
බිරිඳගේ සාක්කිය
තමුන්ගෙ මිනිහට මැහි තෙල් බොන්න හේතුවක් තිබ්බද ? – පොලීසිය
බත් පත බෙදද්දිම හූනෙක් “චික්” ගෑවා
කරුමෙට බත් පතට වැළි කැටයක් ආවා
හැපුනම මහ හඩින් අපටත් දොස් කීවා
තරහට ගිහින් මිනිහා මැහි තෙල් බීවා
දන්නා දා පටන් වත්තක වල් කෙටුවා
කොම්පැනියක් ඇවිත් ඒ ඉඩමත් කැඩුවා
කුළියක් නැතොත් මහ රෝහල ලඟ සිටියා
ලෙඩෙකුට හාල් ටිකකට රුධිරෙත් පිදුවා
කොල්ලා රැළට එකතුව ගංජා උරන
පාසල් ගමන ඇන හිටියා සැටලිමක
දැක දැක වුනත් කුස්සියෙ මැහි තෙල් ගැළුම
අම්මපා මිනිහා බිව්වෙම නැති එක පුදුම
යන්තම් පොත්තෙ රත පමණට මතු වෙච්චි
කෙල්ලත් බඩක් උස්සා ගෙන තනි වෙච්චී
පිරිමි පපුව තුල දුක් ගුළි හිර වෙච්චි
සුසුමක් හෙලූ පමණින් ඔහු සැනසෙච්චී
පොඩි පොඩි වැරදි මා අතිනුත් නොවුනා නොවේ
මිනිහා නැති අතර ගෙයි දොර ඇරලා තියේ
දැක්කත් ළඟදි ඉන්නවා මම සමග ජයේ
කදුලට මිසක නෑ ඇස මැහි තෙලට ගියේ
පුදුමය මහත්තයො බත් පතෙ වැළි කැටය
දරා ගන්න මිනිහට බැරි වුන එකය
අඬ අඬ ඊයෙ දවසම ඉඳ වැඩි හරිය
පොළවේ ගසා පොඩි කෙරුවෙමි නෑඹිලිය