ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පතිනි සිත

පතිනි සිත

ශ්‍රියානි උඩගංගොඩ - මහනුවර
2023-December

ගිම්හාන කාලයට
පිණි බිදක් වී වැටෙන
හිම මිදෙන ශීතලට
උණුසුමක් වී රකින
ගණදුරට පහන් තරුවක්
විලස එළිය දෙන
ඉතින් වෙන කෙනෙක් වෙද
නුඹ විලස ළග රැදෙන……
උරණ වූ මා වෙතට
සිසිල් බැල්මක් හෙළන
කදුළු නෙත පිරුණු කල
උරතලය මත පිසින
නෙතේ බැල්මෙන් විටෙක
සියුම් තරවටු කෙරෙන
මගහැරුණු පිටු පුරා
අරුත් බර දේ ලියන
කෙනෙක් වෙද සසර මග
නුඹ තරම් මට දැනෙන….
වාරු නැති විටෙක ගත
සීරුවට දිරි දෙවන
විඩා වැඩි කල හිතට
නිවා සහනය මවන
තවුතිසාවක සැපත
දෙපාළග නීති මවන
නුඹ තරම් කෙනෙක් වෙද
ආත්මය වී සිටින …….

19/11/2023