ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පවු පිරෙනා වෙසක්…

පවු පිරෙනා වෙසක්…

වෛද්‍ය මනෝරි ගමගේ - පන්නිපිටිය
2021-May

සිරිපා මලුව කරුණා කරනා සද්දේ
මැකිලා ගියා නැඟ ආ පුර හඳ  මැද්දේ
පිපිලා මලුත් තිබුනා සුවඳට බැද්දේ
නෙලලා ගෙනත් විකුණන්නට යම යුද්දේ

එළිනෙක විහිදුනා තොරණේ යස රුවට
දසතම දිස්වුනා සුරපුරයක් ලෙසට
තුන් දොර කෙලෙසුනා වැටිලා තරඟයට
නොදැනිම පිරවුනා පව් තව සිත් වලට

කියනා බණක් නැත කිසිවෙක් ඇසෙන්නට
රකිනා බවක් නැත පන්සිල් පෙනෙන්නට
කරනා දෙයක් නැත සිත නම් හැදෙන්නට
ඇදිලා ගියත් සිව් නිරයට වැටෙන්නට

බුදු හිමි දෙසූ සදහම් පැන් පසෙක හෙලා
කරමින් නේක විගඩම් ඇත සිතම  පෙලා
මුදලත් සමග හරි හරියට හාද වෙලා
වෙසඟත් තවත් සමරන දිනයක්ම කලා

පසෙකින් තබා දුක හා දුක පෙලන රඟ
සොයමින් නොයා එය වලකන නියම මග
කරමින් වාද බුදු ඉපදුන රටක වග
කෙලෙසින් හිමිවෙයිද සැනසුම සසර අග