ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

එතෙරට දරුවන් යවා තනිවූ පියෙකුගේ අඳෝනාව

එතෙරට දරුවන් යවා තනිවූ පියෙකුගේ අඳෝනාව

ශ්‍රී නිමල් පද්මකුමාර
2021-May

එක කූඩුවක හුන් මයෙ පැටවුන් දෙන්නා
සැම දින ඇමතුවත් හද සෙනෙහස පෙන්නා
ගත දැවටුන සුවඳ නැති දිවි මග ඉන්නා
දිය නැති වාලුකාවක තනි වූ වැන්නා

අම්මගෙ ලය පලා එන කිරි බුන්නාට
තියෙන හැම දෙයක් දුන්නෙත් දෙන්නාට
අලුතෙන් කැදළි තැනුමට පිය මැන්නාට
අහිතක් හිතෙන් නැහැ නෙත දිය පැන්නාට

සවි බල ගිලී යයි නොදැනිම සිරුර කෙරෙන්
මගෙ ළඟ ඉන්න නොකියමි කිසි දිනක සැරෙන්
අවසන් හුස්ම පොද හෙලනා තැනක වැරෙන්
දිය බිංදුවක් දෙන්නට නුඹ හනික වරෙන්