැබෙනවා

හිතේ ගින්දර තාම එහෙමයි

ගෙදර බඩගිනි දැනෙනවා

ඉස්කෝලෙ නැති කාලෙ ඉවරයි

පිරිවෙනට දැන් වඩිනවා

අනිත් දෙන්නත් යවමු පාසල්

මගේ පොත් මං එවනවා

තාත්තගෙ අසනීපෙ හොඳ වෙයි

හැමදාම පිං පුරනවා

මට කියන්නට සුදුසු බෙහෙතක්

බණ අස්සේ මං හොයනවා

කිසි දුකක් නැති සොඳුරු නිවනක්

සසර අවසන තියෙනවා

අපේ අකුසල් ගොඩක් ලොකු ඇති

සංසාරෙ සැරි සරනවා

(කවි පොතක් අස්සේ ලියුමක් කාව්‍ය සංග්‍රහයෙනි – 2023)