ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පැහැරගෙන ගිය තාත්තා..

පැහැරගෙන ගිය තාත්තා..

නිශාන්ත ප්‍රීති සෙනරත්, ලන්ඩනය
2021-November

භීෂණය, දුෂණය, වංචාව නීතිය කරගත්…
බිහිසුණු අධම පාලක රැලක්
නිදහසේ රට වැනසූවා…
එරෙහි වූවන් එයට …
පැහැරගෙන ගොස් මරා දැම්මා …
පිච්චුවා මහාමඟ …ටයර් සෑවල …
බියපත්වසිටියා බොහෝ මිනිසුන්
මුව වසාගෙන …
කිසිවක් නොදැක්කාසේ අසරණව….

තීරණයකලා නුඹ ….සටන්කරන්නට
නගන්නට හඬක්
හඬක් නොනැගිය හැකි දනන්වෙනුවෙන් …
තනන්නට වඩා හොඳ හෙටක්…
හෙටක් නොමැති මිනිසුන් වෙනුවෙන්….

පිහිනුවා උඩුගම්බලා
අයුක්තියේ සැඩපහරට එරෙහිව…
විශ්වාස කල නිසා නුඹ
දණින් වැටී ජීවත් වෙනවාට වඩා
දෙපයින් සිට මිය යාම උතුම්බව…

කුලීමිනීමරුවන් රැලක් විත්
පැහැරගෙන ගියා නුඹ
දෙඅත් බැඳ කමිසයෙන්
දෙඇස් බැඳ රෙදි කඩකින්
යක්ෂයන් රජකළ හෝරාවක …

පුළුස්සා සියොළගම
ගලවා නියපොතු
පොලු මුගුරු පහරදී
දෙතිස් වධ දුන්නා නුඹට
මනුසත්කම වෙනුවෙන් හඬ නැගූ වරදට….

පැහැරගන්නට තැත්කලද… උන් නුඹේ ජීවිතය
පාවා දුන්නේ නෑ නුඹ.. නුඹගේ ආත්මය
අධම පාලකයන් අභිමුව….
බැගෑපත් උනේ නෑ නුඹ
ජීවිතය ඉල්ලා නිවට නරුම රැලගෙන් ….

සිටියා නොසෙල්වී
වධ වේදනා ඉවසමින්…..
දැන සිටියා නුඹ..
ආරම්භ වී ඇත්තේ
අධම යුගයක අවසානය බව….

බැලුවා උපහාසයෙන් නුඹ
ලේ පිපාසිතයන්ගේ දෙනෙත් දෙස
ම්ලේච්චයන් බියෙන් සලිත කරමින් …
භාරගත්තා සුන්දර මරණය …
සිනහපිරි මුවවිතින් …
ඔප්පුකලා නුඹ උන්ට
පරාජය උනේ ඔබ නොව
කුලියට මිනි මරණ
ඒ කාලකන්නින්ගේ ආත්මය බව….

දයාබර පියාණෙනි,
වෙන් වුනත් ගතින් ඔබ
හදවතින් සැමදාම අප ළඟ…
හුස්ම ගන්නා හැමවිටම
දැනෙනවා නුඹ වෙතින් හමාඑන
උත්තරීතර මනුෂ්‍යත්වයේ සුවඳ….

භීෂණයේ මඩ ගොහොරුව ඉරිතලා
සොඳුරු රතු මල් පිපුන
අයුක්තියේ අඳුර පලවා හැර
යුක්තියේ රන් හිරු පායන
සැවොම සතුටින් ජීවත්වන
මිනිසත්කම ඉහ වහා ගිය
නුඹ පැතූ ලෝකය බිහි වන දිනක…
දනිමි ..
නුඹ යලිත් අප වෙත එනබව
පිය සෙනෙහසේ සොඳුරු උණුසුම රැගෙන