ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මිහිරැති දඬුවම

මිහිරැති දඬුවම

මේඛලා උදාරි ලියනගේ.
2023-January

මේ ශුෂ්ක බිම තක්සලාවයි
දිසාපාමොක් වරු හැරි හැරී යන
පතොක් මල් පමණක් නොව
බොහෝ සුවඳැති කැලෑ මල් සුපිපෙන

අත්දැකීමෙන් උගන්වමි
ධර්මය පොතේ නැති “තාදිය”
ඇපල් ගෙඩියක් නොදුටු එවුනට
පොරොවෙන් පටන් ගමි “හෝඩිය”
දැකුළු මල් උයනේ විරාජිත
වේවැලද බොහෝ සංවේදිය..
කේඬෑරී මුහුණකට , කහට පිරි ඇඳුමකට
සාහසික නමුදු උගන්වමි ,
පෝෂණය, ස්වස්ථාව ආදිය

කුස නොපුරවා හිසක් පුරවන්න එන පැටව්
දකින්නට ලැබීමම ඛේදයක්
සම්පතක් බෙදෙන හැටි උගන්වා නැත තවම
ඉගැන්වීමම උන්ට වේදයක්
හර ලවය පෙන්වමින් භාගයක් විමසනා
දරුවාම එක විෂම භාගයක්
අඬන්නද හිනැහෙනුද හිතා ගනු බැරි තැනෙක
පපුව හා මොළය සංවාදයක්

මේ ශුෂ්ක බිම තක්සලාවයි
දිසාපාමොක් වරු හැරි හැරී යති
කොතන පිපුණද සුවඳ විහිදිය යුතු බව
උගන්වමි..කර පෙන්වමි..
මිහිරැති දඬුවමට තුති!!