ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ආවෙමි බලා යන්නට නුඹව

ආවෙමි බලා යන්නට නුඹව

උද්‍යා මාධවී
2021-November

“ඉහල යන උෂ්ණත්වය සමගින්,
ග්ලැසියර දියවී මුහුදු මට්ටම ඉහළ යාමේ තර්ජනයක්”

හුඟක් ඉස්සර ඈත දවසක
නීල ගුවනත එක සැදෑවක
වළාකුළු බංකුවක් මත හිඳ
අපට අප හිනහුණා මතකද
පැමිණෙන්නට කලියෙන්
ඒ නපුරු සුළඟ……

නුඹ රැගෙන ඔහු ගියා
සමකය කිට්ටුවටම
මාව පා කර හැරිය
සීතම සීතල උතුරු අර්ධයට………

අහසින් පොළවට
වෙනස් වුණත් ජීවිතය හුඟක්
උණුසුම්ම මතකයකි
නුඹ නෙතඟ කී කව
මොහොතකට කලියෙන්
ගිළිහෙන්න අප දෙඅත
දියකරා
ටිකෙන් ටික
ඝන සීත ග්ලැසියර
උණුසුම්ම ඒ මතක….

ඉතිං ආවෙමි සොඳුර
බලා යන්නට නුඹව
දනිමි ගමනක අවසන
නුඹත් එන බව
මේ සයුරු දියඹටම….