ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ගගන සැලෙන ඔසරි පවන

ගගන සැලෙන ඔසරි පවන

ඩී. අමරසිරි ගුණවර්දන - නවසීලන්තය
2023-December

සඳ කිරණ ගලන රෑ රුක් වදුළු සැළෙන සේ

දොළ ගලන මිහිරි හඬ මැවී ඔබ ගගනතේ

ඔරුව පැද යන දියේ හබල බිඳි ප්‍රේමයේ

හද සලන භාවයක සර රැඳේ වා තලේ

පංසළක දවුල් හඬ දෙවොල් දොර ගීත රස

සවන් පිනනා ලෙසින් ජන හදට මුසු කලේ

පැලක කුසගිණි ඇවිල අකුරු කරනට නැතිව

හඬන දරුවන් සුසුම මුදාලී සවනතේ

කැණි මඬල බිඳ වැටුන පාලු යහනක තැවෙන

මවක නෙත කඳුළු බිඳු අඹර සර පා කලේ

දිළිඳු දරු සුසුම් මැද තැලෙන පීඩිත දනට

සිසිල් පැන් පොද වැස්ස ගී මලක මුසු කලේ

නෙලූ පිලිමය ගලේ හෙලූ බැල්මක සවිය

සවන පතුලේ රැඳේ ඔබේ ගී මල් විලේ

වීණාව බට ලීය ගජනාව ලක් බිමේ

සර්පිණා දවුල් බෙර ගිටාරය හඬ ඔබේ

රජ අණක විලංගුව කඩුව ගිණි අවි බැම්ම

කුඩු කරන රතු මලින් සැරසි ඔබ වා තලේ

වසන්තය මල් පිපෙන සුවඳ සිව් දෙස ගලයි

ඔබෙ සුවඳ ගෙන සරයි සහස් දන මිහි තලේ